බඹපුත් අසුරේන්ද්‍ර ආපස්සට ගමන් කරයි

පෙබරවාරි 11, 2022

 

පසුගිය වසර දෙක තුනේම කොහේවත් නොගිහින් මේ දෙන්නා එක තැන හිටියා. ඒ සුබවාදිව. එම නිසා ඇවිදීම්, පිස්සු වැටීම්, වණ දද, කුෂ්ඨ රෝග එහෙම ඇති කළේ නැහැ.

 

බොහෝ දෙනෙකුට වසංගතය තිබියදීත් දිවයිනෙන් පිට යාමට ඉඩ සැලැස්සුවා. වෙනදා කවදාවත්ම මෙරටින් විදේශයකට යන්ට නොසිතපු අයත් ගියා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිම් දවසින් දවස දික් වුණා. අතරමඟදී හසුවුණත් ටික දෙනෙක් ව්‍යාජ ලෙසත් කැන්ගරු රාජ්‍යය වන ඕස්ට්‍රේලියාවටත් ගියා. කොරෝනාව බොහෝ දෙනකුට අයහපත් වුණාට කීපදෙනකුට යහපත් වුණා කියලා හිතන්න පුළුවන්. රාහු වෘෂභයෙන්, කේතු වෘශ්චිකයෙන් පැළපදියම් වුණා. මේ ග්‍රහයො දෙන්නට ඡ්‍යොතිෂයේ පැරණි බොහෝ දෙනා රාහුට අසුරේන්ද්‍ර කියලත්, කේතාට බඹපුත් කියලත් හැඳින්වූවා. අනිත් ග්‍රහයන්ට වඩා බොහෝ සෙයින් වෙනස්ව ක්‍රියාකරන නිසා රාශිවළල්ලේ ස්ථිර තැනක් හෝ අයිතියක් දුන්නෙ නැහැ. ඒක නිසාම මේ දෙදෙනා ගැන විස්තර ටිකක් වැඩියෙන් දැනගැනීම වටිනවා.

රාහු සහ කේතුටත් ඡ්‍යොතිෂයේ නියමයන් නැතුවා නොවේ. ඒ වුණාට මම කිව්වා අනිත් ග්‍රහයන්ට වඩා වෙනස් කියලා. ඕනෑම ග්‍රහයකුගේ ස්වරූපය ඒ කිව්වේ යහපත් අයහපත් බව හත් වන රාශියට හෙවත් සප්තම දෘෂ්ඨියට නොවෙනස්ව බලපානවා. නමුත් මේ ජෝඩුවගේ සප්තම් දෘෂ්ඨියට වෙනස්වයි බලපාන්නේ.

උදාහරණයක් ගනිමු. රාශි වළල්ලේ රාහු 5 වැන්නට ඒ කිව්වේ ශිල්පස්ථානයට හෙවත් විද්‍යස්ථානයට විද්‍යාව නැත්නම් ශිල්පය හීන කරනවා. නමුත් කේතා විද්‍යාව ඉගෙනුම දියුණු කරනවා. බුධ සමඟ යෝග වුණොත් ගොඩම තමයි. රාහු තුන්වැන්නට හා සය වැන්නට නීරෝගි භාවය ඇතිකරනවා. නමුත් කේතා නිතර රෝග හදනවා. ඒ වගේ වෙනස් ක්‍රමයටයි මේ ජෝඩුව හැසිරෙන්නෙ. මේ දෙන්නා විවාහය ගැන කියන ඒවා පසුවට කියන්නම්. තව විශේෂයෙක් තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ඕනෑම රාශියකට හෝ දෙකකට අයත් කිසියම් හෝ ග්‍රහයෙක් ඉන්නවා. ඕනෑම කෙනකුට සුබඵල අශුභ ඵල දෙන්නෙ පෙර කල කුසලාකුසලය මත මේ ග්‍රහයා නැත්නම් ග්‍රහ කිරණය ඔස්සේ තමයි. ඔබ හිතාවි ඔබටත් එහෙම කරනවද කියලා. ඔබට / මට විතරක් නොවේ. අංගුලිමාලටත්, ජේසුස් වහන්සේටත් අපේ බෝධි සත්වයන් වහන්සේටත් මේ ග්‍රහයෝ හොඳට නරකට ක්‍රියකළ බව පොතපතේ සඳහන් වනවා. එහෙනම් අපි වගේ අය කවුද නේද? මේ රාහු කේතු හඳුනාගන්න හරි ලේසියි. කොයි ආකාරයට ප්‍රතිඵල දෙනවද කියල දෙයියෝ තමයි දන්නේ. රාහුගේ ස්වරූපය තමයි මිනිස් රූපය ගත්තොත් ඔළුව කොටස නයි පෙණයක් සහිත නයෙකුගේ උඩ කොටස සහ පහළ කොටස මිනිහෙකුගේ පහළ කොටස වගේ. කේතා ගත්තොත් කේතාගේ උඩ කොටස සිහින් කෘෂ කෙට්ටු මිනිස් රූපයක වගේ හා පහළ කොටස විශාල නාගයකුගේ කඳ වගේ.

මේ රූප ගැන ටිකක් ඔබම හිතුවොත් තරමක දැනුමක් ලැබේවි. තවත් විස්තර දැනගන්න ඕන නම් හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහත්මයාගේ “ජීවිතය හා ග්‍රහයෝ” ග්‍රන්ථයේ මුල් පිටුවේ ඇති පින්තූරය බලන්න. ඒ ඉන්නේ කේතා. මලක් උඩ. ඒ ඇයි දන්නවද? මල නැත්නම් පියුම කේතාගේ වාසභවන. එක එක ග්‍රහයන්ට අනුමත වාසස්ථානයක්, ගමන් කරන වාහනයක්, පුද භාර ගන්නා ග්‍රහ අවතාරයක් වගේ දේවල් තිබෙනවා. ගුප්තවේදියා ඒ ඒ ග්‍රහයන්ට ගුරුකම් කරන කොට ඡ්‍යොතිර්වේදියා යන්ත්‍ර දමන කොට ඒ ඒ ග්‍රහයන්ට ආවේණික දේවල් වලට, අවතාර වලට මතුරන්න ඕනෑ. උදාහරණ වශයෙන් අපි ගමු. රාහු අපලයකට කිසියම් යන්ත්‍රයක් දමනකොට පළමුවෙන් දැනගන්න ඕන අවශ්‍ය සුදුසු යන්ත්‍රය කුමක්ද කියලා. එහෙම නැතුව නිකන් යන්ත්‍ර දමල වැඩක් නැහැ. මම මේ කියන්නෙ එක ග්‍රහයෙක් ගැන එනම් රාහු ගැන විතරයි. අනිත් ග්‍රහයන්ටත් මේ වගේම ශ්ලෝක තිබෙනවා. “ප්‍රඥා විහින මතිවික්‍රම අර්ථහානි විසුද්ධ ගාත වද බංදන රෝග පීඩා – භන්‍ධු පුවාස ධනහානි මහප්පු නාසම්– රාහු දසාභජති ජීවිත කල්ප සහසුම්”

මෙන්න මේ ශ්ලෝකයෙන් කියැවෙන අපල සිදුවෙනවා. මේ රාහුගේ අපලයට නියම යන්ත්‍රය තමයි” සිද්ධි නාගර්ජුන” යන්ත්‍රය. අනිත් යන්ත්‍ර වගේ 1008 වාර ගණනක වඩා මතුරලා බෙහෙත් ආලේප කරලා රත්‍රං පොඟවලා තමයි ජප මන්ත්‍රය මතුරන්නේ. කේතාගේ දිශාව පතල. වැඩ ඉන්නෙ පුෂ්පය. උඩ අවතාරය මත්ස්‍යයා නැත්නම් මාළුවා.

අපි කිව්වනේ පසුගිය අවුුරුදු 3ක් විතර රාහු කේතා සංක්‍රමණය වුණේ නැහැ කියලා. ඒ වුණාට ඔන්න 2022 වසරේ අපේ‍්‍රල් මස 12 වැනි දවසේ ඉංගී‍්‍රසි පැය 13 මිනිත්තු 40ට මේ දෙන්නම එක රාශියක් පසුපසට එනම් රාහු මේෂ රාශියටත්, කේතා තුලා රාශියටත් එනවා. වෘෂභ රාශියේ හා වෘශ්චික රාශිවල උච්චව සිටි මේ දෙදෙනා මේෂ රාශියටත් තුලා රාශියටත් එන්නෙ ශත්‍රෘ ස්වභාවයෙන් හෙවත් නපුරුවෙලා. කොහොමත් ආ පස්සට එනකොට කවුරුත් නපුරුයි නැත්නම් හතුරුයි නේ. එම නිසා රාහුගෙන් හා කේතුගෙන් කිසියම් දෙයක් බලාපොරොත්තු ඔබ 2022 අපේ‍්‍රල් 12 ට ප්‍රථම කරගන්නා ලෙසට මම මින් යෝජනා කරනවා. එහෙම කළොත් ඔබ ගොඩ. නැත්නම් කරදර වේවි කියලයි මට හිතෙන්නේ. දිවයිනෙන් පිටට යන්ට උත්සාහ කරන අයට මේ කිවු දිනයට දොර වැහෙනවා. එම නිසා ටිකක් කඩිනම් කරල කරගන්න. අපි වටා වේගයෙන් භ්‍රමණය වන ඔය ග්‍රහ ලෝකවල බලපෑම ඉතා සැරයි. මනුෂ්‍ය ජීවිතය “තණ අග පිනිබිදු වැනිය” කියලයි. ලෝවැඩ සඟරාවේ කියන්නේ. නමුත් ලෝක විනාශය වනකං මේ ග්‍රහලෝක පවතිනනවා. ලෝක විනාශය ඇතිවන්නේ මේ ග්‍රහ විපර්යාසය නිසා. ඡ්‍යොතිෂයේ ඒවාට කියන්නේ ග්‍රහ යුද්ධ කියලා. 2022 සිංහල අලුත් අවුරුද්දෙන් පසුව තමයි මේ රාහු කේතු දෙදෙනාගේ ක්‍රියාකාරිත්වය ආරම්භ කරන්නෙ. මේ රාහු අඟහරුවට අයිති මේෂ රාශියෙන් කේතු සිකුරුට අයිති තුලා රාශියට ත් හතුරුවෙලා එනවා. එහෙනම් හතුරු පල තමයි ගෙනෙන්නෙ. එහෙනම් මේ රාශි දෙකේ දි මේ ග්‍රහ දෙක කොහොම බලපානවද කියල එක එක පැත්තට හරව හරවා බලාගන්න. මේෂ ලග්න හිමියන්ගේ ජන්ම පත්‍රයේ තත්කාල කේන්දරයේ රාහු ඉන්නේ ඔළුවට සම්බන්ධව නිසා හැම දෙයක්ම නරක් කරනවා. කඩාකප්පල් කරනවා. රාහුගේ ශ්ලෝකයේ කියනවා. තැනක ‘මති වික්‍රම අර්ථහානි’ කියලා එතකොට තේරුමක් නැති වැඩ තමයි කරන්නේ. ඇයි එහෙම වුණේ කියලවත් දැනගන්ට බැරිවේවි. ඉතාම කල්පනාවෙන් වැඩ කරන වසරක් වේවි. අනික මේ දෙන්නා යම් රාශියකට ආවොත් අඩුම තරමින් මාස 18කට වැඩියෙන් ඉන්නවා කේතුට වසර 07ක් වුණාට රාහුට අට ළොසක් හෙවත් වසර 18ක් . ඒ වගේම කන්‍යා ලග්න හිමියන් වෘශ්චික ලග්න හිමියන්. වාෂභ ලග්න හිමියන් පවා ප්‍රවේසම්වන්ට ඕනෑ. ඒ මොකද කිව්වොත් ඔබේ තත්කාල කේන්දරයේ 6,8,12 අයිති රාහු /කේතාට ද කියල ගණන් හදලා බලා ගන්න. මේවා කලින් බලලා පරික්ෂා කරල අවශ්‍ය දේ කරගත්තොත් හොඳයි. මොකද නයි පෙණ හිමියන්. නයි කඳ හිමියන් අනිත් ග්‍රහයන් වගේ ස්ථිර දායක ග්‍රහයො නොවේ. යහපත් කුල ප්‍රධාන ග්‍රහයොත් නොවේ. එක භාගයක් නයෙක් හා භාගයක් මිනිස් රූපයක් වැනි ස්වරූපයක්. ශතෘ ස්ථානයකට රාහු ආවත් නරකයි. කේතු ආවත් නරකයි. කේතා කිව්වේ හොරි, කුෂ්ඨ, දද ඇති කරන වණ තුවාල හදන, බොරු කරන ග්‍රහයෙක් බව. මේ ශ්ලෝකයෙන් වටහාගන්ට හැකිවේවි.

“භන්දු ප්‍රවාස ධන හානිම බුද්ධිමාද භූපාග්ය චෛෟර භය හානි ශරීර පීඩාම් – විසුද්ධ ගාත මානස්සු

කුක්ෂි රෝග කේතු දාස සඳති සංසදය මා පාදස්ම”

ඔන්න කේතා හෙවත් බඹපුත් ගැනත් දැනගන්න කෝ. මේ ශ්ලෝක ඍෂිවරයන් වහන්සේලා එදා දේශනා කළ ඒවා නිසා නියත ප්‍රතිඵල දෙනවා. මේ ශ්ලෝක කිසිම පොතක නැහැ. ඉතා පැරණි පාරම්පරික පුස්කොළ පොත්වල ඇතුළත් ඒවා. මේවා කටපාඩම් කරගත්තත් පාඩු නැහැ. කේතු ග්‍රහයා නරක් වුණොත් නියමිත යන්ත්‍ර තමයි නවගුණ යන්ත්‍රය හෝ භ්‍රහ්ම පාතාලය වැනි යන්ත්‍ර. කේතු ලැබුවාම අපිරිසිදු අය සමඟ වැඩි කිට්ටු සමීප ආශ්‍රය කරන්ට එපා. තවත් එකක් කේතා අපිරිසුදු තමයි. ඒත් වසංගත රෝග බිහිකරන්නෙ නැහැ. එකට කෑම කන එක ස්පර්ශයෙන් ආශ්‍රය කරන එක හොඳයි තමයි. ඒ මේ ඒකට කාලය නොවේ. ඔබ ඒ ගැන වැඩියෙන් හිතන්න. රාහු කේතා නරක් වුණොත් මිතුරු කරගෙන යහපත් කාලයක් උදාකර ගන්නත් බැරි නැහැ. මේ අයගේ හොඳ ගතිගුණ නැත්තෙ නැහැ. හොඳ කේන්දරයක වුණත් ශතෘ ස්ථාන වන 6,8, 12 ට ආවොත් පිහිටියොත් අහෝසි කර්මයකින් ජීවිතය නතර වන්ට බැරි නැහැ. මේ දෙන්නා ජීවිත හකුළුවා තබන්න හපන්නු.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.