පංච මහා පුරුෂ යෝග... යෝග අතර බලවත් රුචක, භද්‍ර රාජ යෝගයෙන් පින්වත් දරු උපත්

මැයි 13, 2022

‘රුචක’ රාජයෝගය අඟහරුට අයත් වන අතර දෙවැන්නවූ “භද්‍රා” රාජ යෝගය බුධට අයත් වේ. ග්‍රහ මඩුල්ලේ සටන්කාමී කුජ ග්‍රහයා, මේෂ, වෘශ්චික හා මකර රාශි තුනෙහි ගමන් කරන ඉදිරි කාලසීමාවන් තුළ මෙකී යෝගය යෙදෙනවා ඇත. මකර රැසෙහි කුජ උච්චව ගමන් කරන බැවින් එහි බලය වැඩිවේ. මෙම යෝගය තිබෙන කාලසීමාව තුළ මකර, මේෂ, කටක හා තුලා ලග්නවලින් ජන්ම ලාභය ලබන දරුවන්ගේ කේන්ද්‍රවල මෙම යෝගය යෙදෙන අතර, කුජ වෘශ්චික රැස ආශි‍්‍රතව ගමන් කරන කාලය තුළ වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ රැස්වලින් උපත ලබන දරුවන්ගේ කේන්ද්‍රවල මෙකී යෝගය යෙදේ.

වියනම් අඟහරු අලි මුව මෙ සේ

ගිය නම් සිවුසත් ජම්මෙට සතොසේ

බියනම් රුචකය යොගලත් එරැසේ

බිය නම් කවරෙද රජසිරි සැලසේ

 

රුචකෙහි උපනුන් මඳ රත් පැහැවෙති

අඟ වෙර විරියද සතරත් දැනුමැති

යහපත් පැවතුම දීමෙහි තුටුවෙති

රජකුට බඳු යස ඉසුරෙන් යුතුවෙති

 

ජාතක රත්නාකරය හා පැරැණි පුස්කොළ පොත්වල ‘රුචක’ යෝගය පිළිබඳව සඳහන් වන අයුරුයි මේ. පංච මහා පුරුෂ යෝග අතුරෙන් දෙවැන්න බුධගෙන් යෙදෙන “භද්‍රා” රාජයෝගයයි. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශිවල ගමන් කරන කාලය තුළ මෙම යෝගය යෙදේ. මිථුන රැස බුධගේ ස්වක්ෂේත්‍ර රාශිය වන අතර කන්‍යා රාශිය බුධගේ උච්ච හා මූල ත්‍රිකෝණ රාශිය වේ. බුධ,බුද්ධියට අධිපති වන අතර. රවි සමඟ යෝග වූ විට බුධගේ ශක්තිය වඩා වර්ධනය වේ. බොහෝ කේන්ද්‍රවල රවි, බුධ යෝගය යෙදේ. ඔබගේ කේන්ද්‍රවලද මෙම යෝගය තිබේදැයි බලන්න. “භද්‍රා’ යෝගය යෙදෙන්නේ වසරකට දෙවරක් පමණි. ඒ මිථුන රැසෙහි හා කන්‍යා රැසෙහි බුධ ගමන් කරන කාලයේයි.

බුධහුට හිමි රැස කන්‍යා මිතුනෙත්

ලද අට දස සිවු සත්වන ලග්නෙත්

තද බල “භද්‍රා යෝගෙන් උපනොත්

විඳ සව්සිරි සැපතින් සත දිවුනත්

 

බුධයෙන් උපනුන් බඹයක් උසවෙති

දිවියෙකු බඳු මුව ගජ ගමනය වෙති

සපිරුණ උරතල කලවා මහතැති

උඩඟුවෙ නිතරම බඳුනට සලකති

 

බුධ බලවත් අයට වචන හැසිරවීමේ ශක්තිය, කථිකත්වය, ප්‍රඥාව, සියලු ශාස්ත්‍ර දැන උගත්කම් ලබාදෙන අතරම සෑම සැප සම්පතක්ම ලබා දේ. කාව්‍ය ශාස්ත්‍රසේම මන්ත්‍ර විද්‍යා බලය ද බුධගේ රාමුව තුළ ක්‍රියාත්මක වේ.

මේෂ

මේෂ ලග්නයට කුජගේ පිහිටීම මහා ශක්තියකි. ජන්මියාගේ පෞරුෂය ශක්තිය , ධෛර්යය, නිර්භීතතාවය සටන්කාමී බව, තිර ගතිය, වාද විවාදවලට ඉදිරිපත්වීම, ජයග්‍රාහී බව, පරාජයට අකැමැතිවීම, මේ ලක්ෂණ මෙන්ම පාලන බලයට ද දීර්ඝ ගමන් විදේශයන්හි ගමනා ගමනයට ද බලවත් සහෝදරයින් ලැබීම මෙන්ම තුන් වැන්නේ නම් සහෝදර පල නැසීම ද ඇති කරවයි.

වෘෂභ

කුජ, වෘශ්චික රැසේ නම් ඉහත යෝගය 7 වැන්නේ යෙදේ. 12 වැන්න වූ මේෂ රැසද කුජගේ බැවින් ඉපිද ඇත්තේ දෙවන දෙර්කාණයේ නම් කුජ මාරක ග්‍රහයා වන බවද අමතක නොකළ යුතුය. එසේම අඟහරු 7 වැන්නේ නම් විවාහ කටයුතුවලට ඇතැම් අය බියක් දක්වයි. පුරුෂයින්ගේ නම් ස්ත්‍රි මාරක ද ස්ත්‍රීන්ගේ නම් පුරුෂ මාරක ද යෙදේ. එය භෞම දෝෂයි.

මිථුන

“භද්‍රා” රාජයෝගය යෙදෙන්නේ බුධගෙනි. මිථුන කන්‍යා දෙරැසෙහි බුධ පිහිටීමෙන් එම යෝගය යෙදේ. මෙකී යෝගය වාග් ශක්තිය වර්ධනය වීම, නැණ නුවණින් පෝෂණයවීම කතිකයින් බිහි කිරීම, මහා ප්‍රාඥයින් ජනිතවීම , විවිධ භාෂා දැනුම ඇති කිරීම, තීක්ෂණ බුද්ධිය ලබාදීම බුධ බලවත් වීමේ මාර්ගය වේ.

කටක

කුජ මේෂ රැසෙහි සිටීමෙන් බල දෙකක් ලැබේ. රුචක යෝග බලය ද දිග්බලය ද ඒ දෙකයි. ලග්නපති සඳු සමඟ මිත්‍රවේ. 5,10 අධිපති කුජය. සඳු සමඟ සිටීමෙන් චන්ද්‍ර මංගල යෝගයි. ස්ත්‍රී පක්ෂයට තරමක් හිතකර නොවුණ ද පුරුෂ පක්ෂයට මහා බලයකි. සඳුගෙ ග්‍රහ බලය තම රූප සෝබාව වර්ධනයට හේතු වේ. ලස්සන මුහුණක් දැකිය හැකිය.

සිංහ

ලග්නපති රවි වෙයි. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වේ. රාජ්‍ය පාලක වේ. රවි නැති තැන ජීවය ද නැත. ආත්ම කාරක පිය කාරක ද රවිය. දහවල උපන් අයට පියා වේ. කුජ හා මිත්‍රය. 4,9 අධිපති කුජගේ බලවත්වීම රවිට ශක්තියකි. 10 වැන්නේ දෙදෙනාම දිග්බලවේ. සිංහයට බාධක ද කුජමය. රවි 11 වැන්නේ සියලු දෝෂ නසයි. රෝගනාශක බලය රවිට හිමිය. හිරු රජුන් බිහිකරයි. රජයේ ඉහළ පුටු මේ අයට ලබාදේ. වෘශ්චිකයේ කුජ නම් ‘රුචක’ යෝග බලය හිමි වේ.

කන්‍යා

ලග්නපති බුධවේ. 10 වැන්නාධිපතියා ද ඔහුමය. ධනු ලග්නයට රවි බුධ යෝගය මහා බලයකි. 9-10 අධිපති දෙපොළ ධර්ම කර්මාධිපති රාජයෝග වේ. ඥානයෙන් කරන සියලු කටයුතු බුධගෙනි. වචනයට අධිපති වේ. රටේ වියතුන් සිටීනම් ඒ බුධගේ බලය නිසාමය. පඬිවරුන් බිහිකර රාජ්‍ය පාලකයින් ද බිහිකරයි.

තුලා

සිකුරු ලග්නාපති වේ. 8 වැන්න වූ වෘෂභයට ද සිකුරු (කිවි) අධිපතිය, දහවල් කාලයේ උපන් අයට මවු වේ. ලග්නපති සිකුරු බලවත්වීමෙන් රූප ශෝබාව සේම සුඛෝපභෝගි ජීවිත ගතකිරීමට ද කැමැතිය. කලා ක්ෂේත්‍රයේ ඉහළ තැන් ගනි. සැපවත් විවාහ ජීවිත ගෙනයාමට මහත් ආශා ඇති කරවයි. මහලු නොවන තරුණ පෙනුම නිතර ලබාදේ. 7 වැන්නේ කුජ රුචක යෝග බල ලබාදේ.

වෘශ්චික

ලග්නපති සේම 6 අධිපති ද කුජය. වෘශ්චිකයේ නම් තරමක ඒකාධිපති මත දරයි. තමාගේ ජීවිතය පිළිබඳව රහස් රකී. සඟවන සුළුය. තමාගේ වැඩ හරියාකාරව ඉටු කරයි. ස්ථිර ගති වේ. රුචක රාජයෝගය බල ඇත්තේ කුජ, වෘශ්චික යේ නම් පමණි. අවහිර බාධක නොතකා ඉදිරියටම යයි.

ධනු

ලග්නයට මෙන්ම 4 වැන්නට ද අධිපති ගුරුය. (බ්‍රහස්පති) 10 වැන්නවූ කන්‍යා රැසේ බුධ සිටීමෙන් හා මිථුන රැසෙහි නම් “භද්‍රා’ රාජ යෝගය ලබයි. රවි – බුධ දෙපොළගේ පිහිටීම ධර්මකර්මාධිපති යෝගයි. එය ධනු ලග්නයට පමණක් සීමා වූවකි. ලග්නපති ගුරුට යෙදෙන තවත් නමකි. ‘සුරගුරු’ දෙවියන්ගේ ගුරු ද ඔහුමය. දැහැමි ජීවිත ගත කිරීමෙන් විපුල ඵල ලබාදේ. අධිකරණයේ ඉහළ තනතුරු ගුරුගේ බලය අනුව ලැබේ. මුදල් පාලනය ද ගුරුගෙන් ම ය.

මකර

ලග්නපති ශනි 2 වැන්නේ කුම්භ රැසෙහි ගමන් කිරීම ඇරැඹූ මුත් ජුනි 5 දින උදේ වක්‍ර වී නැවත ජූලි 12 දින මකර රැසට පැමිණේ. මකර – කුම්භ දෙරැසම අධිපති ශනි වුවත් රාශි 2 පල දෙයාකාර වේ. ශනිගෙන් යෙදෙන “ශශ” රාජයෝගය මේ දෙකෙහිම යෙදුන ද කුම්භ රැසෙහි පල ඉහළ මට්ටමක පවතී. තමාගේ බලය වැඩිකර ගැනීමට වෙහෙසේ. තරමක ආත්මාර්ථකාමී බවක් පෙන්වයි.

කුම්භ

ජුනි 5 උදේ තෙක් කුම්භ රැසෙහි ගමන් ගන්නා ශනි ජූලි 12 දින නැවත මකර රැසට පැමිණ මේ වසර අවසන දක්වා එහි ගමන් ගනී. කුම්භ රාශිය බලවත් වේ. පිරුණු කලයක් සේ බොහෝ ඇසූ පිරූ බුද්ධියක් ලබාදෙයි. බොහෝ අය සෙනසුරුට බිය වෙති. ධාර්මික ජීවිත ගත කරන්නන්නට බියක් නැත. ශනි දසාවේ අවසාන කාලයේ දී ප්‍රතිඵල ඉහළින් ලබාදෙයි.

මීන

ලග්නපති ගුරු හා බාධක බුධ 4 -7 අධිපති වන අතර මිථුන කන්‍යා, රාශිවල බුධ ගමන් කරන කාලයේදී ‘භද්‍රා’ යෝග බල ලබාදේ. බුද්ධියට අධිපති බුධ ඥානකාරකයි. සියලු දැන උගත්කම් ලබාදී සමාජයේ කැපී පෙනෙන කථිකත්වයක් ඇති වියතකු බවට පත්කරයි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ. එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.