අමෘත බිඳුවෙන් හටගත් අරළු සත්වර්ගය

පෙබරවාරි 17, 2023

ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් ගැනෙන ඖෂධයක් වන අරළු ත්‍රිපල් හෙවත් ත්‍රිපලේ ප්‍රධාන ඖෂධයක් වන්නේ ද අරළු ය. අරළු ඉංගී‍්‍රසි භාෂාවෙන් චෙබුලික් මයිරෝබලින් ලෙසද දෙමළෙන් කඩුක්කායි ලෙසද හින්දියෙන් හරිසි නමින්ද හඳුන්වයි. සංස්කෘත බසින් හරිතකී, අභයා, පථ්‍යා, අමෘතා, අලවණා, අව්‍යතා, ප්‍රතනා, නේත්‍රම්තා, ශිවා විජයා ශිවා ජීවතා ප්‍රාණාතා ජීවන්ති ඇතුළු නම් විසිහයකින් සමන්විතය. හරිතකී යනු අරළු හඳුන්වන තවත් ප්‍රධාන නමකි.

 

හරිතකී ස්වභාවයෙන්ම හරිත වර්ණවීමත් සර්ව රෝග නිවාරණයෙහි ප්‍රධාන වන බවක් පෙන්වා දී ඇත. රෝග කෙරෙහි ඇති භය දුරුකරන ශක්තිය ඇති බැවින් අභයා ලෙසද සෑම විටම ශරීරයට හිත නිසා පත්‍යා ලෙසින්ද මරණාසන්න මොහොතක වුවත් ජීවය ශරීරයට ලබාදෙන හෙයින් අමෘතය ලෙසින් ද හැම විටම සුවය ලබාදෙන හෙයින් ශිවා යනුවෙන්ද දක්වා ඇත.

 

අරළු බිහිවීම

අරළු මෙලොවට බිහිවීම පිළිබඳ දක්වා ඇති කරුණුවලින් හෙළිවෙන්නේ දිනක් ශක්‍ර දේවේන්ද්‍රයා හිමවත දී අමෘතය පානය කළ විටකදී ඉන් ගිලිහී වැටුණු අමෘත බිඳු කීපයකින් අරළු සත්වර්ගය හටගත් බවයි. එසේ අමෘත බිදුවලින් හටගත් අරළු සත්වර්ගය නම් විජය, අමෘතා, රෝහිණී, අභයා, ජීවන්ති, පූනතා, හා චේතකී වෙයි. විජයා අරළු ලබුගෙඩියක හැඩරුවට සමාන වන අතර කිසිදු සළකුණක් නොමැති වේ. එය ගෝලාකාරද වේ. රෝහිණී අරළු සම්පූර්ණයෙන්ම කවාකාර වේ. පූනතා සියුම්වන අතර ලොකු ඇටවලින් යුක්ත වේ. අමෘතා ශරීරය පිරිසුදු කරන අතර ප්‍රබල ඖෂධයක් වේ. විජයා හා ජීවන්ති සියලු රෝග නිවාරණයට සමත් වේ. රෝහිණී වර්ගයේ අරළු උණ රෝග සමනයටත් නූතනා ප්‍රලේප සඳහාත් යෝග්‍ය වේ.

චේතකී අරළු විරේචන කර්මයට යොදා ගනු ලබන අතර සියලු අරළු ඖෂධීය වශයෙන් ප්‍රබල ගුණයක් ලබාදෙයි.

 

අරළු රස

අරළු ෂඩ් රසයම හිමිකරගෙන නොමැත. ඒ වෙනුවට ලබාගෙන ඇත්තේ රස පහක් පමණකි. ලුණු රසය හැරුණු විට මධුර, අම්ල, කුළු, තික්ත, කසම වශයෙන් රස පවතී. මෙයින් වැඩියෙන්ම ඇත්තේ කසට රසයයි.

අරළු ගුණ

මධුර තිත්ත කෂාය රස පැවතිම නිසා සෙම්ගතියද අම්ල මධුර රසය නිසා වාතය ද ඇතුළු තුන්දොසම සමනය කරයි. අරළු හදවතට හිතකර වේ. ඉදිමුම් නසන ගතියෙන් හා ලේ නතර කිරීමේ ගුණයක් පවතී. කුෂ්ඨ නාසක ගුණයක් විසර්ප ආදී සෙම් රෝගාබාධ ඖෂධ සඳහාද ගනු ලබයි. අරළු අභ්‍යාරිෂ්ටය, අභයා මෝදකය, අභයාවටී, අභයාලවණය. අභයාදී ලවණය අභයාදී අවලේහය, සුකුමාල චූර්ණයට ද යොදා ගනී. අභයාදී මෝදකය, සඳහා අරළු, ගම්මිරිස්, වියළි ඉඟුරු, වළඟසාල්, කුරුඳු පොතු, කලාඳුරු, නෙල්ලි, තිප්පිලි, තිප්පිලි මුල්, තේජපාත්‍ර දන්ත අල තිරැස්ස වාලු, සීනි ඇතුළු ඖෂධ යොදා ගනී.

 

අරළු යොදන ඖෂධ

අභයාරිෂ්ඨය, ඇට ඉවත්කරන ලද අරළු, නෙල්ලි, දිවුල් මද වියලාගත් ගොන්කැකිරි අල, වළඟසාල්, තිප්පිලි, ලෝධර, ගම්මිරිස්, ඒලවාලුක, ජලය, ගුඩ පක්ෂාගාත ප්‍රමේහ ධාතුක්ෂය පරංගි, දද, කුෂ්ට ආදී රෝගයන්ට දෙනු ලබන රණහංස රසායනයට, අරළු, බුළු, නෙල්ලි, කරාබු, වසාවාසි, සාදික්කා, එළ ඉබුල්, මැලියම්, කංසාකොළ, සුවඳකොට්ටම්, වගපුල්, අසමෝදගම්, පිතක රෝසන වගපුල්, අසමෝදගම්, සෙම්කොට්ටම්, කළුදුරු, සූදුරු, එන්සාල්, මුද්‍රප්පලම්, චීන අල, ඉරමුසු, කෝමාරිකා යුෂ, කිරිබදු අල යුෂ, නෙල්ලි යුෂ, කුංකුමප්පු වැල්මී, සුදුලූනු, රත්නෙටොල්, ඇතුළු තවත් ඖෂධ විස්සක් පමණ සංයෝගකර ගනී. අර්ශස් ග්‍රහණිවාත සෙම ස්වාස කාස ක්ෂය රෝගාබාධවලට දෙනු ලබන සූරණ මෝදකයට, අරළු, බුළු, නෙල්ලි, කිඩාරම් අල, බිංතල් අල, රත්නෙටොල්, වියළි ඉඟුරු, තිප්පිලි මුල්, තාලිසපත්‍ර, කුරුඳු පොතු, හීන් එන්සාල්, ගම්මිරිස් හා තවත් ඖෂධ කීපයක් ද වේ.

බිළිඳු වමනයට නොබසින උණට වමන ඔක්කාරයට උණ කෝලෙට බඩයාමට සන්නිවලින් සුව ආදී රෝග රැසකට දෙනු ලබන මදුවලිප්පු ගුළියට අරළු සංයෝග කර ඇත. අරළු, බුළු, නෙල්ලි අසමෝදගම්, කළුදුරු, සූදුරු, සීනක්කාරම්, වසාවාසී, සාදික්කා, කටුකරෝසනන, මාසක්කා, පල්මාණික්කම්, රතු ලූනු, අක්කර පට්ට, කරාබු, සුදුලූනු, ඉඟුරු ඇට, තිප්පිලි, ගම්මිරිස්, නෙල්ලි ඇතුළු ඖෂධ උපයෝගිකර ගනියි. කස්තුරි මෝදකය, අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, කස්තුරි, පියගු කටුවැල්බටු, සූදුරු, හිං එන්සල්, කුරුඳු පොතු, වැල්මී, සතකුප්ප මේවා සමඟ තවත් ඖෂධ රැසක්ම ගෙන සකස් කරනු ලබන කස්තුරි මෝදකය සියලු ප්‍රමේහ රෝගවලට වා පිත් සන්නිපාතයට සෙම රෝගයට අශ්මරි ග්‍රහණිය ඇතුළු රෝග රැසකටම දෙනු ලබන ප්‍රබල ඖෂධයකි.

 

තෙල් වර්ග

අරළු එක්කරමින් සිඳිනු ලබන ඖෂධීය තෛල වර්ග අතර චන්ද්‍රකාන්ති තෛලය, අරළු, බුළු, නෙල්ලි, මුගුණුවැන්න, කෙකටිය, කීකිරිඳිය, වැටකෙයියා යුෂද එළකිරි තල තෙල් ගිතෙල් එරඬු තෙල් ඇතුළු ඖෂධ වර්ග විසි දෙකකට වැඩි සංඛ්‍යාවක් ද යොදා ගනී.

 

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර සටහන මාධ්‍යවේදී,

බී. ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.