මතක ශක්තිය විනාශ කරන නරකම පුරුදු

මාර්තු 12, 2021

නිවැරදි ජීවන රටාවකට අනුව ජීවත් වීමට හුරුපුරුදු වීම ඕනෑම කෙනෙකුට ඉතාම යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා ගන්න හේතු වෙනවා. එහෙත් නොදැනුවත්කම නිස‌ා‌ හෝ නොසැලකිලිමත්කම නිසා අපේ ජීවන රටාව තුළදී යම් යම් වැරදි සිදුවෙන්න පුළුවන්. වැරදි ජීවන පුරුදු නිසා අපට ඇතිවන රෝග තත්ත්වයන් රාශියක්ම තිබෙනවා. ඒ අතරින් අද අපි කතා කරන්නේ සමහර වැරදි පුරුදු නිසා අපේ “මතක ශක්තියට සිදුවන හානිය” පිළිබඳවයි.

වුවමනාවට වඩා නිදා ගන්නා එපා.

රාත්‍රී කාලයේ අඩුවෙන් නිදා ගැනීම නිසා පසුදා උදෑසන ඇතිවිය හැකි ශාරීරික හා මානසික අපහසුකම් බොහෝ තිබෙන බව ඔබ මේ වන විටත් අත්දැකීමෙන් දන්න බව අපට විශ්වාසයි. අඩුවෙන් නිදා ගැනීම වගේම වැඩි කාලයක් වුවමනාවට වඩා නිදාගැනීමත් මඟින් සිරුරට හා මනසට ඉතාම අයහපත් බලපෑම් ඇති කරන බව ඔබ දන්නවාද? ඒ වගේම තමයි අසනීප තත්ත්වයක් නොමැති සෑම විටෙකම උදේ පාන්දරින්ම අවදිවීම ඉතාම යහපත් සිරිතක්. කිසිම හේතුවක් නොමැතිව පසුදා දහවල් වනතුරුත් නිදාගන්න අය අප අතර බහුලව සිටිනවා. උදේ අවදිවෙන්න ඕන හොඳම වේලාව උදෑසන 5 – 6 අතර කාලය බවත් පුරුද්දක් වශයෙන් දිනපතා වුවමනාවටත් වඩා ප්‍රමාද වී අවදිවන අයට මතකය ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පැහැදිලිවම ඇතිවන බවත් ස්වීඩන්, පිලිපීන හා ඇමරිකානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කීපයක්ම මේ වන විට පර්යේෂණ රැසක් මඟින් සනාථ කර තිබෙනවා. රාත්‍රී නින්ද පැය හතකට හෝ අටකට වඩා අඩුවෙන් ලබන රාත්‍රී කාලයට අමතරව දහවලටත් අතරින් පතර නිදාගන්න අයගේ මොළයේ සෛල වලට අවශ්‍ය තරමින් කි‍්‍රයාශීලීවන්නට තිබෙන අවස්ථාව මඟහැරී යන බවයි. ඉහත පරීක්ෂණ මෙහෙය වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මේ නිසාම මතක ශක්තිය විනාශ වීම ඉක්මනින්නම සිදුවන බවත් මතක තබා ගන්න.

උදෑසන ආහාර වේල මඟහරින්න එපා.

බොහෝ දෙනෙක් තුළ තිබෙන වැරදි මතයක් තමයි උදෑසන කෑම වේල මඟහැරුණත් දහවල් කෑම වේල යහපත් ලෙස ගැනීමෙන් එම අඩුපාඩුව මඟහැරෙන බව. ග්‍රාමීය ජනයාගෙන් වැඩි දෙනෙක් මෙම මතය බැහැර කරමින් නොවරදවාම උදෑසන ආහාර වේල භුක්ති වින්දත් නාගරිකයන් ‌බොහෝ දෙනෙක් වුවමනාවෙන්ම හෝ කාර්යබහුලකම නිසා හෝ රාජකාරියට වේලාවට වාර්තා කිරීමේ හේතුව මත හෝ උදෑසන කෑම වේල මඟ හරින බව පෝෂණවේදීන් විසින් කරන ලද සමීක්ෂණ වාර්තා මඟින් පැහැදිලිවම සනාථ වී තිබෙනවා. බොහෝ දෙනෙක් කිරි වීදුරුවක්, බිස්කට් එකක්, තේ එකක් ආදී ඉතාම සුළු දේකින් උදෑසන ආහාර වේල සීමා කරන බවත් රහසක් නොවෙයි. ඔබ දන්නවාද? ඔබ අතින් සිදුවන වැරදි බොහෝමයකට හේතුව ඔබේම නොසැලකිලිමත් බව, උදේ ආහාරය සමබල ලෙස දිනපතා නොවරදවාම ගත යුතුයි යන මතයට ගරු කරමින් ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කළොත් උදේ ආහාර වේල නොගෙන සිටීමේ හෝ මඟහැරීමේ වරද ඔබ අතින් සිදු නොවෙනු ඇත. අදින් පසු උදේ කෑම වේලට කොහොමහරි වේලාව හොයාගෙන විනාඩි 10 – 15 ක් ඒ වෙනුවෙන් වෙන් කරන්න, ඔබ අදිටන් කරගත යුතුයි‍. එහෙම නොවුණොත් එම වැරැද්ද නිසා ඔබේ මොළයේ සෛල විනාශ වන බවත්, ඒ

නිසාම කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් මතක තබා ගැනීමේ ශක්තිය අඩුවීමක් පැහැදිලිවම සිදුවන බවත් මතක තබා ගන්න.

සීනි සහිත ආහාර පාන වලට ඇබ්බැහි වීම.

දෛනික සීනි පරිභෝජනය සීමාව ඉක්මවා යාම අද ගොඩක් දෙනෙක්ගෙන් සිදුවන වරදක්.

බොහෝ දෙනෙක් හිතන්නේ සීනි පරිභෝජනය කියන්නේ සෘජුවම සීනි ආහාරයට ගැනීම කියලයි. පැණි බීම වර්ග, රසකැවිලි වර්ග, පිෂ්ඨය අධික කෑම වර්ග පරිභෝජනය අධික වීමෙන් ලේ වල අඩංගු සීනි ප්‍රමාණය ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා දියවැඩියාව, හෘද රෝග, පිළිකා ආදී රෝග තත්ත්වයන් බහුලව ඇතිවන අතරම ලේ වල සීනි අධික වීමෙන් මොළයේ සෛල වලට සෘජුවම හානි වීමද සිදුවෙනවා. මේ නිසා මතක ශක්තිය දුර්වල වීම පැහැදිලිවම සිදුවෙනවා.

විවිධ හේතූන් මත මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඉවසා සිටීම.

ඉන්න තැනින් නැඟිටලා යන්න තියෙන කම්මැළිකම නිසා මුත්‍රා තදකරගෙන ඉන්න අය කාර්යාලවල වගේම නිවසේත් ඉන්න පුළුවන්. කාර්යාලවල සේවය කරන තරුණ පිරිස අතරින් විශේෂයෙන්ම තරුණ කාන්තාවන් මීට වැඩි නැඹුරුවක් දක්වනවා. අනවශ්‍ය කම්මැළිකම වගේම ලැජ්ජාව වැනි හැඟීම් ද මෙවැනි තත්ත්වයන් ඉවසා සිටීමට හේතු වෙන්න පුළුවන්. මෙම පුරුද්ද ඉතාම නුසුදුසු බව කිව යුතුයි. මුත්‍රා කිරීමට අවශ්‍යතාවය තිබියදී එම අවශ්‍යතාව මැඬගෙන සිටීම සෘජුවම වකුගඩු වලට මෙන්ම ‌මොළයටත් ඉතා අහිතකර ලෙස බලපානවා. මෙවැනි අයගේ මොළයේ සෛල ඉක්මනින් විනාශ වීමත්, මතක ශක්තිය අඩුවීමත් සිදුවිය හැකි බවයි වෛද්‍ය පර්යේෂණ මඟින් සනාථ වන්නේ.

රූපවාහිනිය නරඹන අතරතුර කෑම කන්න එපා.

ආහාර රටාවන් වගේම බහුතරයකගේ ආහාර පුරුදුත් අද විශාල පරිවර්තනයකට ලක්වී තිබෙන බව ප්‍රසිද්ධ රහසක්. සෑම ආහාර වේලක්ම ගැනීමේදී එම ආහාරවේල් ඉතා සැලකිල්ලෙන් ආහාරයට ගත යුතුයි. එය තවත් පැහැදිලි කරනවා නම් මේ උදාහරණය ඊට කදිම නිදසුනක්. ‌ගොඩක් දෙනෙක් ආහාර ගන්න පුරුදු වෙලා තිබෙන්නේ රූපවාහිනිය නරඹන අතරතුරයි. තවත් සමහරු ආහාර වේල භුක්ති විඳීන්නේ පරිගණකයේ වැඩකරන අතරතුරයි. මෙලෙස තමා භුක්ති විඳීන ආහාර වේල පිළිබඳව අවධානයෙන් නොගෙන ඕනවට එපාවට කෑමෙන් ඇතිවන තත්ත්වය අපේ ගැමියන් සරලව හඳුන්වන්නේ “ආහාර වේල පත්තියන් වෙන්නේ නෑ” කියලයි. සමහර කෙනෙක් මේ තත්ත්වයට කියන්නේ “ඇඟට අල්ලන විදිහට කෑම ගන්න ඕන.” කියලයි. අවධානයෙන් තොරව ආහාර ගැනීමෙන් සිදුවන ප්‍රධාන අකටයුත්ත තමයි අප ගන්නා ආහාර ජීර්ණය වෙන්න අවශ්‍ය කරන එන්සයිම ශරීරය තුළ නිසි ලෙස ශ්‍රාවය නොවීම. එම තත්ත්වය මොළයේ සෛල අඬපණ වීමටත්, මතක ශක්තිය අඩු වීමටත් සෘජුවම හේතුවන බවත් වෛද්‍ය විශේෂඥවරු පවසනවා.

 

ඉතිරිය ලබන සතියේ....

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.