ධන සම්පත් උදාකර දෙන ඔබේ ධන රේඛාව

ජනවාරි 22, 2021

ඔබ ධන රේඛාව වශයෙන් හඳුන්වන්නේ දෛව රේඛාවයි. මෙම රේඛාව අත්ලේ කුමන ස්ථානයකින් ආරම්භ වුවත් එය අවසන් වන්නේ මැදඟිල්ලේ මුළු ප්‍රදේශයට අයත් ශනි මණ්ඩලයෙනි. ඒ නිසා එය ශනි රේඛාව වශයෙනුත් හඳුන්වයි. ඇතැම් අයගේ මෙම රේඛාව මැණික් කටුව ආසන්නයේ සිට අත්ල හරහා මැදඟිල්ල දක්වා විහිද යයි.

බොහෝ විට ඍජුව ඉහළට විහිදී යන දෛව රේඛාව කෙනෙකුගේ දෛවයට අනුව ලැබෙන සුබ ප්‍රතිඵල ප්‍රකාශ වෙයි. එහෙන්ම ධන සම්පත්, දියුණුව මෙන්ම ඒවාට ඇතිවන බාධක ආදී බොහෝ කරුණු ද මෙම රේඛාවේ පිහිටීම අනුව අනාවරණය වෙයි.

කැපීම්, බිදීම්, ගෙවීම්, දූපත් සලකුණු ආදියෙන් තොර පැහැදිලි ඍජුව පිහිටි දෛව රේඛාවකින් කෙනෙකුට බොහෝ සම්පත් උරුම වන බැව් පෙන්නුම් කෙරේ. එමෙන්ම අන් අයගේ ගෞරවය දිනා ගැනීමටත්, ධන ධාන්‍යයෙන් සශ්‍රීක වීමටත් වාසනාව හිමි වෙයි.

දෛව රේඛාව සිකුරු මණ්ඩලයෙන් (1) පටන් ගත් විට අත්ල හිමියා ජීවිතයේ මුල් කාලයේදී නෑදෑයින් ඈත් කරනු ලබයි. පසු කාලයේදී මොහුගේ කටයුතු පවුලේ අය විසින් පාලනය කරනු ලබයි. (මව, පියා, ස්වාමියා හෝ බිරිඳ විය හැකිය) එම අයගේ ආධාර උපකාර මත ඔවුනට භාග්‍යය උදාවනු ඇත. තමන්ගේ ව්‍යාපාර විශාල වශයෙන් දියුණු වේ. මැණික්කටුව මුලින්ද කෙනෙකුගේ දෛව රේඛාව ආරම්භ විය හැකිය. එලෙස මැණික්කටුව ආශ්‍රයෙන් නැඟෙන පැහැදිලි දෛව රේඛාවක් ඇති අය (2) අන් අයගේ පිහිට අපේක්ෂා නොකරන අතර, ස්ව උත්සාහය හා ධෛර්ය මත තව තවත් දියුණුව කරා යති. එම රේඛාව රවි මණ්ඩලය ( වෙදගිල්ල මුල) කරා විහිදේ නම් නොයෙකුත් කලා ශිල්ප වලින් ප්‍රසිද්ධියට පත් වේ. බොහෝ විට ඔවුන් ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් විය හැකිය. මොවුන් ඉක්මන් විවාහවලට යොමුවූවත් බොහෝ විට අසාර්ථක තත්ත්වයක් පෙන්නුම් කෙරේ. මෙම රේඛාව ශනි මණ්ඩලය මතදී තාරකාවකින් අවසන්වී නම් එය වඩාත්ම පැහැදිලි වෙයි. සිකුරු මණ්ඩලයෙන් (1) පටන්ගත් දෛව රේඛාවක් තිබීමත් එය හෘදය රේඛාවට බෑවුම් ව තිබීමත් විවාහකයෙකු සමඟ සම්බන්ධතා පවත්වන බැව් හෙළිකරයි. යම් අයෙකුගේ දෛව රේඛාව ශනි මණ්ඩලය හරහා මැදඟිල්ලේ මැද දක්වා විහිද යාම අශුභ තත්ත්වයකි. මැණික් කටුව ප්‍රදේශයෙන් පටන්ගත් දෛව රේඛාව මැදඟිල්ල දක්වා ගොස් ත්‍රිශූල හැඩයකින් කෙළවර වූයේ නම් (4) එය එම රේඛාවේ හොඳම සුබදායක පිහිටීම ලෙස සැලකේ. ධනය, කීර්තිය, ගෞරවය , ප්‍රසිද්ධිය ආදී හැම දෙයක්ම එමගින් උරුම කරදෙයි.

දෛව රේඛාවේ මුල කොටස හෙවත් මැණික් කටුව ආසන්නයේම ඇති කොටස දූපත් ලකුණු සහිත හෝ කැඩුම් බිඳුම් සහිත වී නම් ජීවිතයේ මුල් අවදියේ ඇති වූ අසනීප හෝ වෙනයම් බාධක හෝ පෙන්නුම් කෙරේ. ශීර්ෂ රේඛාවට පහළින් දෛව රේඛාව බිඳී හෝ කැපී ගියහොත් ජීවිතයේ මැද වයසේදී (35-40 අතර) විශාල පසුබෑමකට හෝ කරදරයකට හෝ ලක්විය හැකිය. දෛව රේඛාවෙන් ඉහළට විහිදී යන රේඛා සියල්ල වාසනා රේඛාවේ. එමගින් ජීවිතයේ ඉදිරි දියුණුව පෙන්නුම් කරන අතර, පහළට විහිද යන රේඛා අශුභ තත්ත්වයක් ප්‍රකාශ කෙරේ.

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භවී (3) බාධක ලකුණූ වලින් තොරව ශනි මණ්ඩලය කරා විහිද යෑම ද සැප සම්පත් උරුම කර දෙන පිහිටීමකි. විරුද්ධ පාර්ශ්වයේ එනම් ස්ත්‍රියක නම් පුරුෂයෙකුගෙන් ද පුරුෂයෙකුනම් ස්ත්‍රියකගෙන් ද ආධාර නොඅඩුව ලබාදෙන විවාහ ජීවිතය සැපවත්ව ගත කළ හැකි බවට සලකුණක් වෙයි.

දෛව රේඛාව බාධකවලින් තොරව රවි මණ්ඩලය (5) දෙසට විහිදී ගියහොත් ලේඛන කලා ක්ෂේත්‍රය වැනි අංශවලින් දියුණුවත්, ප්‍රසිද්ධියත් හෙළිකරන අතර එය බුධ මණ්ඩලය (6) දෙසට හැරුනොත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් ප්‍රකාශ වේ.

දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන්වීම හෘදයාබාධයක් ඇතිවීමට හේතුවිය හැකිය. ආදර සබඳතා බිඳවැටීමට හේතුවන බව කියැවේ. දෛව රේඛාවට සමාන්තරව තවත් එවැනි රේඛාවක් පැහැදිලි ලෙස ඉහළට ගියහොත් එම අයට මාර්ග දෙකකින් ධනය ලැබෙයි. දෛව රේඛාවෙන් ඉහළට නැඟෙන රේඛාවලින් කෙනෙකුගේ වේගවත් දියුණුව ජයග්‍රහණ හා ජනපි‍්‍රයත්වය ද ප්‍රකට කෙරේ. බලාපොරොත්තු ඉටුවීම්. සුබදායක සිදුවීම් එම රේඛා බෙදී යනු ස්ථානයට අදාළ වයස් සීමාවේදී සිදුවේ. තමා ආදරය කරන අය හා විවාහවීම, රැකියාවකට ඉඩ සැලසීම, ව්‍යාපාරයේ දියුණුව ආදි ජීවිතයේ සුබදායක අවස්ථා එමගින් තීරණය කළ හැකිය.

දෛව රේඛාවේ අවසානය කතිර ලක්ෂණයක් එය හදිසි විපතකි. දෛව රේඛාවේ අග දෙබලක් වීනම් (අතවිහිදීම) සුබ ලකුණකි. එම සලකුණු ඇති ස්ථානයට අදාළ කාල සීමාවේදී වාසනාව මතුවෙයි. එය ශීර්ෂ රේඛාවට සම්බන්ධවන ස්ථානය වයස 35 ලෙසට සැලකිය හැකිය. කාන්තාවකගේ අතක චන්ද්‍ර මණ්ඩලයෙන් පටන්ගත් දෛව රේඛාවක් ඇතිවිට ඉක්මන් විවාහයකට ඉඩ සැලසේ.

කෙනෙකුගේ අතක දෛව රේඛාවක් නැත්තේ නම් හේ කිසිම අරමුණක් නොමැතිව දිවි ගෙවෙන කෙනෙක් විය හැකිය. මුලින් දෙකට බෙදී ආරම්භ වෙන දෛව රේඛාවක් ඇති අය අන් අයගේ ආධාර මත හෝ මඟපෙන්වීම මත හෝ දියුණුව ළඟා කර ගනී. ඇතැම් විට හොඳ දෛව රේඛාවක් ඇතිවිටත් අවාසනාවන්ත වන අවස්ථා ද ඇත. එයට හේතුව වනුයේ සමතුලිත නොවූ අතක් තිබීමය. ඒ සඳහා මණ්ඩලවලද යහපත් පිහිටීමක් තිබිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.