අභිමතය පරිදි ස්ත්‍රී පුරුෂ දරුවන් ලැබීමට නම්

අප්‍රේල් 2, 2021

අපේ මේ මිනිස් දිවියේ ඉතා වැදගත් සන්ධිස්ථානය ලෙස විවාහය හඳුන්වා දිය හැකි ය. මව්කුසින් ද විවාහය තුළින් ද අප කවුරුත් දෙවරක් ඉපදෙන බව සෘෂිමුණි භාෂිතයකි. විවාහයකින් නියම පල ලැබීමට නම් පුතුන් ලැබිය යුතු ය.

විවාහයේ ප්‍රධාන පරමාර්ථය ද එය වෙයි. ඒ සඳහා ඡ්‍යොතිෂයේ හා ආයුර්වේදයේ අප විසින් අනුගමනය කළයුතු ක්‍රම හා උපදෙස් රාශියක් සඳහන් වේ. තම අභිමතය පරිදි පුත්‍රයින් හා දුහිතෲන් ලබා ගැනීමේ උපක්‍රම හා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ පැරැණි ඡ්‍යොතිෂ පොත්පත්වල විස්තර සඳහන් වෙනවා. යුග දිවියට පැමිණි ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම එකම බලාපොරොත්තුව ජීවිතයේ ඉහළම තෘප්තිය ලෙස සලකන රති සැපත විඳ ගැනීම වේ. එහි අතුරු ඵලයක් ලෙස දරුවන් ලැබීම සලකනු ලැබේ. නියම අඟ පසඟ ඇති නිරෝගිමත් රූමත් දරුවන් ලැබීමට වඩා සැපතක් විවාහක යුවලකට තවත් නැති බව පුන පුනා කිවයුතු නොවේ. මෙම මහඟු ඵලය ලබා ගැනීම සඳහා කායික මානසික නිරෝගිතාවය මෙහිලා ඉතා වැදගත් වන බව පෙන්වා දී තිබේ. එයින් පිරිපුන් ස්ත්‍රී පුරුෂ දෙදෙනා පළමුකොට දරුවන් ලබා ගත යුතු ආශාවෙන් සිත පුරවා ගත යුතු ය.

බියවීම, ශෝකවීම, සිත චංචල වීම, කුසගින්නේ සිටීම, අධිකව කෑම ගැනීම, අන් පුරුෂයන් පැතීම යන කරුණු අත්හැරිය යුතු ය. එම අවස්ථාවලදී ගැබ් ගනීම සිදු නොවන බව පුරාණ ආචාරීන් විසින් කියා තිබෙන අතර නවීන වෛද්‍ය මත අනුව ඒවා අනුමත නොකරන බව පෙනේ. එහෙත් ඒවායේ වැදගත්කමක් ද යෝග්‍යතාවයක් ද තිබෙන බව මැදහත් ලෙස ගැඹුරින් සිතන විට වැටහී යයි.

ඉතා බාල වූද, ඉතා මහලු වූද, ලිංගික රෝගවලින් පෙළෙන්නාවූද ස්ත්‍රී පුරුෂයින් වර්ජනය කළ යුතු ය. එවැනි අයගෙන් උපදින දරුවන් තමාටත් රටටත් වැඩදායක වන්නේ ඉතා කලාතුරකිනි.

 

අප සැමට ලැබෙන ප්‍රතිසන්ධිය

ලොව සියලු සත්වයෝ නිතරම කුසල අකුසල කර්ම රැස් කරති. මෙම කර්ම ශක්තිය නිසා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් සසර ගමනේ යෙදෙති. සත්වයින්ගේ උපත සිදුවන ක්‍රම හතරක් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යනු එම සිව් ආකාරයයි. කුරුල්ලන් ආදී බිත්තරවලින් හට ගන්නා සත්වයින් අණ්ඩජ වර්ගයට අයත් වේ. දලඹුවෙන් වෙලී ඉපදෙන මිනිස් ආදී සත්වයෝ ජලාබුජ වෙති. තෙතමනය සහිත තැන්වල හට ගන්නා මදුරු, පණු ආදී සත්තු සංසේධජ යනුවෙන් ද කර්ම බලයෙන් නිර්මිත ශරීර ඇතිව පහළවන්නාවූ දෙව්, බඹුයක්, බූ පිසස් ආදීහු ඕපපාතික යනුවෙන් ද හඳුන්වති.

මිනිස් උපත, පිළිසිඳ ගැනීම පිළිබඳ ඡ්‍යෝතිෂ ඇසින් බැලීම මේ ලිපියේ අරමුණ වේ. අවිද්‍යාව හා තෘෂ්ණාව නිසා සත්වයෝ උපදිති. ආයුෂ, උෂ්ණය, විඥානය නිරුද්ධ වීමෙන් මරණය සිදු වූ වහාම නැවත ඉපදීම සිදුවේ. මරණයත් උපතත් අතර අන්තරාභවයක සිය උත්පත්තියට සුදුසු තැනක් ලැබෙන තුරු ඉන්නා බවට ද මතයක් තිබේ. එහෙත් ථෙරවාද බුදු දහමට අනුව එවැන්නක් තිබිය නොහැකි ය. කූඩැල්ලා යම්කිසි තැනක් අල්ලා ගත්විට මුලින් අල්ලා ගත් තැන අත්හරින්නාක් මෙන් සත්වයාගේ මරණය සිදු වූ වහාම කර්ම බලයෙන් පරලොව සත්වයාගේ පහළවීම සිදුවේ. නව විඥාන සංස්කාර තත්ත්වයක් ඇතිවීම එම ආත්මභාවයෙන් වෙන් කිරීමට හේතුවන මූලික බලය බව කිව හැකි ය. එහෙයින් ප්‍රතිසන්ධිය ලැබීමත් එයට ඇති හේතුවක් ස්ථානයත් අභ්‍යන්තර මෙන්ම බාහිර ධර්මතාවයන් වේ. අලෝභ, අදෝෂ, අමෝහ යන තත්ත්වයන් ඒ කරුණු තුන වෙයි. මේ බව කේන්ද්‍රයේ චන්ද්‍ර සූර්ය, ලග්න ස්පුටවලින් නිගමනය වෙයි. පෞරුෂය හීන් කිරීමේ කර්ම බලවේගය නිසා ස්ත්‍රී පුරුෂ භාවය ද, පෞරුෂය වැඩි කිරීමේ වේගය නිසා පුරුෂභාවයත් ඇති වේ. මේ තත්ත්වය ඇති කිරීම ගුරු හා කුජ සතුව පවතින බව පැහැදිලි සත්‍යයකි. නවාංශක ක්‍රමයෙන් ස්ත්‍රී පුරුෂ බව නිගමනය කිරීමට වඩා එය වඩාත් නිවැරැදි බව කිව යුතු ය.

චිත්තක්ෂණයක් පවතින ඇතිවන අතිශයින් සියුම් කාලය තුළ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් විය හැකි ය. යම් ප්‍රතිසන්ධියක් ඇතිවීමේ දී අදාළ ස්ථානයට උදාවන්නා වූ ලග්න, චන්ද්‍ර, සූර්ය ස්පුඨවලට වැඩි බලයක් ශනිගෙන් යොමු වූ විට නපුංසක උපතක් සිදුවිය හැකි ය. මෙය සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

දරුවෙකුගේ උපතට හේතුවන ලිංගික සම්බන්ධතා පැවැත්වීමට සුදුසු අවස්ථා, ගැළපෙන ග්‍රහ පිහිටීම්, ග්‍රහ යෝග ආදිය දිව්‍යමය වූ ඡ්‍යෝතිෂ ශාස්ත්‍රයේ දැක්වේ. රවි, සඳු, කිවි, ගුරු යන ග්‍රහයින් ස්වක්ෂේත්‍ර රාශිවල ද, ලග්නයේ හෝ නවාංශකයේ සිටියදී කුජගේ වීක්ෂණය හෝ නවාංශකයේ සිටියදී කුජගේ වීක්ෂණයට ලක් වුවොත් හෝ යෝගව සිටීමෙන් යෙදෙන මොහොත දරු සම්පත සඳහා අවශ්‍ය ලිංගික සම්බන්ධතාවයට ඉතා සුදුසු කාලය වෙයි. එසේම බෙහෙවින් පලදායක වනු ඇත. සඳු 3, 6, 11 යන උපචය රාශියක සිටියදී සුබ ග්‍රහයෙකුට පෙනුන විට ශුභ ලග්නයක් ද උදා වී ඇති ඉරත්තේ දින රාත්‍රියක පුත්‍ර ලාභය සඳහා බීජ නිශේකය කළයුතු බව කිව යුතු ය. දුබල නොවූ ගුරු 1, 5, 9 ත්‍රිකෝණ භාවයක සිටින සුබ දිනයක පුත්‍ර ප්‍රතිසන්ධියක් ඇතිවීමට හේතු වේ. ලග්න ස්ථානයට හා පුත්‍ර ස්ථානය (5)ට අධිපති වන ග්‍රහයින් දෙදෙන එකට සිටීම හෝ ඔවුනොවුන්ගේ දැක්මට ලක්වීම ද පුතුන් පිළිසිඳ ගන්න යෝගයක් වේ.

රවි, කුජ, ගුරු, රාහු යන ග්‍රහයින් 6, 11 යන ස්ථානයක සිටීම ද පස්වැන්නාධිපති බලවත් වීම ද, සිය ග්‍රහයින් ඔත්තේ රාශිවල සිටීම ද යන පිළිසිඳින යෝගවලින් පුත්තු උපදිති. 5, 10 යන තැන්වල සිකුරු සිටීමද, තම රාශිවල හෝ නවාංශකවල එම ග්‍රහයින් සිටීම ද ගැහැනු දරුවන් මව්කුස පිළිසිඳ ගැනීමට හේතු වේ. ලග්න ස්ථානයේ රාහු සිටිද්දී සඳුට පෙනීම ද, ලග්නයේ සඳු සිටිද්දී රාහුට පෙනීම ද කේන්ද්‍ර ස්ථානයක සිකුරු සිටීම ද, සඳු හෝරාවේ සිකුරු සිටීම ද දියණියන් ලැබෙන යෝග වේ.

මිථුන, කන්‍යා, ධනු, මීන ද්වි ස්වභාව රාශියක බුධ සිටියදී ද එවැනි රාශියක් බුධට පෙනීම දහයේ බුධ සිටීම ද යමල යෝග වන අතර එසේ යෙදුන විට නිවුන් දරුවෝ පිළිසිඳ ගනිති. මෙසේ උපදින අයගේ ගැහැනු පිරිම බව නිගමනය කළ යුත්තේ රාශි හා නවාංශක යෙදී ඇති අයුරු මත වෙයි. සම රාශිවල සඳු, සිකුරු සිටීම ද, ද්වි ස්වභාව නවාංශකවල සඳු, සිකුරු සිටීම ද නිසා නිවුන් අය උපදිති. එසේම ලග්නයේ බුධ හා කුජ ගුරු සිටීම ද නිවුන් දරු උපත් ඇතිවීමට හේතු වන ග්‍රහ බලපෑම් වේ.

චතුෂ්පද ගතෙ භාතෞ

ශෙෂෛවීය¸ සමන්විතඞ

ද්විතනුස්ථෛශචය මලෞ

භවතඞ කෝෂ චෙෂ්ටිකෞ

වරහමිහිරේ එන මේ සිලෝවෙන් කියවෙන්නේ මේෂ, සිංහ, වෘෂභ, ධනුවේ පශ්චිම භාගය මකරේ පූර්වාර්ධය යන චතුෂ්පාද රාශියකට රවි පැමිණි විට අනෙකුත් ග්‍රහයින් උභය රාශිවල සිටීමෙන් ද නිවුන් දරුවන් උපදින බවයි.

දිවා භාගයේ රවි සඳු ඔවුනොවුනට පෙනීම, රාත්‍රී කාලයේ බුධ, ශනි එකිනෙකා දැකීම ද යන ග්‍රහ පිහිටීම් ඇත්නම් නපුංසකයින් පිළිසිඳ ගන්නා බව ශාස්ත්‍රයේ දැක්වේ.

ඡ්‍යෝතිශාස්ත්‍රානුකූලව මේ සඳහා සුදුසු නුසුදුසු වන ආකාරය මීළඟට සොයා බලමු. තම අභිමතය පරිදි දරුවන් ලබාගත හැකි අයුරු හෝරාසාරය ඇසුරින් මෙසේ ඉදිරිපත් කළ හැකි ය. පුත්‍රයෙක් ලැබීමට ස්ත්‍රී කේන්ද්‍රයක සඳු උච්ච රාශියක සිටියදී ඒ රාශිය සුබ පුරුෂ ග්‍රහයෙකුට පෙනේ නම්, සුබ ලග්නයක් උදාව ඇති ඉරට්ටේ දින රාත්‍රියක බීජ නිශේකය කළ යුතු ය. බෙහෙවින් පළදායක වන ලෙස ලිංගික සම්බන්ධතාවයට උචිත කාලය නම් රවි, සඳු, සිකුරු, ගුරු යන ග්‍රහයින් තම ක්ෂේත්‍ර රාශි ලග්නයේ හෝ නවාංශකයේ සිටි කල්හි කුජ යෝගවීම හෝ කුජගේ වීක්ෂණය ලැබේ නම් ඒ කාලය යහපත් වේ.

බලවත් වූ ගුරු 1, 5, 9 යන තැනක හෝ ඉහත කී රාශියක නවාංශකයක සිටීම වූ සුබ දිනක ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවෙන් පුත්‍ර ලාභ ඇතිවේ. පුතෙකු පිළිසිඳ ගනී. ලග්නාධිපති ග්‍රහයා සමඟ පස්වැන්නාධිපතියා එක්ව සිටින විට ද, එම දෙදෙන ඔවුනොවුන් දකින විට ද, එම ග්‍රහ ක්ෂේත්‍ර රාශි මාරුකරගෙන සිටින විට ද පුතුන් ලබන යෝග බලය උදාවෙයි. ශනි බලවත්ව අනෙක් ග්‍රහයින්ගේ දෘෂ්ටි හෝ යෝගවීම් නොමැතිව සිටීම ද පුතුන් පිළිසිඳ ගන්නා ග්‍රහ බලය තිබෙන අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම 6, 11 භාවයක සිටීම ද යහපත් වෙයි. 5 අධිපති බලවත් වීම ද, සියලුම ග්‍රහයින් ඔත්තේ රාශිවල සිටීම ද යෙදුන කල ස්ත්‍රී පුරුෂ සබඳතාවයෙන් පුත්‍රයෝ උපදිති. 5, 10 භාවවල සඳු සිකුරු යෝගය ද, තම රාශිවල හෝ නවාංශකයේ සිටීමද යන ග්‍රහ බල අවස්ථාවන්හි දියණියන් පිළිසිඳ ගනී. ලග්න ස්ථානයේ සිටින රාහු සඳුට පෙනීමද, ලග්නයේ සිටින සඳු රාහුට පෙනීම ද දියණිවරුන් ලැබීමට හේතු වෙයි. සිකුරු සඳුගේ හෝරාවේ සිටීම ද කේන්ද්‍ර ස්ථානයක සිටීම ද නිසා ස්ත්‍රී දරු උපත් ලැබේ.

භාව කුතුහලය නම් ප්‍රශස්ථ ජ්‍යෝතිෂ ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයට ලග්නාධිපතියා ලග්නයෙහි ද 1, 2, 3 යන ස්ථානයක සිටි විට ද ඒ අයට පළමුව වාසනාවන්ත පුතෙක් ලැබේ. ලග්නාධිපති 4 වැන්නේ සිටි විට පළමුව දුවෙක් ද ඊට පසු පුතෙක් ද ලැබෙන බව පෙන්වා දී තිබේ. එසේම පුත්‍රස්ථානය 5 වැන්න දකින ග්‍රහයින් යම් ප්‍රමාණයක් වෙයි ද ඒ ගණනට පුතුන් ලැබෙන බව ද, එසේම 5 වැන්නේ යම් පමණ ස්ත්‍රී ග්‍රහයින් දකී නම් එපමණටම ගැහැනු දරුවන් ද පිළිසිඳ ගන්නා බව ද 3, 1, 2, 5, 12 යන ස්ථානයක සිටි විටදී දරුවන් ලැබීම ඉතා අඩු වේ. සඳු කුජ කිවි තිදෙන ධනු රාශිය හැර මිථුන, කන්‍යා, මීන යන උභය රාශිවල සිටි විට ද ඒ තැනැත්තාට බොහෝ දරුවන් ලැබෙන බව කිව හැකි ය.

කර්මානුරූපව සත්වයෙක් මව්කුස පිළිසිඳගෙන උපරිම වශයෙන් දසමසක් ඇවෑමෙන් මව්කුසින් බිහිවන තුරු ගර්භගත කාලය වෙයි. දස එකඩ මසින් හෝ දස මසින් හෝ දස මසින් හෝ සත් මසින් හෝ දරුවා මෙලොවට බිහි වෙයි. මීට වෙනස්ව යෙදෙන අති විශේෂ අවස්ථා තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ලාභීන් අතුරින් අග්‍රස්ථානය ලැබූ අසූ මහා ශ්‍රාවක සීවලී මහරහතන් වහන්සේ සත් අවුරුදු සත් මස් සත් දවසක් මව් කුසයේ සිටි බව සඳහන් වේ. එය බලගතු අකුසල කර්ම විපාකයක් නිසා බව ද කියවේ.

සුප්‍රසිද්ධ වරාහමිහිර ඡ්‍යෝතිෂ පඬිතුමාගේ පුත්‍ර පෘථුයශස් පඬිතුමාගේ හෝරා සාරය නම් ඡ්‍යෝතිෂ ග්‍රන්ථයේ සඳහන්වන අන්දමට මව්කුසේ වැඩෙන ජීවියාගේ කාලය මාස අනුව ඒ ඒ ග්‍රහයින් අධිපති වන ආකාරය මෙසේ ය. පිළිසිඳගත් ජීවියාගේ ස්වභාවය ලේ කැටියක් කලල රූපයක් වන පළමු මාසය සිකුරුට අයත් වේ. දෙවැනි මාසය කුජට ද, ගැබ අංකුර හට ගන්නා 3 වැනි මාසය ගුරුට ද අයත් වේ. ඇට හා ඇට මිදුලු හටගන්නා 4 වැනි මාසය රවිට හිමි වේ. සම මේද, රුධිරය හැදෙන 5 වන මස අධිපති වන්නේ සඳු ය. සත්වයාගේ රූපය ක්‍රමයෙන් වැඩී අංගසම්පූර්ණ වන 6 වන මාසය අයත් වන්නේ සෙනසුරුට ය. ඤාණේන්ද්‍රිය පහළ වන්නේ 7 වන මාසයේ දී ය. එහි අධිපති බුධ වේ. මව් කුසයේ මෙසේ වැඩෙන දරුවාට පිපාසය බඩගින්න දැනෙන්නේ 8 වන මාසයේ දී ය. ඒ මාසයට අදාන ලග්න අධිපති පාලක ග්‍රහයා වේ. වේදනා, උද්වේග දරුවාට දැනෙන 9 වන මාසයට සඳු අධිපති වේ. මව් කුසින් බිහිවන 10 වන මාසයට අධිපති වන්නේ ලෝක පියා වන රවි ග්‍රහයා ය. මෙම මාස අධිපති ග්‍රහයින් පිළිබඳව ද දරු ගැබ වැඩෙන ආකාරයේ අඩු වැඩිවීම් ද මැනවින් පරීක්ෂා කර බලා මව්කුසින් දරුවා බිහිවීම පිළිබඳ තත්ත්වය කිවයුතුව තිබේ.

 

කලාභූෂණ ඡ්‍යෝතිෂ ඉඳුවර

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.