ග්‍රහයන් මඟින් නිවේදනය කෙරෙන අමනුෂ්‍යයින්

මැයි 28, 2021

ග්‍රහයෝ මඟින් විවිධ දෑ නිවේදනය කෙරෙති. උදාහරණයක් වශයෙන් රවි හෙවත් සූර්යයා මඟින් පියා, රාජ්‍යය, ඊශ්වර දෙවියන්, පද්මරාග මැණික, අහස්යානය, නිකල් ලෝහය. ඉඹුල් වෘක්ෂය, තඹ වර්ණය, නැඟෙනහිර දිශාව, රතු වස්ත්‍ර වැනි දෑ නිවේදනය කෙරෙති. ඒ නමුත් ග්‍රහයන් මඟින් නිවේදනය කෙරෙන යක්ෂයින් භූතයින් , පේ‍්‍රතයින් පිළිබඳ ව ඇතැම් ප්‍රවීණ ඡ්‍යොතිෂඥයින් මෙන්ම, ආධුනික ඡ්‍යොතිෂඥයින් ද නොදනිති.

 

මෙයට හේතුව නම් වර්තමානයේ මෙරට බොහෝ ප්‍රදේශ ජනාකීර්ණ වීම නිසා අමනුෂ්‍ය දෝෂ අඩු වීමයි. ඒ හේතු කොට ගෙන වර්තමාන සමාජයේ ජීවත් වන ඡ්‍යොතිෂඥයින් ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේදී මෙකී අංශය ගැන යම් දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට උනන්දු නොවීම හේතු කොට ගෙන ඔවුන්ට තත්කාලයෙන් හෝ ලග්න කේන්දරයක් තුළින් මෙකී අමනුෂ්‍ය දෝෂ හඳුනා ගැනීමට නොහැකිය.

එනමුත් වර්තමාන සමාජයේ ජීවත්වන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්, පේ‍්‍රත දෝෂවලින් සහ තම විරුද්ධවාදින් විසින් කරන කොඩිවින හේතු කොට ගෙන පීඩා විඳිති. එලෙස එකී ප්‍රශ්න වලින් පීඩා විඳින ජනතාවගෙන් බොහෝ දෙනා එකී ප්‍රශ්න විසඳා ගැනීමට යන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් දන්නා කට්ටඩියෙක් වෙතය. එහෙමත් නැතිනම් දේවාලයක කපු මහත්මයකු වෙතය. නමුත් අතීත සමාජයේ ජනතාව මෙවන් ප්‍රශ්නවලදී ප්‍රථමයෙන් උපදෙස් ගන්නේ ගමේ සිටින නැකැත් රාලගෙනි. (ඡ්‍යොතිෂඥයා) නැකැත්රාල තත්කාල ලග්නය මෙන්ම උපන් වේලාපහ පරීක්ෂා කර එම තැනැත්තා අසවල් අමනුෂ්‍ය දෝෂයෙන් පීඩා විඳින බවත්, එම අමනුෂ්‍ය දෝෂය ඇතිවූ ආකාරයත් එයට කළ යුතු පිළියම් පිළිබඳව උපදෙස් ලබා දෙයි. එහෙයින් එකල ගැමි සමාජයේ ජීවත්වූ දෛවඥයින්ට මෙකී අමනුෂ්‍ය දෝෂය විසඳීමට පොහොනා පුළුල් ඡ්‍යොතිෂ්‍ය දැනුමක් ඔවුන් සතුය.

ඉහත මාතෘකාව යටතේ තවදුරටත් කරුණු අවබෝධ කර ගැනීම සඳහා ග්‍රහයන් මඟින් නිවේදනය කරන අමනුෂ්‍යයින් කවුරුන්දැයි යන්න පිළිබඳව මඳක් දැනුවත් වෙමු. ඒ අනුව රවි මඟින් අභිමාන යක්ෂයා ද, සඳු මඟින් ජල රකුසා ද අඟහරු මඟින් ඊරි යක්ෂයා ද , බුධගෙන් ගොපලු අවතාරය ද, ගුරුගෙන් සූනියන් යක්ෂයා ද ,සිකුරුගෙන් මෝහිනී සහ මදන යක්ෂයා ද, සෙනසුරුගෙන් සොහොන් යක්ෂයා ද, රාහුගෙන් මහ සොහොන් යක්ෂයා ද, බහිවරයා සහ භූතයින් ද, කේතු ගෙන් පේ‍්‍රත යකා ද, කඩවර යක්ෂයා ද, කළු යකා ද නිවේදනය කෙරෙති. එමෙන්ම කුජ, සිකුරු එකතුවෙන් ලේ කාලි ද ශනි සිකුරු එකතුවෙන් සොහොන් කාලි ද, කුජ කේතු එකතුවෙන් දුර්ගා දේවිය යන අදෘෂ්‍යමාන බලවේගයන් බිහිවෙති. එමෙන්ම සමහර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව හසල දැනුමක් ඇති ඇදුරන් තම විරුද්ධවාදින් එරෙහිව කුජ, ශනි, කේතු යන ග්‍රහයන් නිවේදනය කරන සොහොන් යක්ෂයා, කඩවර යකා, රීරි යක්ෂයා යන යකුන් තුන් දෙනෙක් මුල් කරගෙන කොඩිවින කරති. මෙය ඉතා දරුණු කොඩිවින විශේෂයකි.

ලග්න කේන්දරයක් තුළින් ද අමනුෂ්‍ය දෝෂ ඇති අයවලුන් හඳුනාගත හැක. එවැනි පුද්ගලයන් අපට නිතර හමු නොවන අතර ඉතා කලාතුරකින් එවැනි පුද්ගලයන් හමුවිය හැක. පහත දැක්වෙන්නේ එවැනි අමනුෂ්‍ය බලපෑම් ඇති කාන්තාවකගේ කේන්දර සටහනකි.

එම කේන්දරයෙහි 7 වැන්නේ දෘෂ්ට භාවාධිපතියන් දෙදෙනෙක් වන එනම් 12 වැන්නාධිපති සෙනසුරු මිත්‍රව ද 8 වැන්නාධිපති නීචව ද සංයෝගව සිටිති. එම දෘෂ්ට භාවාධිපතියන් දෙදෙනා ලග්නයත් ලග්නයේ සිටින ගුලිකත් 2 වැන්නේ සිටින ලග්නාධිපති ගුරුත්, චන්ද්‍රයාත්, මාන්දිවත් දුෂ්ටම දෘෂ්ටියෙන් දකියි.(ග්‍රහයෙක් තම භාවයේ සිට 4 වැන්න සහ 8 වැන්න පාද 3/4ක් දෘෂ්ටිය සිහි දෙතැයි යන ඡ්‍යොතිෂ්‍ය සිද්ධාන්තය සැලකිල්ලට ගෙන) ඒ ගුරු මෙම කේන්දරයේ ආත්මකාරක රවි නවාංශක ලග්නයේ තුලාවේ නීචව ඇත. එම තුලා නවාංශක රාශියේම සඳු ග්‍රහයා ද පතිතව ඇති අතර සඳු තැන්පත් නවාංශකාධිපති සිකුරු 7 වැන්නේ නීච සිටීම ඉහත කේන්දරය හිමි කාන්තාව පෙර ආත්මයක, අමනුෂ්‍යයකු වී ඉපදී ඇති බව පෙන්නුම් කරන ග්‍රහ බලයක් වන්නේය. එනම් ආත්ම දෙකකට ඉහත එනමුත් ගිය ආත්මයෙදී තම මෑණියන් විසින් කරන ලද කුසල් කර්මය හේතු කොට ගෙන මේ ආත්මයේදී මිනිසෙක්ව ඉපදී ඇත. එනමුත් පෙර ආත්මයෙදී දැඩි සම්බන්ධතාවයක් පැවැත් වූ කාලි අවතාරයක්වූ සොහොන් කාලීගේ ඇල්ම බැල්ම මැයට ඇත. 7 වැන්නේ පතිත ශනි /සිකුරු යෝගය ඇයට එම අශුද්ධ ආත්මයේ බලපෑම ඇති බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. ඒ අනුව ලග්න කේන්දරයෙන් විද්‍යමාන වන මැය කෙරෙහි බලපෑම් කරන මෙකී අමනුෂ්‍ය බලපෑම ඇගේ දෛනික ජීවන රටාව තුළින් ද විද්‍යමාන වන්නේය. එ අනුව ඉතා අප්‍රසන්න පෙනුමකින් යුත් තනිකඩ දිවියක් ගත කරන මෙම කාන්තාව අන්‍යයන් සමඟ කාලී මෑණියන් ගේ ගුණ වර්ණනා කරන්නීය. මධ්‍යම රාත්‍රීයෙදී පාළුතැන්, සොහොන් පිටි පසු කරමින් තම වාසස්ථානයට පැමිණෙන මැය රෑ මැදියම බිත්තර බැදගෙන තනිවම කතා කරමින් ආහාර ගනියි. ඉතා අපිරිසුදු කාන්තාවක් වන මැය වාසය කරන්නේ සොරුන්, මත්කුඩුකාරයන්, විවිධ දුසිරිත්වලට ඇබ්බැහිවූ නීච මිනිසුන් වාසය කරන තැන්වලය. එයට හේතුව මැයගේ ගතිගුණ අදහස් ආකල්ප අයහපත් හෙයින් ගුණ යහපත් ශිෂ්ටසම්පන්න පුද්ගලයන්ට මැය අපි‍්‍රය වීමයි.

තත්කාලයෙන්ද අමනුෂ්‍ය දෝෂ හඳුනාගත හැක.පහත දැක්වෙන්නෙ මා විසින් කලකට ඉහත දී තත්කාලයෙන් විසදනු ලැබූ අමනුෂ්‍ය දෝෂ පිළිබඳ ප්‍රශ්නයකට අයත් තත්කාල කේන්දර සටහනකි.

2009.08.17 වෙනි සඳුදා දහවල් 12.42 ට

 

සිංහ නවාංශකය

බුධ හෝරාව රවි පංචමය .අද නැකත

ඉහත වේලාවට තත්කාලයෙන් ප්‍රශ්න කළේ කාන්තාවකි. ඇය මා හට පැවසුවේ, දැනට ඇය වාසය කරන නිවසේ දෝෂ පවතින හෙයින් නිවස විකුණා දමා තමාට අයත් වෙනත් නිවසක පදිංචියට යාම අදහස කර ඇති බවත්. තමා විසින් අදහස් කර ඇති එකී කටයුතු එලෙසම ඉටුවේද යන්නයි. ඉහත තත්කාල ලග්නය සහ නවාංශකය ස්ථීර වීම නිසා සේවාදායකයාට නිවස සම්බන්ධ ප්‍රශ්නයක් ඇති බව පෙන්නුම් කරයි. තත්කාල කේන්දරයේ 10 වැන්න කේන්ද්‍ර කොට ගෙන චන්ද්‍ර ඒරාෂ්ඨක අපලයක් සමඟ සූර්යයා ඒරාෂ්ටක අපලයක් යෙදී ඇති හෙයින්. නිවස විකිනීමට නොහැකි බවත්, එයට හේතුව වශයෙන් මා පැවසුවේ තත්කාල ලග්නයෙන් දෙවැන්නාධිපති මෙන්ම 4 වැන්නෙන් 2වැන්නාධිපති වූ ගුරු වක්‍රව ගුරුට අශුභ ස්ථානයක් වන තුන්වැන්නේ රාහු /කේතු ගෙවී සහ ඒරාෂ්ටක සඳුගෙන් පීඩාවීම හේතු කොට ගෙන තමා අපේක්ෂා කරන ලාභය නිවස විකිණීමෙන් තමාට නොලැබෙන හෙයින් නිවස විකිණිය නොහැකි බවයි. ඒ නමුත් නිවසේ තිබෙන දෝෂය 2009 සැප්තැම්බර් මාසයේ 9 වෙනිදා ශනි, කන්‍යා රාශි ගතව චන්ද්‍ර ඒරාෂ්ටක අපලය ගෙවමින් පවතින කාල වකවානුව තුළදී ගුරු ග්‍රහයා ගෝචරයෙන් තත්කාල ලග්න 5 වැන්නේ ස්වක්ෂේත්‍රව ගමන් කරමින් තත්කාල කේන්ද්‍රයේ 9 වැන්නේ ස්වක්ෂේත්‍ර සඳුට ත්‍රිකෝණව ගෝචරය වන කාලසීමාව තුළදී දෝෂය ඉවත් කළ හැකි බව මා ඇයට පැවසුවෙමි.

කේන්දරයේ ඒ අනුව දෝෂයට හේතුව වශයෙන් මා ඇයට පැවසුවේ තත්කාල කේන්දරයේ 7 අධිපති සිකුරු 6 අධිපති අඟහරු සමඟ සංයෝගව පූර්ණ දෘෂ්ටියෙන් 4 දැකීම හේතු කොට ගෙන ඇයගේ විරුද්ධවාදියෙක් විසින් කාලී මෑණියන් මුල් කරගෙන ඇයගේ නිවසට කොඩිවිනයක් කර ඇති බවත් 8 අධිපති බුධ 10 වැන්නේ රවි සහ ශනි සමඟ යෝග වීමෙන් එම විනය මැරුණු ළදරුවකු ගේ ඇටකටුවලට කවා නිවසට ඇතුළුවන ස්ථානයේ වළ දමා ඇති බවත් තත්කාල කේන්දර සටහනට අනුව වැඩිදුරටත් මා ප්‍රකාශ කර සිටියෙමි. විනය කැපීමට පෙර එනම් 2009/12/20 දින ගුරු, කුම්භ රාශි ගත වූ පසු එනම් තත්කාල ලග්නයෙන් සිව්වැන්නට ගිය පසු බ්‍රහස්පතින්දා දිනයක ගුරු හෝරාවෙන් විභීෂණ දෙවියන්ට හෝ ශක්‍ර දෙවියන්ට පූජා තබා ආරක්ෂාවක් පිහිටුවා පසුව 2010/05/02 දින ගුරු ග්‍රහයා මීන රාශියට ගිය පසු අවසඳු 10 වැන්නේ බලවත්වන බ්‍රහස්පතින්දා, දින තත්කාල ලග්නයේ 4 වැන්නට සහ 4 අධිපති , ශුභ දෘෂ්ටි සංයෝගයෙන් පෝෂිත වන විනය කැපිය යුතු බවත් අවසාන වශයෙන් මා එම කාන්තාවට පැවසුවෙමි. ඒ අනුව ඉහත විග්‍රහයෙන් පැහැදිලි වන්නේ ලග්න කේන්දරයෙන් හෝ තත්කාල කේන්දරයෙන් අමනුෂ්‍ය දෝෂ හඳුනාගත හැකි බවත් එසේ හඳුනා ගෙන ඒවාට පිළියම් යෙදී හැකි බවත්. ඒ සඳහා එකී අංශය පිළිබඳව ඡ්‍යොතිෂ්‍ය පොත පත කියවා ඒ පිළිබඳ දැනුමක් ලබා සිටිය යුතු බවත් මා මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.