ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී ඇත්නම් මරණයට ළංව සිටින්නෙක් වෙයි

නොවැම්බර් 26, 2021

අත්ලක පිහිටන ප්‍රධාන රේඛාවන් අතරින් දෙවෙනි රේඛාව ලෙස සලකන්නේ ශිර්ෂ රේඛාවයි. ශීර්ෂ කියල හඳුන්වන්නෙ හිසට. එහෙම නම් ශීර්ෂ රේඛාව කියන්නෙ හිසට සම්බන්ධ රේඛාවට බව ඔබට පැහැදිලි වෙන්න ඕන. පුද්ගලයාගේ මානසික තත්ත්වයන් ප්‍රකාශවන නිසා මානසික රේඛාව අධ්‍යාත්මික රේඛාව නමිනුත් එය හඳුන්වයි. ශීර්ෂ රේඛාව පටන් ගන්නේත් ජීවන රේඛාව පටන් ගන්න ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නෙ මහපට ඇඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන්මයි. කුජ තලාව හරහා විහිද යන එය චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරු වෙමින් අවසන් වෙන බව රූප සටහනින් ඔබට පැහැදිලි වෙනු ඇති.

මිනිස් මොළයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය වගේම එහි ඇතිවන්නා වූ විවිධ වෙනස්කම් සටහන්වන අත්ලේ ඇති ප්‍රධානම ස්ථානය තමයි ශීර්ෂ රේඛාව. ඇස, කණ, නාසය, දිව යන ජීවිතයේ ක්‍රමික පැවැත්මට මහෝපකාරීවන ඉන්ද්‍රියන්ගේ ලෙඩරෝග ශීර්ෂ රේඛාවේ සටහන් වෙයි. ශිර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදී යන අතර, ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත් මැණික් කටුව දෙසට විහිදයන ප්‍රදේශයට භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැනගත හැකි අතර, කෙනෙකුගේ ශාරීරික ක්‍රියාකාරීත්වය, ආයුෂ, සමාජීය බලපෑම් වැනි කරුණු භෞතික කොටසින් දැනගත හැකි ය.

බාධක රේඛාවලින් නොකැපී, සෘජුව, ගැඹුරුව, දික්ව පිහිටි ශීර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්තියක් ඇති කෙනකු හඳුන්වා දෙයි. නොපසුබට උත්සාහයත් අප්‍රතිහත ධෛර්යයත්, උපතින්ම පිහිටන එවන් අත්ල හිමියෝ මහා ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇතිකර ගන්නා අතර, ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කර ගනිති. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම්, බිඳීම්, දූපත් දම්වැල් ආකාර සලකුණු, කතිර, කුරුස වැනි සලකුණු ඇත්තේ නම් එමගින් පෙන්නුම් කරන්නේ මොළයට සම්බන්ධ ආබාධ ඇති බවකි. හිසරදය, පීනස, නාසයේ හා කනේ ලෙඩ රෝග වැලඳීමටත් එම පිහිටීම් බලපානු ඇත. මෙම ලකුණු අත්දෙකේම ශීර්ෂ රේඛාවල එක ලෙසම පිහිටියේ නම් එම කරුණු ස්ථිර ලෙසම සිදුවෙයි. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් පටන් ගැනීම මොළයේ උණ වැනි අසනීපවලට හේතු වෙයි. හෘද රේඛාව හා ශීර්ෂ රේඛාව පරතරය පටුවූ විට ඇදුම රෝගය, සෙම් රෝග වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. මෙම රේඛා දෙක අතර වඩාත්ම පුළුල් පරතරයක් පිහිටියේ නම් හෙතෙම අතෘප්තිකර හැඟීම්වලින් යුත් අහංකාර ගතිගුණ ඇත්තෙක් වෙයි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් අවසන්වීම තීක්ෂණ මණසක් ඇති බව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව ඇදවෙමින් විහිද ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් පෙන්නුම් කරයි. ශීර්ෂ රේඛාවත්, ජීවන රේඛාවත් එකට සම්බන්ධ නොවී ඈත්ව පිහිටියේ නම් හේ තම මතයටම අනුව ක්‍රියා කරන්නෙකි. ක්ෂණික කෝප සහගත වීම ඔවුන් තුළින් කැපී පෙනෙයි. ශීර්ෂ රේඛාව සෘජුව විහිද ගියේ නම් ස්ථිර අදහස් ඇත්තෙක් වේ.

ශීර්ෂ රේඛාවෙන් මතුවෙන ආරෝහණ රේඛාවක් (උඩ අතට යන) ගුරු මණ්ඩලයට විහිද ගියේ නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමකි. එවැනි පිහිටීමක් ඇති අයට රජයේ උසස් තනතුරු මෙන්ම ප්‍රභූවරුන්ගේ සැලකිලි ද හිමි වේ. ශීර්ෂ රේඛාව අවසානයේ ශාක කිහිපයකට බෙදීයාමද සුබ පිහිටීමකි. උත්පත්තියෙන්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිටි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවයන් ද ඔවුන් තුළින් පෙන්නුම් කෙරේ.

ශීර්ෂ රේඛා දෙකක් ඇති අතක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ අතේ එවැනි දුර්ලභ පිහිටීමක් තිබුණ බව කියැවේ. අසහාය බුද්ධි බලයේත්, අවිහිංසාභාවයේත් සංකේතයක් වශයෙනුයි එය හැඳින්විය හැක්කේ. ජීවන රේඛාවට දුරස්ව නැතිනම් ගුරු මණ්ඩලයෙන් කෙනකුගේ ශීර්ෂ රේඛාව ආරම්භවූයේ නම් හෙතෙම කඩිසර නිර්භීත, එමෙන්ම දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව කටයුතු කරන්නෙකි. මොවුහු ත්‍යාගශීලී, කාර්යශූර වගේම නායකත්වයට ද සුදුස්සෝ වෙති. ජීවන රේඛාවෙන් ඈත්වෙන ප්‍රමාණය අනුව මෙම ගති ලක්ෂණ පෙන්නුම් කෙරේ. යම් අයකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී ඇත්නම් හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් රේඛාව කැඩී ඇත්තේ නම් හිසේ ආබාධයක් හෝ ඇති අයෙක් විය හැකි ය. ශීර්ෂ රේඛාව මත හතරැස් කොටු සලකුණක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණ පෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්ෂා වෙයි. ශීර්ෂ රේඛාව දඟර ගැහීම අසුබයි. මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයා එමඟින් හඳුනා ගන්න. හිසට සම්බන්ධ නොයෙකුත් ලෙඩරෝගවලට හේතුවිය හැකි නිසා දම්වැල් ලක්ෂණවලින් යුක්ත ශීර්ෂ රේඛාවන් සුබ නොවේ. සමහර අයගේ මෙම රේඛාව මත කළු තිත් දැකිය හැකියි. ලේ නහරවල කිසියම් දෝෂයක් නිසා එසේ විය හැකිය. ශීර්ෂ රේඛාවේ දූපත් ලකුණු වැටීමෙන් පීනස, අපස්මාරය වැනි රෝගාබාධ වැලඳෙන බව ද පෙන්නුම් කරයි.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.