මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

දෙසැම්බර් 9, 2022

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.

 

නර රාශියක් වූ මිථුනයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඔවුන්ගේ සිත්වල බොහෝවිට ඇති වේ.

 

රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය මිථුනයි. මෙය වායු ගුණයෙන් යුත් රාශියක් වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. තිර ගුණයෙන් යුක්ත අග්නි දිගින් උදාවන පුරුෂ රාශියක් වන මිථුන රාශියෙන් උපන් ඔබ පැහැපත් සිරුරකට හිමිකම් කියයි. උස්වූ සම්පූර්ණ වැඩුණු ශරීරයක් වෙයි. දිගු අත්පා බොහෝ දෙනකුට පිහිටයි. කාන්තාවන් ද මනා රූ සපුවකින් යුක්ත වේ. කිසියම් ලතාවකට ගමන් කරයි. පැහැදිලි ලෙස වචන පාවිච්චි කරයි.

 

චරිත ලක්ෂණ

උභය රාශිවලින් වැඩියෙන්ම උභය ගතියක් තිබෙන්නේ මිථුන රාශියේය. මේ නිසා ගති දෙකක් ඇති කරයි. තරුණ වයසේදී වයසට වඩා වැඩි මහලු ගතියක් ඇති කරයි. තරුණ වයස ගෙවුනාට පසු තැන්පත් වන වයසට තරුණකමක් පෙන්වයි. නර රාශියක් වූ මිථුනයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඔවුන්ගේ සිත්වල බොහෝවිට ඇති වේ. මෙම ලග්නයෙන් උපදින අය හැමවිටම ඥානය මෙහෙයවා කටයුතු කරන්නෝ වෙති. කරුණාවන්තභාවය සහ සියලු සත්වයන්ගේ දුකට පිහිටවන මොවුහු කිසිදු ලෝභකමක් නොමැති ත්‍යාගශීලි අය වේ. මිථුන ලග්න හිමියෝ ඉක්මනටම කලබලයට පත්වෙන අය නොවෙති. යමක් ගැන තීරණයකට පළමුව වඩාත් කල්පනාකාරී වේ. සිත චංචල ගතියෙන් යුක්ත වෙති. පොතපත කියවීමට වැඩි ආශාවක් දක්වති. හැම දෙයක්ම දන්නා අයෙකු මෙන් කතා කරයි. දක්ෂ ලෙස අන් අයට කරුණු පැහැදිලි කිරීමට සමත් වේ. නැටුම් ගැයුම්වලට විනෝදවීම් වැනි දේවලට පි‍්‍රයතාවයක් දක්වති. අධික කාමුක ආශා ඇති අයෙකු විය හැකිය. ඇතැම්විට ශරීර අංග හීනවීම හෝ අංග වැඩිකමක් ඇති අයෙකු වීමට ඉඩ ඇත.

රැකියාව

ගුරුවරයන් හා තාපසයන් මෙම ලග්නයෙන් උපන් අයට පි‍්‍රයමනාප වෙයි. ගුණවන්ත භාවය ඇතිවේ. නොයෙක් ආකාරයෙන් මුදල් උපයමින් නොයෙක් ආකාරයෙන් වියදම් කරයි.

මිථුන ලග්නයෙන් ඔබ උපදින විට ඔබේ ලග්නාධිපති බුධ බලවත්ව සිටියේ නම් හොඳ කථිකයෙකු / ලේඛකයෙකු/ සංගීතඥයකු වීමට ඉඩ ඇත. මොවුන් බොහෝවිට වෘත්තීන් දෙකක නිරත වෙති. චිත්‍රකර්මයට කලාත්මක දෙයට කැටයම් ශිල්පයට ලැදියාවක් දක්වයි. කවදාවත් නොකළ කාර්යයක් වුවත් තමන්ට කිරීමට භාරදුනහොත් එය කෙසේ හෝ නිම කරයි. වැඩෙහි යෙදී සිටින තුරු දක්ෂ ලෙස එම වැඩය කරගෙන යාමට ද හැකිය.

ගතිගුණ

පහසුවෙන් මිතුරන් ඇති කරගන්නා නමුත් එම මිතුරුදම් වැඩිකල් පවත්වාගෙන යාමට නොහැක. ඔවුන් ඇවිදීමට බොහෝ පි‍්‍රයවේ. ඇසුරු කරන ඕනෑම කෙනෙකුට ගැළපෙන පරිදි මිථුන ලග්න හිමියන් හසුරුවා ගැනීමට හැකියාව ඇතිවේ.

මිථුන ලග්නයෙන් උපන් කාන්තාවන් ද බුද්ධිමත් වේ. බොහෝවිට ඇවිදීමේදී බිම බලාගෙන පියවර නැඟීම විශේෂ ලක්ෂණයකි. යමක් දුටු පමණින්, කී පමණින් අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඔවුන් තුළ ඇත. විහිළු තහළුවලට වැඩි කැමැත්තක් නැත. සමහරු ගණිතයට දක්ෂ වෙති. කුඩා කාලයේ සිට කාව්‍ය රචනයට බොහෝ දෙනෙක් දක්ෂ වෙති.

විවාහය

මිථුන ලග්න කාරියන් තැන්පත්ය. පෙම් සබඳතාවලට ඔවුහු එතරම් උනන්දුවක් නොදක්වති. මාපියන්ගේ ආශිර්වාදය මැද විවාහවීමට කැමැත්තක් දක්වති. මේනිසා බොහෝ තරුණියන්ගේ විවාහ ප්‍රමාද වෙයි. තම සහකරුට දේවත්වයෙන් සැලකීමට මිථුන ලග්න හිමි කාන්තාවෝ කැමැති වෙති. මේ නිසා ඔවුන්ගේ පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් ගත වෙයි.

මිථුන ලග්නයෙන් උපන් ඔබට සිංහ, තුලා, ධනු, කුම්භ, මීන හා මේෂ ලග්න හිමියන් වඩාත්ම ඇසුරට යෝග්‍ය වේ. විවාහයේදී මෙවන් ලග්න හිමියන් තෝරාගැනීමෙන් මිථුන ලග්න හිමියන්ට වඩාත් වාසනාවන්ත දිවියක් ගත කිරීමට හැකිවනු ඇත.

රෝගාබාධ

මිථුන ලග්න හිමියන්ගේ දුර්වලකමක් ලෙස පෙනෙන්නේ පටන්ගත් කාර්යය අවසානය තෙක් නොකර අතරමග නතර කිරීමත්, නිතර නිතර ද්විත්ව අදහස් ඇතිවීමත්ය.

මිථුන රාශිය වායු රාශියක් බැවින් වයස අවුරුදු 45 ඉක්ම වූ පසු අත්පාවලට වායුව තදින්ම බලපායි. මේ නිසා දණ හිස ඉදිමෙයි. ඇවිදීමට අපහසුකමක් ඇතිවේ. අතපය වෙහෙසා වැඩ කිරීමට අලස බැවින් ශරීරය මහත් වෙයි. එය පපුවේ රෝගවලට ද හේතු වෙයි. ඔවුන්ට වැලඳෙන අනිත් රෝග අතර උණ රෝග, ලේ හීන රෝග, වාත ඇවිලිලි රෝග, මොළයේ ව්‍යාකූල ගතියෙන් සෑදෙන මානසික රෝග ආදිය වේ. පෙණහැල්ලේ රෝග හා හුස්ම ගැනීමේ අපහසුතාවය ද වේ.

මිථුන ලග්නයෙන් උපන් ඔබට මාරක ග්‍රහයන් වන්නේ රවි, කුජ හා ශනිය. මෙම ග්‍රහයන්ගේ මහදශා, අතුරුදශා කාලවලදී මාරක විපත්, කරදර පමුණුවති. විශේෂයෙන් සෙනසුරු ඉතා දරුණු මාරක ග්‍රහයා වෙයි. ගංගා , වැව්, මුහුද වැනි ස්ථානවලදී වඩාත්ම ප්‍රවේශම් විය යුතුය. පිහිනුම් තටාකවල නෑමෙන් ද වැළකීම යෝග්‍ය වේ. රවි, කුජ, ගුරු ඔබට අශුභ පල දෙන ග්‍රහ තාරකාවක් වේ. ඔබට ශුභ පල දෙන එකම ග්‍රහයා සිකුරුය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ජයග්‍රාහි දිනය අඟහරුවාදා වේ. ජය වර්ණය කොළපාට, ජය අංකය 03 වේ.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.