සමාජයෙන් දුරස් වී යන ඉපැරැණි

අප්‍රේල් 9, 2021

ජන ක්‍රීඩා

අතීතයේ පැරණි ගම්වල කතුරු ඔංචිල්ලා හා තනි ඔංචිල්ලා යනුවෙන් දෙවර්ගයක් තිබුණත් වර්තමානයේ දැකිය හැක්කේ තනි ඔංචිල්ලා ක්‍රීඩාවකි. කතුරු ඔංචිල්ලාවේ රඳවා ඇති ලෑල්ලේ එකවර අට දෙනෙකුට නැඟිය හැකි තරමට ශක්තිමත්ව තිබූ බව කියවේ. අද සිංහල දෙමළ අලුත් අවුරුදු ක්‍රීඩාවලදී දැකිය හැක්කේ තනි ඔංචිල්ලා පමණකි. ඔංචිලි පැදීම සමගිය හා විනෝදය මැනවින් පෙන්වන ක්‍රීඩාවකි.

 

පොර පොල් කෙළිය

උඩුපිළ හා යටිපිළ වශයෙන් මෙහිදී ද දෙපිළක් තරග වදී. කටුව ඉතා ශක්තිමත් වූ විශේෂ දිගැටි පොල් මෙම තරගයට යොදාගනී. ප්‍රථමයෙන් යටි පිළේ තරඟකරුවෙක් උඩුපිළ දෙසට පොල් ගෙඩිය එවයි. උඩු පිළේ තරගකරුවෙක් ගුවනේ පාවෙන එම පොල් ගෙඩියට තම අතේ රඳවා ගත් පොල්‌ ගෙඩියෙන් පහර දෙයි. යටිපිළ එවූ පොල් ගෙඩිය ඉන් බිඳී ගියහොත් උඩුපිළ දිනයි. මෙසේ දෙපිළ අතර තරගය අවසන් වෙන්නේ සියලු පොල් හෝ වැඩිම ගණනක් පොල් බිඳී ගිය පිළ පරාජය වීමෙනි. දෙපිළ මාරුවෙන් මාරුවට පොල් විරුද්ධ පිළ වෙත යවන අතර යටිපිළ දිනුවොත් සුබ ලකුණක් (සුබ නිමිත්තක්) සේ සලකයි. උඩුපිළ දිනුවොත් නැවත තරගය පවත්වයි. මෙම බිඳීගිය පොල් මද කොටා මිරිකා තෙල් සිඳ පත්තිනි දෙවියන්ට පහන් දල්වයි. ඉන් ගමටම පත්තිනි දෙවි බැල්ම ලැබෙන බව විශ්වාසයේ පවතී.

 

ඔළිඳ කෙළිය

මෙය කාන්තාවන් පමණක් සහභාගි වන ක්‍රීඩාවකි. මේ සඳහා වළවල් හෑරූ ඔළිඳ පුවරුවක්

අවශ්‍ය වෙයි. එම වළවල් වලට මාරුවෙන් මාරුවට ඔළිඳ ඇට දමමින් දෙදෙනෙකු ක්‍රීඩා කරයි. ඔළිඳ පුවරුවට උඩින් පැනීම දෙවියන්ට කරන නිගරුවක් හා සමානව සලකයි. එක වළක ඔළිඳ ඇට 5 ක් හෝ 7 බැගින් පමණක් නිතරම තිබෙන ලෙස මෙහිදී ක්‍රීඩා කළ යුතුයි. උඩරට ප්‍රදේශ වල අද ද ජනප්‍රිය ක්‍රීඩාවකි. අතීතයේ මෙය ජනප්‍රිය ගෘහස්ථ ක්‍රීඩාවකි.

 

ඔංචිලි කෙළිය

අතීතයේ පැරණි ගම්වල කතුරු ඔංචිල්ලා හා තනි ඔංචිල්ලා යනුවෙන් දෙවර්ගයක් තිබුණත් වර්තමානයේ දැකිය හැක්කේ තනි ඔංචිල්ලා ක්‍රීඩාවකි. කතුරු ඔංචිල්ලාවේ රඳවා ඇති ලෑල්ලේ එකවර අට දෙනෙකුට නැඟිය හැකි තරමට ශක්තිමත්ව තිබූ බව කියවේ. අද සිංහල දෙමළ අලුත් අවුරුදු ක්‍රීඩාවලදී දැකිය හැක්කේ තනි ඔංචිල්ලා පමණකි. ඔංචිලි පැදීම සමගිය හා විනෝදය මැනවින් පෙන්වන ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවට බහුලව සහභාගි වන්නේ කාන්තාවන් හා කුඩා දරු දරියන්ය. ඉතාම රසවත් ඔංචිලි කවි මෙහිදී ගායනා වේ.

 

එක අත්තක සිට රැහැයි හඬන්නා.

තව අත්තක සිට කොහා අඬන්නා.

එරබදු ගස් රතු මලෙන් පිරෙන්නා.

අවුරුදු සිරියෙන් ගම පිබිදෙන්නා.

 

පුරවර මැද බැඳී රන් ඔංචිල්ලා.

දුර යන හැටි දැක පුදුම නොවෙල්ලා.

වැරකර ළඳුනේ තව පැදපල්ලා.

සුරපුර දෙවියනි රැකු මෙ සියල්ලා.

 

නෙරෙංචි කෙළිය

ලෑලි පුවරුවක නෙරෙංචි පෙතක් ඇඳගෙන එහි ඉත්තන් තබමින් දෙදෙනෙකු අතර කෙරෙන සරල ක්‍රීඩාවකි. කලාතුරකින් පැරණි ගමක මෙම ක්‍රීඩාව අද සිදු කෙරෙයි.

දොළහ කෙළිය

වර්තමානයේ“පංච දැමීම” නමින් මෙම ක්‍රීඩාව හැඳීන්වේ. සමහර පළාත්වල දොළහ

දමනවා, බෙල්ලෝ දමනවා යනුවෙන් අද හැඳීන්වේ. පහතරට මෙන්ම උඩරට ද තවමත් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවකි. කුඩා බෙල්ලන් හයදෙනෙකු පංච පෙත පැත්තක තබා තිබෙන මුණින් නැමූ පොල් කටුවක් මතට බෙල්ලන් හයදෙනා දමා වැටෙන “අය” අනුව ඉත්තන් තබති. පංච පෙතක් මද ඝනකම ඇති කොළයක ඇඳ ගනී. අද ද අවුරුදු සමයේ පවුලේ අය හා අස්ලවැසියන් පිරිසක් එකතු වී මහත් විනෝදයෙන් කරන ක්‍රීඩාවකි. සමඟිය හා විනෝදය පිළිබිඹු කරයි. මෙම ක්‍රීඩාව දෙවියන් සතුටු කිරීමේ ක්‍රීඩාවක් බවට විශ්වාසයේ පවතී.

 

සොකරි නැටීම

මේ උඩරට සතර කෝරළයේ හා වන්නි ප්‍රදේශවල පවත්නා ශාන්ති කර්මයකි. තවත් අතකින් ගොයම් කපා පාගා ගැනීමෙන් පසු ගොවියන් කමතේදීම කරනා නැටුම් විශේෂයකි. කෘෂිකර්මාන්තයට සශ්‍රිකත්වය අපේක්ෂා කරමින් පත්තිනි දෙවියන් යැදීම මෙම නැටුමේ අරමුණයි. ගුරුහාමි, සොකරි, වෙදරාළ, පරයා, සොක්කා, හෙට්ටියා, වඩුරාළ, කපුරාළ වැනි චරිත ඇතුළත්ව නාට්‍යයක් විලාසයෙන් අදටත් ඇතැම් පළාත්වල රඟ දැක්වේ. බක් මාසයේ මෙන්ම වෙසක්, පොසොන්, මාසවල ද අද සමහරු ගම්වල ගෘහාංගන ආශ්‍රිතව සිදු කරයි. ඉතාම විනෝදජනක අවස්ථාවන් මෙහි වේ. අස්වනු සරුවීම නිමිත්තෙන් දෙවියන්ට තුති පිදීමට සිදු කරන ක්‍රීඩාවකි. සිංහල අවුරුදු සමයේ වී අස්වැන්න නෙළීමත් සමඟම බහුලව මෙම ක්‍රීඩාව සිදු කරයි.

 

වළගුඩු කෙළිය

මෙහිදී කුඩා වළක් හාරා ඒ මත අඟල් 6 – 7 ක් පමණ දිග කෝටු කැබැල්ලක් තබා දෑතට දිගු

කෝටුවක් ගෙන එය ඉහළට විදීම සිදු කරයි. මෙම කෝටු කැබැල්ල ක්‍රීඩාවට සම්බන්ධ රකින පිලේ කෙනෙකු විසින් අල්ලා ගතහොත් එය විදීම කළ තැනැත්තා දැවී යයි. ඊළඟ වාරය තව කෙනෙකුට හිමි වෙයි. කිසියම් කෙනෙකුට එම කෝටු කැබැල්ල අල්ලාගත නොහැකි වුවහොත් විදීම කළ වළේ සිට කුඩා කෝටු කැබැල්ල වැටුණු තැනට අත වූ කෝටුවෙන් දුර මැන එය ගණනය කර සටහන් කර ගනී. ක්‍රීඩාව අවසානයේ වැඩිම දුරක්‌ කෝටුව විද්ද තැනැත්තා ජයග්‍රහණය ලබයි. සිංහල අවුරුදු සමයේ අදටත් ගම්බදව කුඩා දරුවන් හා ගැමි ලියන් අතර ජනප්‍රිය ක්‍රීඩාවකි.

 

චක්ගුඩු කෙළිය

මෙහිදී ශක්තිමත් පිරිමි දෙපිරිසක් අතර මෙම ක්‍රීඩාව සිදුවේ. එක පිළකට 5 හෝ 6 සම්බන්ධ වේ. දෙපිළට බෙදි මැද ඉරක් ඇඳ තරගය ඇරඹේ. එක් පිලකින් කෙනෙක් ඉදිරිපත් වී ගුඩු ගුඩු යන්න නොනවත්වා කියමින් අනික් පිළේ කෙනෙකුගේ සිරුරට පහරක් ගැසුවොත් පහර කෑ පුද්ගලයා තරගයෙන් ඉවත් වේ. යම් හෙයකින් පහර කෑ පුද්ගලයා හෝ අන් අය විසින් අනෙක් පිළේ තරග කරුවා තම සීමාව තුළදී ග්‍රහණය කරගතහොත් ඔහු තරගයෙන් ඉවත් වේ. මෙසේ පිල් දෙක ගුඩු ගුඩු යන්න නොනවත්වා කියමින් එක් පිලක් හිස් වනතුරු ක්‍රීඩා කළ යුතුය. අද ජාතික ක්‍රීඩා උළෙලේ මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ ජනප්‍රියව ඇති කබඩි ක්‍රීඩාව මෙම චක්ගුඩු ක්‍රීඩාව ආශ්‍රයෙන් බිහි වූ ක්‍රීඩාවකි. සිංහල අවුරුදු දා පැරණි ගම්වල තවමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. ජව සම්පන්න තරුණයන් මෙම ක්‍රීඩාවට ඉතාමත් ලෙන්ගතුය.

 

ලී කෙළිය

එක් අතකට ලී කෑලි දෙකක් බැගින් ගෙන හයදෙනෙකු එකතු වී බෙරපද තාලයට කවි ගයමින් නටමින් කරන මේ ක්‍රීඩාවට වඩාත් සම්බන්ධ වන්නේ පිරිමි ළමුන්ය. මෙම ක්‍රීඩාව කඩු හරඹයට මූලික පුහුණුවක් ඇති කරන්නකැයි සිතීමට හැකියි. මහනුවර ඇසළ පෙරහර ඇතුළු ප්‍රධාන පෙරහරවල සම්ප්‍රදායික ක්‍රීඩා අංගයකි.

 

රඹුක්කන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.