මොකක්ද මේ ගුරුකම?

සැප්තැම්බර් 2, 2022

පාරම්පරික ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අධ්‍යයනයෙන් හා පුහුණුවෙන් පසු පාරම්පරික ගුප්ත ශාස්ත්‍රය හැදෑරීම්වල යෙදෙනවා. ගුරු ආචාර්ය වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සීමිත ගෝල පරම්පරාවේ වැඩිපුර දෙනෙක් මෙම ගුප්ත ශාස්ත්‍රය උගැන්වීමට තෝරා ගන්නවා. මෙම ශාස්ත්‍රය කෙනෙකුට පිහිටීම ගැන ගුරු ඇදුරුතුමාගේ සියුම් ඥානයට අවබෝධ වනවා.

පළමුවෙන්ම අදෘශ්‍යමාන රූප, ශබ්දවලට බිය නොවීම අත්‍යාවශ්‍යම හේතුවක් වනවා. ගුප්ත ශාස්ත්‍රයේ මූලික හා පළමු පාඩම් සඳහා ආරක්ෂක මන්ත්‍ර සමූහයක් කටපාඩම් කිරීමට සලස්වනවා. ඒ දවස්වල නම් කිව්වේ මේ ආරක්ෂක මන්ත්‍ර වතුර බොනවා වගේ ඉතා පහසුවෙන් උච්චාරණය කරන්න හැකි කම තිබෙන්න ඕනම කියලයි. මේ ආරක්ෂක මන්ත්‍ර කටපාඩම් නොසිටීම හා අදෘශ්‍යමාන දර්ශන හා ශබ්දවලට බියවීම මෙම ශාස්ත්‍රය හැදෑරීමට නුපුළුවන් බවද අපට කියා දුන්නා. නියම ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න කොට ගෝල ඇදුරුට ශිල්පය පිහිටීමට කරුණු කාරණා කීපයක් කියා දෙනවා. දවසේ මන්ත්‍ර කටපාඩම් කළ යුතු හෝරාවක් තියෙනවා. පුංචි කාලේ අකුරු ශාස්ත්‍රය කරවීමේදී දැන් වගේ කැල්කියුලේටර තිබුණේ නැහැ. ලියන්න ඇක්සයිස් පොත් තිබුණේ නැහැ. කටපාඩමේ වැලිපොළොවේ නැත්නම් ගල්ලෑල්ලේ ලිවීම කළ යුතුයි. ඔක්කොම කටපාඩමේ තමයි. සමහර අයට කොච්චර කටපාඩම් කළත් ධාරණය වන්නේ නැහැ. ඒක එයාගේ ජන්මපත්‍රයේ 5 වැනි කොටුව 11 වැනි කොටුව නැත්නම් රාශිය සමඟ එහි අධිපතිය සමඟ පිහිටීම බැලුවාම කියන්න පුළුවන්. ඒක පරික්ෂා කරලා ගෝලයාගේ උත්සාහවන්ත කමත් ශාස්ත්‍රයට ඇති ලැදියාවත් බලා පුංචි මන්ත්‍රයක් දෙනවා . උදේට ඒ කිව්වේ පාන්දර කපුටා කරව්කරන්නට පෙර නැගිටලා කාටවත් නොකියා කට හෝදන්නවත් පෙර කොටින්ම කිව්වොත් කුණු කෙළ පිටින්ම පිරුණු වතුර ඇති වීදුරුවකට මෙම මන්ත්‍රය හත් වරක් මතුරා ඉතිරි නැතිව බොන්න කියලා. මේ විදියට දින 7 ක් පසුවූතැන ඕනෑම දෙයක් කටපාඩම් වනවා. මේ මන්ත්‍රය සරස්වතී දැහැනට අයිති ගණදෙවියන්ට කරන හෑල්ලක්. මේ කෙම් මන්ත්‍රය මට අකුරු කරවපු පන්සලේ ලොකු සාදු ළඟත් තිබුණා. අනික මේ මන්ත්‍රයේ පන්සල්වල පුස්කොළ පොතේ සඳහන් වෙලත් තිබෙනවා. විශේෂයෙන් සකස්කඩේ, බුද්ධගජ්ජ්‍ය පොත් කරන කොට මහප්‍රාණ, ප්‍රාණ අක්ෂර කියැවෙන්න නැති වුණාට මේ විදියට කරනවා. එතකොට නිකන්ම කටපාඩම් හිටිනවා. ඔය මන්ත්‍ර, ස්ලෝක, දිෂ්ටි මන්ත්‍ර කටපාඩමේදී තමයි වැඩිපුරම මේක කරන්නේ. සමහර අයට ගුරුන්නාන්සේ ඊට කලින් මොනවාදෝ මතුර මතුරා දෙහි ගෙඩි ටිකකුත් කැපුවා මතකයි. ගුප්ත ශාස්ත්‍රය හරිම ආඩම්බරකාරි. පුදුම දේවල් කරන ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය විහිලුවට කරන්න බැහැ. හරියට ඉලක්කයට වෙඩි තිබ්බා වගේ. සමාව අයදින කොට ප්‍රතිඵලය වෙලා ඉවරයි. එතකොට පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඒකයි කිව්වේ ගුරුකම් කරන්න ප්‍රථම කීප විටක්ම හිතන්න ඕනෑ කියලා. මේකේ වටිනාකම දන්නේ පාඩුවක් සිදු වුණ පුද්ගලයාටයි. උදව් කරන්න කිසිම කෙනෙක් නාපු කොට, වෙනත් පිළිසරණක් නැති කොට අන්තිම තුරුම්පුව තමයි ගුරුකම. නිහඬව කළාම නිහඬව ප්‍රතිඵල. සාමාන්‍ය විදියට හොරකම් අපරාධ අල්ලන අයත් මේ ගුරුකම් කර ගන්නවා නිහඬව.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී මරණය ගැන කියා දෙන්නේත් ඒක හොයන හැටි කියාදෙන්නෙත් “චූල ශාස්ත්‍රය” මගින් නැත්නම් “චූල නක්ෂත්‍රය” මේ ශාස්ත්‍රය උගන්වන්නේ පාඨමාලාවේ අන්තිම පරිච්ඡේදය ලෙසින්. ඒක ඉගෙන ගත්තාට ඒක ප්‍රකාශ කිරීම තහනම් වනවා. මොකද ඒක කිව්වාම අසන්නා නොමැරී මැරෙනවා. ඒ වගේ ගුප්ත ශාස්ත්‍රයේ අවසාන පාඩම නැත්නම් අවසාන මන්ත්‍ර තමයි. වශීකරණය. සුළුපටු වුණාට ඒ වගේ පෙනුනට ප්‍රතිඵලය භයානකයි. වශී ගුරුකම් වල නීචකූල බන්ධන ටිකක් සැරයි. නීචකූල බන්ධන ගණයටමයි “කලවා බන්ධනය”ත් වැටෙන්නේ. නීචකූල කියන කොටම වැටහෙනව නේද? මේ මන්ත්‍රය. වැඩිපුර ඒ දිනවල පාවිච්චි කළේ කුල හීනයෝ. නැත්නම් චණ්ඩාලියෝ. ඒ බමුණන්ගෙන් පලිගන්න. මේ වශී සමහරක් කූල හීනයෝ ගෙවල්වල වැඩකාර කමට තබා ගත් බමුණන් ළඟත් තිබුණා තමයි. ඒක පාරම්පරිකව ගියේ නැහැ. කුල හීනයො ළඟ නම් තිබුණා තමයි. වැඩි කුලවාදිනී ඒක දීර්ඝව කරන්න ඉඩදුන්නෙ නැහැ.

ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය ගුප්ත ශාස්ත්‍රයට වඩා කටපාඩම් කිරීම අඩුයි. අනිත් එක අඩුපාඩු යමක් ඇත්නම් ඡ්‍යොතිෂ පොතකින් පුරවාගන්න පුළුවන්. මන්ත්‍ර ශාස්ත්‍රය එහෙම බැහැ. ඒ මන්ත්‍ර සීහුම් වන්ට ඕනෑ. මන්ත්‍ර ශාස්ත්‍රය වැඩිපුරම ඇඟේ ලේ වලම තිබෙන්න ඕනෑ. හැමෝටම බැහැ. පරම්පරාවේ හිටියටම බැහැ. පරිහරණය කරන්න ඕනෑ. වශීකරණය කරනව නම් ඉස්සෙල්ල රෝස මලකට, කිරිදල්ලකට, කයිල වැලකට කරල පුරුදු වන්ට ඕනෑ. එක පරම්පරාවකට අයිති යම්කිසි මන්ත්‍රයක් ඒ විදියකටම වෙනත් පරම්පරාවක නැහැ. හේ අනුපාන මන්ත්‍ර වෙනස්. උදාහරණයකට කිව්වොත් මහා නාරසිංහාය මතුරන්න ඕනෑ තැනකදි කුඩා නාරසිංහාය මතුරල බැහැ. එහෙම කළොත් ප්‍රතිඵලය නරක් වන්නත් බැරි නැහැ. වශී මන්ත්‍ර නම් හරියටම කරන්න ඕනෑ. කරන්නම් වාලේ කළාට හරියන්නෙ නැහැ. ඒ කිව්වේ ප්‍රතිඵල දෙන්නෙ නැහැ. මම හිතන විදියට මන්ත්‍ර ශාස්ත්‍රය කරන කෙනාව සමහර සමාජය මගහරිනවා. විශේෂයෙන් ගැහැනු ළමයි ඉන්න පවුල්වල හා ලස්සන සහකාරින් ඉන්න පවුල් අයිතිකාරයෝ. ඒ වුනත් දක්ෂ ගුරුකම් කාරයා ඒ විදියේ වැඩ කරන්නෙ නැහැ. ඕනෑ කමින් එයාව කොන්කළේ නැති වුණාට කෙරෙන්නෙ භයට. ගුරුකම් ඒ තරමටම සූක්ෂමයි. සමහර ගුරුකම් තිබෙනවා ළඟ ඉඳගෙන හිනාවෙලා කරන” මතකනේ කොන්ඩදෙනියේ ගුරුකම්. හැබැයි මේකේ ඇතුළු පැත්ත සත්‍යය දන්නා කෙනා මේ ශාස්ත්‍රයට ඉතා ආදරෙයි. ගැහැනු අයත් ඉන්නවා. මොකද මේ ගුරුකම් කරන්නෙ නොදුටු නොපෙනෙන දෙවියන්ට නොවේ.

මේ ගුරුකම අවශ්‍ය වන තැනට ඒකම කරන්න ඕනෑ. උදාහරණයක් ගනිමු. කලක් ඇසුරු කරල හොර රහසේ ඇවිදලා ඉරහඳ දෙන්න පොරොන්දු වෙලා ටික කලකින් විශ්වාසයත් කඩා බිඳ හෙළලා දෙන්නා විරසක වුණාම ඒක හරි ගස්සන්න “ගුරුකම” නැතුව වෙන මොනවද කරන්න පුළුවන්. කෙනෙකුගේ වටිනා දෙයක් හොරකම් කළාම පොලිසියත් අසරණ නම් ගුරුකම් නොකර වෙන මොනවද කරන්නෙ. විපාක ලබා දෙනව මිසක්. ඒ වෙලාවට පව් පින් බලා සිටින්න හැකිද? හොරකම් කළ අයගේ අත පය කඩනවා හැරෙන්න. මේ වගේ අවනඩුවලට එක පැත්තක් දිහා බලල බැහැ. මේ වගේ වෙලාවලට අගතිය වූ පාර්ශ්වය සියදිවි හානි කර ගන්නවා. ඒක නවත්වන්න හැකි මේ නිවැරැදි ශාස්ත්‍රයට විතරයි. ගුරුකම ඇත්තටම උපකාරයක්, සේවයක්. මිස රස්සාවක් නොවේ.

ඒත් අභාග්‍යයකට ඔය මුහුණු පොතේ සඳහන් වන සර්ව පිත්තල ගුරුකම්කාරයෝ. කොච්චර ඉන්නවද නොහරියන බව දැන දැනම කරල මුදල් ගන්නවනේ. ඒක දෙවියන්ට පඬුරු නැත්නම් “පූජාභාණ්ඩ” වලට කියලනෙ ගන්නේ. පූජා භාණ්ඩවලට කිව්වාම ඊට වඩා වැඩි මුදලක් වැය වනවා. දෙවියො කතා කරනවලු. මේ වගේ බොරුකාරයෝ කොච්චර ඉන්නවද? වියදමට මුදල ගත්තට කමක් නැහැ. වැඩේ හරියට කරල දෙනව නම්. එක තැනක ශාස්ත්‍ර කියනවා මන්ත්‍රය ගන්නෙ මගෙන්. ඔය දෙවියන්ට ගුරුකම් කරන්න බැහැ. ඔය දෙවියන් ළඟ තිබූ රත්ත්‍රං මාල කොච්චර අස්ථාන ගත වුණාද, දෙවියෝ හොයා දුන්නද? දෙවියන්ටත් කන්නලව් කරන විදියක් තිබෙනවා. කතරගම, විෂ්ණු, සමන් දෙවියන්ටත් වස්කවි කියන අය කොච්චර ඉන්නවද? කහපාට වස්ත්‍ර ඇඳගත් සාමාන්‍ය හොරුන්ට මේ දෙවිවරු ‘මහේසාක්‍ය’ බවවත් දන්නෙ නැහැනේ. මේ දෙවිවරු වෙනස්වන්නෙ නැහැ වස්කවි අහන්න තරම්.

මේ වගේ කෙම් ගුරුකමක් තමයි” කලවා බන්ධනය’ මගුල් දිනයට නගින පෝරුවේ දෙපැත්තට මතුරපු හඳුන් ටිකක් ගාපුවම හෝ මතුරපු නූලක් මනාළියට පැන්නුවාම. එච්චරයි. ඒකේ ප්‍රතිපලය තමයි මදුසමයට පිටව ගිය මනාලියට ඒ මධුසමය ගත කිරීමට අපහසු වනවා. එහෙමත් නැත්නම් කලවා දෙක බන්ධනය වනවා. හැබැයි මේ බන්ධනය පවතින්නෙ ගුරුකම කරල දින තුනයි. ඒක හරනය වන තෙක් ඉන්න බැරි නිසා දෙහි ගෙඩියකට අෂ්ඨ කෝණ බන්ධන හරනය මන්ත්‍රය කර එනම්

ඕං ඊශ්වරාය නමඞ මහේෂ්වරාය නමඞ

විෂ්ණු දිව්‍ය රාජාය නමඞ – කන්දකුමාරයාය නමඞ – හනුමන්තාය නමඞ

සර්ව දේවාය නමඞ – සර්ව වේදනාය නමඞ පට පට වට වට

පුවට, පුවට කහ කහ හරා හණ වේදනා වේදනා හර හරාය නමඞ

මේ මන්ත්‍රය දෙහි ගෙඩියකට තුන්වරක් මතුරා කුමරිගේ කලවා උඩ තබා කැපුවාම බන්ධනය හරනය වනවා. සුවවනවා. එච්චරයි. මේ වගේ දෙයක් ඉගෙන ගෙන තබා ගැනීම කොච්චර වටිනවද. කොච්චර පිනක් ලැබෙනවද?

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී

ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.