මිථුන ලග්න හිමි කාන්තාව

ජූලි 8, 2022

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දර සටහනට අනුව පොත පත කියවීමට, ලිවීමට ආශාවක් දක්වන තරුණ වයසේදී වයසට වඩා තරමක් වැඩිමහලු ගතියක් පෙන්වන අයෙකි. තරුණ වයස ගෙවුණාට පසු තරමක් තැන්පත් ගතියක් හා තරුණ පෙනුමක් පෙන්නුම් කරන අයෙකි. මිනිසා පිළිබඳවත් මිනිස් ගතිගුණ පිළිබඳවත් පහසුවෙන් අවබෝධ කරගත හැකි අයකු වන අතර පළපුරුද්දක් නොමැති වැඩකටයුත්තකට වුවත් නොපැකිළව යෙදෙන අයෙකි.

මිථුන ලග්නයද දෙර්කායන තුනකට අයත් වන අතර මිථුන ලග්නයෙන් ඉපිද තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකට අයත් නම් පළමු දෙර්කාණය වන මිථුන දෙර්කාණයෙන් ඉපදුණ අය වෙති.

මෙම අයගේ සෙනසුරු ග්‍රහයා 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා වන අතර සෙනසුරු ග්‍රහයා 4 වැන්නේ සිටීමෙන්, ඉඩකඩම් දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි. ගෙදර දොර කටයුතුවලදී ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර මුල් දේපළ අයිති වුවහොත් එය කලාතුරකිනි. පපුව පිළිබඳ රෝග පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ.

සෙනසුරු ග්‍රහයා 7 වැන්නේ සිටීමෙන් විවාහය පමාවීමට හෝ විවාහය පිළිබඳ ගැටලු ඇතිවීමට පවා ඉඩ ඇති අතර විවාහ ජීවිතයේ සතුට අඩුවනු ඇත. මෙම පිහිටිම ඇති කාන්තාවන් හට පහසුවෙන් ආලය පිළිබඳ හැඟීම් ඇතිකර ගත නොහැකි අතර තමාට වඩා යම් දෙයකින් වෙනසක් ඇති අයකු හා විවාහ වේ.

සෙනසුරු ග්‍රහයා පස් වැන්නේ සිටීමෙන් ඉගෙනීම එතරම් දුරට කරගෙන යාමට හැකි නොවන අතර ඉගෙනගන්නවාට වඩා ලොකු දැනුමක් අත්දැකීම්වලින් ලබා ගනියි.

සෙනසුරු ග්‍රහයා අටවැන්නේ පිහිටීමෙන් කල් අල්ලන අසනීප, වාත අමාරු, දියවැඩියාව, ශරීරයේ සම දූෂ්‍ය වන අමාරු ඇතිවීමට ද ඉඩ තිබේ. හදිසි අනතුරු, කැඩුම් බිදුම් තුවාල නිසාද පීඩා ඇතිවේ.

සෙනසුරු ග්‍රහයා 10 වැන්නේ සිටීමෙන් වරින් වර රැකියාව පිළිබඳ වෙනස්කම් ඇතිවිය හැකි අතර. මහන්සියේ තරමට ප්‍රතිඵල අත්නොවනු ඇත.

මිථුන ලග්නයෙන් ඉපිද. මකර. කුම්භ, මින යන නවාංශකයක් ඇති අයකු නම් ඔබගේ ලග්න කේන්දරයේ සිකුරු ග්‍රහයා සුබඵල අත්කර නොදෙන ග්‍රහයකු වනු ඇත. සිකුරු මහ දශා අතුරු දශාවන් මෙන්ම සිකුරාදා දවසද යහපත් නොවේ.

සිකුරු 22 වන දෙර්කාණාධිපති වී දුර්වලව දෙවැන්නේ නම් කථාවට බාධා ගෙන දෙන අතර උගුරේ අමාරු වැනි දෙයකින් පිඩා ඇතිවීමට ද ඉඩ තිබේ.

සිකුරු ග්‍රහයා 6 වැන්නේ නම් ශරීරය කෙට්ටු විය හැකි අතර ශරීර දුබලතාවයක් ඇතිවීමට ද ඉඩ තිබේ.

සිකුරු කේතු සමඟ 7 වැන්නේ සිටීනම් ආලය පිළිබඳ කටයුත්තක් ඇතිවේ. නමුත් එය රහසිගතව තබා ගන්නා අතර ඒ ආලය කළ අය සමඟ විවාහවීමට අවස්ථාව නොලැබේ. එමෙන්ම සිකුරු රාහු සමඟ 7 වැන්නේ සිටී නම් සෙවිල්ලක් බැලිල්ලක් නැතිව විවාහ වෙයි. එහෙත් කල්යන විට ඒ පිළිබඳ පසුතැවිලි ඇතිවීමට ඉඩ ඇත. මොනයම් කරුණක් නිසා හෝ දෙදෙනා අතර නොගැළපීම් ඇතිවේ. සිකුරු 7 වැන්නේ තැන්පත් කාන්තාවන්ගේ ගර්භාෂයේ අමාරුකම් ඇතිවීමට ඉඩ තිබේ.

මිථුන ලග්නය වී මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයක් හිමි කාන්තාවන්ගේ බුධ ග්‍රහයා 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා බැවින් ශුභඵල අත්කර නොදෙනු ඇත. මෙවැනි අයට නෑදෑයන්ගේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැති අතර, බුධ 7 වැන්නේ නම් විවාහය ප්‍රමාද වන අතර, ස්ත්‍රියකගේ නම් විවාහ සහකරු අවුරුදු දෙක තුනකට වඩා වැඩිමහල් අයකු නොවනු ඇත. ශරීරය වෙහෙසවා කටයුතු කිරීමට අකමැති අයෙකි.

බුධ 08 වැන්නේ ස්නායු හෝ නහර පිළිබඳ පීඩා ඇතිවිය හැකි අතර මොළය හා නහර පිළිබඳ දුර්වලකම් ඇති කරයි. ශරීරයේ පෙනුම තිබුණත් ශක්තිය අඩුය.

බුධ 10 වැන්නේ නම් රැකියා කටයුතුවලට විවිධ බාධා ගෙන දෙන අතර, උසස් තත්ත්වයකට ළඟාවීමට තරමක් කල්ගත වනු ඇත. බුධ 12 වැන්නේ සිටීමද එතරම් යහපත් නොවන අතර අන් අයට වුවත් පෙනෙන්නේ මතු දියුණුව අඩු අයකු ලෙසය. විදේශ ගත වීම් වැනි දෙයට වාසනාව ඇති අයකු වුවත් ඒවායින් කරදරවලට මුහුණදීමට පවා ඉඩ තිබේ.

බදාදා දිනය සුබ කටයුතුවලට යොදා නොගත යුතු අතර, බුධ මහ දශා අතුරු දශා කාලයත් තරමක් කරදර ගෙන දෙන කාලයක් වනු ඇත.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන –

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.