අතීතයෙන් අපට උරුම වූ බලි තොවිල්

මාර්තු 11, 2022

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අෂ්ටාංගයෙන් එකක් ලෙස පුරාණ භූත විද්‍යාව සලකනු ලැබේ. ඒ බව මහඍෂි වාග්භටතුමා විසින් රචිත අෂ්ටාංගහෘදය පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් කියවේ.

කාය – බල ගහොර්ධවාංග – ශල්‍ය,දංෂ්ට්‍රා – ජරා, වෘෂාන් අෂ්ටාවංගනි තස්‍යාහුශ් චිකිත්සා යෙෂු සංශි‍්‍රකා

 

 

 

එම අංග අට පහත සඳහන් කරයි

1.කාය චිකිත්සාව 2.බාල චිකිත්සාව 3.ග්‍රහ චිකිත්සාව 4.උර්ධවාංග චිකිත්සාව 5.ශල්‍ය චිකිත්සාව 6.දංෂ්ට්‍රා චිකිත්සාව 7.ජරා චිකිත්සාව8.වෘෂ චිකිත්සාව

මෙයින් අංක තුනෙන් කියවෙන ග්‍රහ චිකිත්සාව කෙටියෙන් මෙසේය. දේව, අසුර, ගන්ධර්ව, යක්, රාක්ෂස, පිසාච, නාග, ග්‍රහ ආදීන් විසින් ආශි‍්‍රත සිත් ඇතියවුන්ගේ ශාන්තිකර්ම. බලහරණ ආදිය ද ග්‍රහයන්ගේ සංසිඳවීම ද පිණිස වේ.

ඔසු මඟින් ලෙඩ සුව කරන්නා මෙන්ම ඔසු නැතිව යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් ලෙඩ සුව කරන තැනැත්තා ද වෛද්‍යවරයෙක් වන්නේය. මෙකල අපේ රටේ බොහෝ දෙනා ඔසුවලින් ලෙඩ සුව කරන වෙද මහතාට තරම් බෙහෙත් නැතිව මන්ත්‍ර බලයෙන් ලෙඩ සුව කරන භූත වෛද්‍යවරයා ට නොසලකයි. එසේ වුවත් පුරාණ කාලයේ ආතමුත්තා ඔහුට ගුරුන්නාන්සේ යයි අමතා පාසල් ගුරු තත්ත්වයෙන් සැලකුවේය. ගම්පති ගමරාල තරමට උසස් විය. බොරුවෙන් මුළා කරන භූත විද්‍යා පොත් අඩුවී සත්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇතුළත් පුරාණ හා නවීන භූත විද්‍යා ග්‍රන්ථ සුලබ වෙතොත් ආනාගතයේ භූත වෛද්‍යවරයාගේ තත්ත්වය උසස්වනු නො අනුමානය.

යාග කර්ම පැවැත්මේ මාධ්‍ය වන්නේ කාව්‍යය යි. එහි ආකෘති ලක්ෂණ විවිධ අංශයන්ට අයත් වේ. මෙතෙක් ව්‍යවහාරයේ ප්‍රශස්ති ලෙසින් ප්‍රබන්ධ කර ඇති සිලෙව, එලිසමය සහිත ගී, සිව්පද මන්ත්‍ර, යාදිනි ආදී අංගයන් ගෙන් ඒවා සමන්විත වේ. සකු, පාලි, මලයාලම්, දමිළ ආදී භාෂාවන්ගෙන් ප්‍රබන්ධ කර ඇති මන්ත්‍ර ද හැර අනෙක් කාව්‍යාංග බොහෝ කොට මිශ්‍ර සිංහල බසින් යුක්තය.

ලෝකයේ පැරණිතම සාහිත්‍යයක් ලෙස හඳුන්වන වේද සාහිත්‍ය භාරතීය යාග ක්‍රමවලින් යුක්තය. ක්‍රි.පූ. 1500-900 අතර කාලයේ රචිත ඍග්වේදය ගී වලින් සමන්විතය. ඉන්දියාවේ ඇතිවූ දේව ඇදහීම්වලට මුල් වූයේ යාග හෝම පැවැත්වීය. මේ යාග දෙවියන් සඳහා වූ ඔවුන් තෘප්තිමත් කර යම් යම් අභිපේ‍්‍රතාර්ථයන් ලබා ගැනීමට පවත්වන ලද්දකි. එම ශ්ලෝක කීපයක් පහත සඳහන් වේ.

සහස්‍ර ශීර්ෂා පුරුෂඞ

සහස්‍රාක්ෂඞ සහස්‍ර ප්‍රාත්

සංභූමි විශ්වතො වාතවා

අත්‍ය තිෂ්ඨද්ද ශාඩ්ගුලම්

(දමයන්ති සවයංවරය)

චතුර් මුඛං අෂ්ට බාහුං පීත වර්ණ සමායුතං

ජටා මකුට සංයුත්තං රත්න කුණ්ඩල භූරිතං

හේම යකෙෂ්‍ය චිත්‍රංච අභයං පොසතක ධර්‍මං

සවර්‍ණ හංසං යමාරුඩිං බ්‍රහ්ම නාථ සස ලක්ෂණං

(මහා බ්‍රහ්ම දිව්‍යරාජ – රූපාවලිය)

මහා බ්‍රහ්ම රාජයාගේ රූප ලක්ෂණ මෙයින් දැක්වේ

පරසිදු සමතිස් පුන් පෙරුම් බෝසතාණන්

වැඩ හිද විදුරස්නේ ලක් සවන් බැව් පසක් වූ

මුනි රද බලයෙන් සත් සෙත් සලස්වා නිදොස් වූ

සුබ කවියෙනි යුත්වූ තුම් මගුල් දැන් කියම්මේ

 

මාලිනි පිරිතෙන් රචනා කරන ලද මෙවැනි කවි ගී බලි ශාන්ති කර්මවලදී ගායන කරති.

එළිසමය සහිත ගීයෙන් ලියූ තොවිල් කවි කීපයක්

උතුම් බුදු රුව නේ

ලොව්තුරු දහම් සර ණේ

සමඟ සඟ සර ණේ

සදා නමදිම් මෙතුන් සරණේ

(යාග කවි)

යාග ආරම්භයේදී ගයන නමස්කාර ආසිරිවාදයට මේ පිරිතින් රචිත කවි දක්නට ලැබේ.

සරණ මුනි සරණය

සරණ සදහම් සරණය

සරණ සඟ සරණය

සරණ නමදිමි මෙතුන් සරණය

 

අඳුන් ගර වැඩ සිට

චිරන් සළඹද දෑ තට

මෙවන් දොස දුරු කොට

උතුම් පත්තිනි වඳිමි සැමවිට

සතර දේවා ලෙන

කෙළිපුද වරම් ලැබ ගෙන

දෙවියන්ගෙ වර මින

මෙරඟ මඩලට වඩිනු සැණකින

 

(නමස්කාර ආශිර්වාදය)

ගී කවියක නම් පද සතරේ මාත්‍රා ගණන එක සමාන නැත. එහෙත් එළිසම සහිත සිව්පද කවිවල එක එක පදයේ මාත්‍රා ගණන සමානය. එසේය මුල් පදයේ අගට යෙදූ අකුර ඊළඟ තුනේ ම අගට යෙදුම මනාය.

කුරෙක ඉඳා පෙර ඉජදා වඳුරු කුලේ

ගඟිනි එදා සිය සමුදා එතර කලේ

කළ මෙලෙදා අප මුනිඳා තෙදිනි ලොලේ

වන ඉරිදා දොස නොරදා ගියෙ මෙකලේ

 

(දින හතේ කවි)

මෙය පාදක වෘත්තයේ කවියකි

වරුණ දිගේ නුග විමාන වැඩ සිට ලා

කපුටු පිටින් ශනි දෙවි මෙරඟට වැඩ ලා

රන් නද වටෙන් සෙත් සිරියා වැඩු ක ලා

ශනි දෙවියන් වැඩලා දෝස දුරු ක ලා

මීළඟ කවියෙන් බලි උපත ගැන කියවේ

ගනරං පෑයට වාහන තුරඟට – ඉඳුරු දිසාවට ඉඹුල් විමානෙට

පිළිසුං බැල්මට – සිංහ ලග්නයට රිවි හෝරාවට රිවිගෙ දසාව ට

කැති තුරුපලයට – තුරුපල් නැකතට සිංහ ලග්නයට දසාව ලැබු විට

සයක් වරුසයට – පැමිණුන රෝගෙට මේ ආතරනට සෙත දෙන් සැමවිට

 

අලුයම ටා - පෙරයමටා - මැදයමටා - තුන්යම ටා

දැන් දියටා - යන කලටා - එක්වසනා කෙළි කවටා

මස් පොළටා - ලේ ගඳටා - දැක්වු සිටා කළ ලෙඩටා

අලුයම ටා - බටහිරටා - බලියකුටා දෙයි සෙතටා

 

එදා සම්මත රජුට බමුණෙක් එක්ව කළ යාගයට මෙලෙසින්

යොදා ලකුණැති ලියන් දෙපසේ රැගෙන රන් තැටි පුරා මල් පැන්

මස්පොලටා ලේ ගඳටා – දැක්වූ සිටා කළ ලෙඩටා

අලුයමටා – බටහිරටා – බලියකුටා දෙයි සෙතටා

 

එදා සම්මත රජුට බමුණෙක් එක්ව කළ යාගයට මෙලෙසින්

යොදා ලකුණැති ලියන් දෙපසේ රැගෙන රන් තැටි පුරා මල්පැන්

මුදා පිරිපත ආයුබෝ යන පෙදෙන් නිරිඳුට වැඩුව ඒ පැන්

එදා සිට මේ ලොවට පැවතුනි සියලු යාගෙන ගන්ට මල් පැන්

 

ග්‍රහයන්ගේ බලපෑමෙන් මිනිසාට රෝග උපද්‍රව පැමිණෙතියි සිංහල මිනිසුන්ගේ විශ්වාසයක් තිබේ. ඒවාට විවිධ ශාන්ති කර්ම කරනු ලැබේ. බලියාගය. එවනි ශාන්ති කර්මයක් බලි දැක්වීම මහත් උත්කර්ෂවත් දෙයකි. ග්‍රහයන්ගේ බලපෑම, මහ දශා, අන්තර් දශා, ඒරාෂ්ටක වශයෙන් තුන් ආකාර වන අතර මේවා සලකාගෙනය. බලි අඹනුයේ, කවියේ ඇති ලක්ෂණ ඇඹූ බලියේ තිබිය යුතුය. කවි ස්තෝත්‍ර කියා රැයක් තිස්සේ ආතුරයට සෙත් කරන අතර වැඩිපුර කියන්නේ බුදු ගුණයි. ඇඹුම් කවිද කියති. ශිල්පියාට ඕනෑ දේම කළ නොහැකි වුවත් ඒ තුළ ඉඳගෙන ශිල්පියා කරන විශිෂ්ට නිර්මාණය අතිශයින්ම උත්කර්ෂවත්ය. තවත් බාහිර අලංකාර රාශියක් බලියට එකතු වේ. බලිවලට නියතිම කවි හා ඇඳුම් ගැන විස්තර වන කවි තිබේ. බලි දැක්වීම, පන්දම් ගැහීම නැටීම. වැයීම ආදිය ඉතාම ක්‍රමානුකූලව තිබිය යුතුය බලි ඇදුරා ගැන කියන හැටි පහත දැක්වේ.

 

පොරණ සිටිය ඇදුරාගේ සිරිති

වියදඬු පමණට බැල්මක් හෙලති

මිහිකත සිට දැඩි අඩි නොතබති

බලි ඇදුරා නම් මේ ලෙස පවසති

 

අඩි ඇන දෙරණත දස දිගු ගුගු රා

පැන පැන සියොළඟ දූවිලි තව රා

මේ ලෙස නාටක හැටි නම් ඇදු රා

නියමයි ආතුර හට ඒ හතු රා

 

පන්දම් ඇල්ලිය යුතු හැටි ඊළඟට

පෙර සිට උපත පන්දම යාගෙට ඇදුරා

වටනට විදුරු මිනියක් රැගෙන නදකරා

පෙරසිට උපත පන්දම යාග කවිකරා

මෙඔබට ආවඩන් සැම දෝස දුරු කරා

 

අට මඟල, මල්පුටුව, භෝජන මඩුල්ල, පිරිත්තුව, කියන අලංකාර බලියට අයිති අනෙක් කලාත්මක අංග වේ. අනවශ්‍ය කැපුම් වීදි ආදිය බලියට නැත.

පැරණි බලි යාග මේ අනු පිළිවෙළින් කළ බව මහනුවර රජවාසල කරන ලද පනතිස් බලි යාගයෙන් දැක්වේ.

නමස්කාරය, පිරිත්තුව වැඩීම හා කියවීම, කඩතුරාව හැරීම, බලිදැක්වීම, අටමගල පෑගීම, අටමගලේ කවි, මල් බුලත් පුටුවේ කවි, බෝජන කවි, සිලෝ, බලි නිධානය, යාග සංග්‍රහව. චින්තාමනි ශාන්තිය. අෂ්ටක කීම, කවි අෂ්ටක ,ස්තෝත්‍ර , ජය මංගල ගාථා, කීම, ග්‍රහ වළල්ල සන්ත ශ්ලෝක, කලස තබන විධි කවි හා නැටුම් ග්‍රහ බෝජන පිදීම හා දිෂ්ටිය , ග්‍රහ පන්ති කීම, සින්දු කීම බෝලංගාර කීම සහ තටුව පිදීම , පඩුරේ කීම, ඇඹුම් කවි, සෙත් ශාන්ති කවි, නවගුණ ශාන්තිය, විශාලා ශාන්තිය. ලෝක රත්නමාලය , රත්නාලංකාරය යන මේවා කියා නටා බලි ගිවිස්වා සත් දින දොළොස්මාස තිථි වප්පන්ති කියා සෙත් කවිවලින් බලි හමාර කිරීම පැරණි සිරිතය.

බලියාගය මහා කලා මංගල්‍යයකි. බලි මහත් රාශියකි. මේ බලි අතුරින් මහ නිලග රාක්ෂ, සෙනසුරු මාරක බලිය, රාහුගේ මාරක බලිය ඉරු ඒරාෂ්ටක බලිය, කුජ මාරක බලිය, අසුරගිරි රාක්ෂ බලිය ප්‍රධාන වේ.

 

 

කලාභූෂණ ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී ඡ්‍යොතිෂ ඉඳුවර ,ශාස්ත්‍රශූරි කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.