විවාහයේ සුබ අසුබ කියන විවාහ රේඛා සහ විවිධ සලකුණු

මැයි 14, 2021

විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අවස්ථාවකි. එය කෙනකුට රෝස මල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයකුට එය කටු පඳුරුවලින් පිරුණ වන වදුලක් සේ අසුන්දර එකක් විය හැකිය. එය තමන්ගේ පෙර පින් අනුව සිදු විය හැක්කකි. විවාහය පිළිබඳව තොරතුරු ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව වගේම ඔබේ අත්ලේ පිහිටි රේඛා සහ සලකුණු මඟින්ද අනාවරණය වෙයි.

 

විශේෂයෙන් ඒ පිළිබඳව විවාහ රේඛා ප්‍රධාන වේ. අත්ල අයිනේ සුළඟිල්ල මුලටත් ( බුධ මණ්ඩලය) හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි.

යමකුගේ අතේ මෙවැනි රේඛා කිසිවක් නොමැතිනම් ඔහු හෝ ඇය විවාහය පිළිබඳව කිසිදු උනන්දුවක් නොමැති කිසිවකු කෙරෙහි පේ‍්‍රම හැඟීම් නොමැති අය ලෙස සැලකේ. මෙවැනි රේඛා කීපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ සිත කීපදෙනකු කෙරෙහි ඇදී යන ස්වභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි රේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි. විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට (1) බෑවුම් වී ඇත්නම් එය අශුභ තත්ත්වයකි. සහකාරයා හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් එමඟින් පෙන්නුම් කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි විවාහ රේඛාව ද කුමන හේතුවක් නිසා හෝ අඹුසැමි වෙන්වීම හෙළි කරයි. වෙන්වීමට හේතුව ස්වාමිපුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර පළාතක හෝ විදේශ රටක හෝ වූයේ නම් ප්‍රශ්නයක් නොවන අතර නමුත් එකට ජීවත්වීමේදි සාමය නැතිවූ නිසාම හෝ පේ‍්‍රමය පලුදුවීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ.

විවාහ රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම ඉක්මන් විවාහයකට මෙන්ම පේ‍්‍රමය මුල් කොටගත් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. (2) විවාහ රේඛාව දෙකඩ වීමද විවාහයේ බිදවැටීම පෙන්නුම් කිරීමකි. විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දූපත් සටහන් දර්ශනය වීනම් (3) විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ගහන එකක් විය හැකි ය. රේඛාවේ කෙළවර තරුවක ලකුණක් වී නම් (4) පේ‍්‍රම සම්බන්ධය දබරයකින් කෙළවර විය හැක. විවාහ රේඛාවේ කෙළවර කීර්ති රේඛාවට සම්බන්ධ වීනම් ඔහුට (5) හෝ ඇයට ධනවත් අයකු හා විවාහ වීමට ලැබෙයි. එහෙත් විවාහ රේඛාව කීර්ති රේඛාව ඡේදනය කරයි නම් (කැපී ඇත්නම්) අශුභයි. විවාහය නිසා නොයෙකුත් දූෂමාන ආරංචි පැතිරයාමට හේතු වේ. විවාහ රේඛා වැඩි ගණනක් පිහිටීම සම්බන්ධතා වැඩි ගණනක් පෙන්නුම් කිරීමකි. එම රේඛා අතරින් පැහැදිලිව පෙනෙන දිග රේඛාව විවාහය පෙන්නුම් කරයි. විවාහ රේඛාවද වෙනස්වන සුලුය. එම රේඛා සැලකිල්ලෙන් පරීක්ෂා කර එවැනි අසුභ සිදුවීම් ඇතිනම් එවැනි සිදුවීම් හා අවස්ථා මැඬ පවත්වා ගැනීමට උත්සාහ ගත යුතුය. උත්සාහයේ නිසිඵල ලැබෙන විට රේඛාවන් ක්‍රමයෙන් වෙනස්වනු ඇත.

කෙනෙකුගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාව මතදි අවසන් වී නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදු වනුයේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව එය අවුරුදු 35 පළමු සිදු වනු ඇත. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වේ නම් පේ‍්‍රම විවාහයකි.

විවාහ ජීවිතය ගැන සැලකීමේදි විවාහ රේඛා හැරෙන්නට තවත් ස්ථාන කීපයක්ම පරීක්ෂා කිරීම වැදගත්. සිකුරු මණ්ඩලය, ගුරු මණ්ඩලය. හෘදය රේඛාව ප්‍රධාන වන අතර දෛවය රේඛාව ගැනද සැලකිල්ල යොමු කළ යුතුය. සිකුරු මණ්ඩලය තුළ දැල් සලකුණු තිත් සලකුණු කොටු සලකුණු වැටීම අසුබය. වඩාත් උස්ව පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අය තුළ කෙළිලොල් විනෝදකාමී ගතිය සීමාව ඉක්මවා වැඩිවීමත් යහපත් විවාහයකට බාධා ගෙන දෙයි. එසේ වුවද මනාලෙස පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අය කාගේත් සිත්ගන්නා සේම යහපත් විවාහයකට හේතුවේ. සිකුරු මණ්ඩලයේ කොඩියක සලකුණක් වේ නම් එය රාජ යෝගයකි. එය සිංහාසන යෝගයේ එක් අවස්ථාවක් ලෙස සැලකේ. උසස් තනතුරු, සැපපහසු වාහන නිවාස ලාභ ලබන මහා ධන යෝගයකි. මත්ස්‍ය සලකුණද (මාළුවා) සිකුරු මණ්ඩලයට ඉතා භාග්‍යමත් සලකුණක්, රේඛා බණ්ඩිගැසීමෙන් පිහිටන එම සලකුණ විවාහ ජීවිතයේ සතුට මෙන්ම අනේකවිධ භව භෝග සම්පත් ලැබීමට ද හේතුවෙයි.

දබර ඇඟිල්ල මුල පිහිටි ගුරු මණ්ඩලය ද විවාහයට වඩා වැදගත් ස්ථානයක් ඔබේ අත්ළෙහි පිහිටි ගුරුමණ්ඩලය මත ඉතා පැහැදිලි පුංචි කතිර සලකුණක් පිහිටියේ නම් ඔබ හැබෑම වාසනාවන්තයෙකි. ආදරවන්තයින්ගේ කතිරය හෙවත් වැලන්ටයින් කතිරය නමින් එය හඳුන්වයි. මෙම කතිරය වෙනත් බාධක රේඛාවලින් තොරව පැහැදිලිව තිබීම වඩාත් සුබපල දෙයි. ඔබේ අත්ලේ එම කතිර සලකුණ ඇත්නම් ඔබට උගත් ධනවත් දේපළ සම්පත් හිමි ආදරණීය පෙම්වතියක් හෝ පෙම්වතෙක් ලැබීම නිසැකය. අත්දෙකේම මෙම සලකුණ පැහැදිලිව දිස්වෙයි නම් එම ප්‍රතිඵල අනිවාර්යයෙන්ම සාර්ථක වන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. එය පසුකලෙක මැකී ගියහොත් යුග දිවියේ සතුට, සැනසුම පලුදුවීමට ද හේතුවක් විය හැක.

ගුරු මණ්ඩලයේ අල්ල පැත්තට වැටෙන කෙටි රේඛාවලින්ද පෙන්නුම් කරන්නේ පේ‍්‍රම සම්බන්ධතාවක් මත විවාහයකි. හෘදය රේඛාවත් විවාහය හා ආදර සම්බන්ධතා පිළිබඳ විවිධ තොරතුරු හෙළිකරයි. හෘදය රේඛාවේ සිට පහළට වැටෙන රේඛාවලින් පේ‍්‍රම සම්බන්ධතා හා මිත්‍රත්වය වැනි කටයුතු කඩා වැටෙන බව පෙන්නුම් කරන අතර හෘදය රේඛාව ශනි මණ්ඩලයට පහළින් ශීර්ෂ රේඛාව මතට වැටීම විවාහයේ අසාර්ථක බව පෙන්නුම් කෙරේ. ගුරු මණ්ඩලය යටදී හෘදය රේඛාව පහතට වැටීම තමන්ට නොගැළපෙන අයකු හා විවාහ වීමෙන් ජීවිතයට විපත් ගෙන දෙයි. ගුරුමණ්ඩලය දක්වාම දිස්වෙන හෘදය රේඛාවද විවාහයට සුබඵල ගෙන දේ. මැණික් කටු සන්ධියෙන් පටන් ගන්නා දෛව රේඛාව ත්‍රිශූල ලක්ෂණයකින් ශනි මණ්ඩලයෙන් කෙළවර වීම වඩාත් වාසනාවන්ත සලකුණකි. එහෙත් එම රේඛාව අත්ල මැදදි දෙකඩව පැවතීම ජීවිතය නව මඟකට පෙරළීමකි. නැතහොත් එය දෙවෙනි විවාහයක් විය හැකිය.

සිකුරු මණ්ඩලයෙන් පටන්ගත් රේඛාවක් ජීවන, ශීර්ෂ හෘදය රේඛාව ඡේදනය කරමින් බුධ මණ්ඩලය දෙසට විහිද යානම් විවාහය දික්සාදයකින් කෙළවර වී සැමියා අහිමිව භාර්යාව වැන්දඹුභාවයට පත්වේ. එමෙන්ම හෘදය රේඛාව කැඩී බිඳී යාමද පේ‍්‍රම වියෝගවලට හේතු විය හැකිය.

පෙර සඳහන් කළ ලකුණූ අනුව විවාහයේ සුබ අසුබඵල එසේ වුවත් අත්ලේ පිහිටි ග්‍රහ මණ්ඩල හා වෙනත් රේඛා අනුව එම ඵල අපල අවම විය හැකිය. එහෙයින් කෙනකුගේ පලාපල ප්‍රකාශ කිරීමට පළමු සමස්තයක් ලෙස අත්ලම පරික්ෂා කිරීම වැදගත්ය.

 

 

හිඹුටානේ

පියතිලක ද

අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.