කුජගේ භෞම අංගාර දෝෂයට බිය විය යුතුද?

මාර්තු 18, 2022

 

කේන්ද්‍රයක කුජ (අඟහරු) 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටි පමණින්ම එම පුද්ගලයාගේ විවාහ දිවිය අවාසනාවන්ත වෙයිද? එසේ නැත්නම් කුජ 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටින අයකු සමගම විවාහ විය යුතු ද, ස්ත්‍රී පුරුෂ දෙදෙනාම අකාලයේ මිය යාම සඳහා කුජ 7 -8 වැන්නේ පිහිටිය යුතුද යන්න ප්‍රශ්නයකි.

මෙම ප්‍රශ්නවලට එකවරම පිළිතුරු දිය හැකිද? කෙසේ වෙතත් කුජ 7 -8 සිටින අය නිසි වේලාවට විවාහ නොවීම රහසක් නොවේ. මේ පිළිබඳව ඡ්‍යෝතිෂ විද්‍යාවේ දැක්වෙන ගැඹුරු නිදසුන් වෙත යොමුවීම කාලෝචිතයි.

කුජගේ භෞම දෝෂය අංගාර නමින් උත්තර භාරතීය ඡ්‍යොතිෂවේදීන් හඳුන්වන (ර්චදඨතඥඥඬ) දෝෂය වන්නේ 1,2,4,7,8,12 යන තැන්වල පිහිටීමයි. මෙකී තැන්වල කුජ පිහිටීම නිසා ඒ අයගේ විවාහ සහකරු හෝ සහකාරිය මිය යෑම වැනි කඩාවැටීම් සිදුවන්නේ යැයි එකවරම තීරණය කිරීම අසාධාරණයකි.

කුජගේ මෙවන් පිහිටීම් නිසා විවාහය ගැන අසීමිත බියක් ඇතිකිරීම ද ඉතාම බියකරුය. කුජගේ දෝෂය භංගවන ආකාර විසිපහක් පමණ ඡ්‍යෝතිෂයේ දක්වා තිබේ. ජනතාව දැනුවත් කිරීම් උගත් ඡ්‍යෝතිෂවේදීන්ගේ යුතුකමකි.

රවි, චන්ද්‍ර, ශනිට අයත් රාශිවලදී කුජගේ දෝෂය නොමැත.

මේෂ, කටක, තුලා, මකර යන රාශිවලදී කුජගේ දෝෂ නැත

කුජ, සඳු, ගුරු සමඟ සංයෝග වීමෙන් දෝෂය භංග වේ.

කුජ කේන්ද්‍රයේ කොතැනක සිටියත් ශුක්‍ර + ගුරු යන ග්‍රහයින් ලග්නගතවී නම් දෝෂය භංග වේ.

ඉහත කී අසුබ භාවයන්හි සිටින කුජ ගුරු විසින් දකීනම් දෝෂය භංග වේ.

සිංහ, කුම්භ රාශිවලදි කුජගේ දෝෂය නැත.

කුජ පිහිටා ඇති රාශිය අධිපතියා ලග්නය හෝ චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව හෝ කෝණ රාශිවල සිටීමෙන් දෝෂය නැත.

ලග්නයෙන් 4 වැන්න 7 වැන්න යන තැන්වල කුජ + සඳු යෝග වී ඇත්නම් දෝෂය භංග වේ.

ඉහත කී අසුබ භාවවල කුජ පිහිටා ඇති නමුත් එකී කුජ නීචව වක්‍රව හෝ අස්ථ ව ඇත්නම් කුජගේ අසුබය විනාශ වේ.

කුජ අසුබ දෘෂ්ටි නැතිව ගුරු හෝ බුධ හෝ සිකුරු පුර සඳු සමඟ යෝගකාරක වී නම් කුජ දෝෂය භංග වේ. රුචක යෝගය ඇත්නම් කුජගේ දෝෂය භංග වේ.

මකර හෝ කටකයේ කුජ දෝස නැතිවන බැව් (ජාතක චන්ද්‍රිකාවේ දක්වා තිබේ.)

කුජ ලග්නයෙන් සඳුගෙන් සිකුරුගෙන් 1,2,4,7,8,12 වැන්නේ පිහිටා තිබුණද එම රාශිය මේෂ හෝ වෘශ්චික නම් දෝෂය නැත.

 

12 වැන්න හිමිවන කුජ 8 වැන්නේ ඇත්නම් සරලා යෝගය නිසා දෝෂය භංගයි

කුජ 2 ඇතිවිට එම රාශිය කන්‍යා හෝ විවාහ වේ නම් කුජ දෝෂය භංගයි

කුජ 4 වැන්නේ නම් එම රාශිය මේෂ – වෘශ්චික නම් දෝෂය නැත.

කුජ 7 වැන්නේ නම් එම රාශිය මේෂ, වෘශ්චික නම් දෝෂය නැත.

කුජ 7 වැන්නේ නම් එම රාශිය මකර හෝ කටක වේ නම් කුජ භෞමය නැත.

කුජ 8 වැන්නේ පිහිටි විට එය ධනු, මීන නම් කුජ භෞම දෝෂය භංග වේ.

කුජ 12 වැන්නේ නම් එම රාශිය සිකුරුට අයත් නම් ( වෘෂභ - තුලා) දෝෂය නැත.

ශනි 1,4,6,8,12 වැන්නේ නම් කුජගේ දෝෂය නොමැත.

අස්විද , මා. මුල යන නැකැත්වලින් එකක කුජ පිහිටියේ නම් කුජ දෝෂය නැත.

කුජ ධනුවේද ගුරු වෘශ්චිකයේ ද පිහිටි විට පරිවර්තන යෝගයක් යෙදෙන නිසා කුජ දෝෂය නැත.

මකර ලග්න හිමියන්ට කුජ ධනු රාශිගතවද කන්‍යා ලග්න හිමියන්ට කුජ මීන රාශි ගතව ද කටක හිමියන්ට කුජ කුම්භ රාශිගතව ද පිහිටීම හරහා භෛෟම දෝෂය භංග වේ.

කටක + සිංහ ලග්න අයට කුජ කොතැනක සිටියත් භෞම දෝෂය යෙදෙනු නොමැත.

එක හා සමාන කුජ දෝෂ ඇති කේන්ද්‍ර හිමියන් දෙදෙනකු එක්වීමෙන් දෝෂය භංග වේ. මෙම වගුව හරහා නිරීක්ෂණය කර බලන විටදී කුජ කේන්ද්‍රයක පිහිටා තිබෙන අන්දම ගැන සියුම් අන්දමට විමර්ශනය නොකර එකවරම කුජගේ භෞම දෝෂය යෙදී තිබේ යැයි පැවසීම අසාධාරණයි. එම දෝෂ භංග වන ආකාරය දැන් විවාහපේක්ෂිත ඔබට මැනවින් තේරුම් ගැනීමට හැකිවනු ඇත. කුජ( අඟහරු) කිසියම් කේන්ද්‍රයක 1,2,4,7,8,12 යන තැනක පිහිටි පමණින්ම විවාහකයා වැටීම, දෙදරා යෑම, දික්කසාද වීම හෝ මියයෑම් වැනි දෑ එකවරම සිදුවන්නේ දැයි තීරණය කිරීමට ප්‍රථම කේන්ද්‍රය නිවැරදිව සියුම් අන්දමට පිරික්ෂා බැලීම හරහා සාර්ථකව යුගදිවියක් ගෙවීමේ වාසනාව පෑදෙනු ඇත.

එය මහා පින්කමකි.

***********************

 මහා ධනවතුන්  උපදින ග්‍රහ බලය

 

මෙලොව උපත ලත් සියලුම දෙනා ධනවත් වීමේ ආසාවෙන් පෙළෙන අයයි. හැම විටම ධන සම්පත් අතට ලැබේ නම් එයයි ජීවිතයක සැනසුම. මෙවන් මහා ධන සම්පත් හිමිවීමට ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයින් උපකාරක වන බැව් ඡ්‍යොතිෂයේ දක්වා ඇත්තේ ය. අපිත් මේ ගැන විමසා බලමු. 10 වැන්නාධිපතියා නව වැන්නේ ද නව වැන්න අධිපතියා දෙවැන්නේ ද සිට ලාභස්ථානාධිපති උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව නැතහොත් 9 අධිපති 4 කේන්ද්‍රයේ හෝ ත්‍රිකෝණගතව ඇත්නම් මහා ධනවතෙක් වේවි. ග්‍රහයන් තුන් දෙනෙක් උච්චක්ෂේත්‍රව උපත ලද විට මහා ධනවතෙක් වේ.

ග්‍රහයින් තුන් දෙනෙක් මුල ත්‍රිකෝණ ගත වී නම් මහා ධනයක් ලැබේ. ග්‍රහයින් 4 දෙනෙක් හෝ 5 දෙනෙක් ස්වක්ෂේත්‍රව ඇත්නම් විශාල ධන සම්පත් ලැබේ.

නවය අධිපතියා පහෙන් පහ අධිපතියා 9 න් ඇත්නම් මහා ධනයක් හිමිවේ. 10 අධිපතියා පහේ ද 4 අධිපති දහයේද ඔවුන් ත්‍රිකෝණ දීප්තීන් දැක්මෙන් ද 10 ලග්නය 4 - 5 අධිපති 10 සිට ත්‍රිකෝණ දැක්මෙන්ද 9 අධිපති 01 අධිපති සමඟ හෝ 9 අධිපති විසින්ද ලග්නාධිපතියා විසින් දකින 5 වැන්නාධිපතියා 1, 4, 10 යන නැකැතින් එකක උපතලත් විටද, 9 වැන්න ධනු මීන යන ලග්නවලින් එකක් වී 10 ශුක්‍ර 5 අධිපතියා දැකීම නිසා ද ශුක්‍ර ක්ෂේත්‍රව පහේ ද ශනි 11 දී උපත ලැබීමෙන් ද මකර, කුම්භ එකක් වී 5 වැන්නේ ශනි සිට බුධ 11 සිටීමෙන්ද ධනු, මීන දෙකින් එකක් 5 වැන්න වී එහි ගුරු සිට බුධ කුජ - 11 ඇත්නම් ද ලග්නය සිංහ වී රවි - ගුරු කුජ සිටීම හරහා ද කටකයේ සඳු, ගුරු, කුජ සිටීමෙන්ද මේෂ වෘශ්චික එකක් වී කුජ, බුධ, කිවි, ශනි එහි සිටීමෙන් ද ධනු මීන එකක් වී එහි ගුරු සඳු සිටීමෙන් ද කන්‍යා මිථුන දෙකින් එකක් වී බුධ සමඟ ශුක්‍ර, ශනි සිටීම හරහා ද වෘෂභ, තුලාවලින් එකක් වී සිකුරු සිට බුධ, ශනි දෙදෙනා විසින් දැකීමෙන්ද ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් ග්‍රහයෝග ග්‍රහ හැසිරීම හා ග්‍රහ බල ශක්තිය මත උපන් තැනැත්තා ජීවිතය දිනා ගනිමින් මහා ධනවතෙක් වන්නේ ය. පාරම්පරික උරුම ධන සම්පත් නැතත් ජීවිතයේ මැද භාගයේ සිට ආර්ථිකමය මූල්‍ය සම්පත් අත්පත් වේ. අනපේක්ෂිත අන්දමට ධනයට හිමිකම් ඇතිවේ. ඔබේ කේන්ද්‍රයේ මෙවැනි ග්‍රහයෝග හැසිරීම් තිබේදැයි පරීක්ෂා කර බලන්න. ජීවිතය ජය ගන්න.

 

ඡ්‍යෝතිෂවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.