කන්‍යා ලග්නයට හිමි රැකියා

ඔක්තෝබර් 21, 2022

 

කන්‍යා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සහ දහවැන්නාධිපති වන බුධ ගැන බැලිය යුතු වේ. කන්‍යා රාශිය පඨවි ගුණයෙන් යුත් උභය රාශියකි. මුද්‍රණ කර්මාන්තය, ගුරු වෘත්තිය, පොත් තැබීම, ගණකාධිකරණය, ලිපි බෙදීම, ලේඛන කටයුතු, පත්‍ර කලාවේදීන් භාෂා පරිවර්තකයින් වැනි වෘත්තීන් කන්‍යා ලග්න හිමියන්ට උරුම වේ. මේ කුමන රැකියාවක් වුවද සාර්ථකව කර ගැනීමට කන්‍යා ලග්න හිමියා සමත් වේ. ව්‍යාපාර කටයුතු සඳහා ද කන්‍යා ලග්න හිමියාට ශුභදායක වේ. වාග් චාතුර්යක් හිමි මොවුන් ක්‍රමානුකූලව හා ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකාරයට ක්‍රියාකිරීමට සමත් වේ.

 

කන්‍යා ලග්න හිමියාගේ ලග්නාධිපති හා දහවැන්නාධිපති බුධ වේ. බුධ අධ්‍යාපන කාරක ග්‍රහයා වේ. පොතට පතට කාරක අයිති ඇති බැවින් බුධ ග්‍රහයා බලවත් වූ විට තීක්ෂණ නුවණ ලිවීමේ කියවීමේ හැකියාව නර්තන හැකියාව ඇති බැවින් නීතිඥ වෘත්තිය, ග්‍රන්ථකරණය කාව්‍ය කරණය වැනි රැකියා හිමි වේ.

කන්‍යා ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට ලග්නාධිපති හා අධ්‍යාපන කාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති ශනිගේ බලයත් පස්වැන්නේ සිටි ග්‍රහයන් ගැනත් බැලිය යුතු වේ. මොවුන්ගේ බලය වැඩි වූ විට හොඳ උසස් රැකියාවක් කිරීමට කන්‍යා ලග්න හිමියාට හැකි වේ.

දහවැන්න අධිපති ග්‍රහයා වන බුධ සිටින තැන අනුවත් නියෝජනය කරන නැකත අනුවත් දහවැන්නේ සිටින ග්‍රහයන් අනුවත් කන්‍යා ලග්න හිමියාගේ රැකියා තත්ත්වය තීරණය වේ.

කර්මය හෙවත් රැකියාව පාලනය කරන ග්‍රහයන් වන රාහු කේතුගේ පිහිටීමත් ඕනෑම ජන්මියකුගේ රැකියාව තීරණය වීමට බලපායි. රාහු හා කේතු යන ග්‍රහයන් සිටින තැන අනුවත් නියෝජනය කරන නැකැත අනුවත් රැකියා තත්ත්වයන් තීරණය වේ. රාහු සිටි රාශිය අනුව එම රාශියේ අධිපති අනුව එම අධිපතිගේ කාරකත්වය අනුව එම කාරත්වයට අයත් රැකියාවක් ජන්මියාට උරුම වේ.

උසස් රැකියාවක් කිරීම සඳහා උසස් ඉගෙනීම වගේම ජන්මියාගේ මානසික තත්ත්වයත් ශාරීරික තත්ත්වයත් ගැන බැලිය යුතු වේ. මේ සියල්ලෙන් පරිපූර්ණ ජන්මියා හොඳ උසස් රැකියාවන් සඳහා උරුමකම් කියයි.

කන්‍යා ලග්න හිමි ජන්මියාගේ කේන්ද්‍රයේ බුධගේ පිහිටීමත් නියෝජනය කරන නැකතක් රාහු හා කේතු නියෝජනය කරන තැන හා නැකතත් එහි අධිපතිගේ කාරකත්වයත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ඔවුන්ගේ නියෝජනය කරන නැකතත් අනුව වඩාත්ම බලවත් ග්‍රහයාට හිමි රැකියාවක් කන්‍යා ලග්න හිමියාට උරුම වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.