සිංහයකු මෙන් එඩිතරබව පෙන්වන සිංහ ලග්න හිමියෝ

චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
දෙසැම්බර් 23, 2022

 

ග්‍රහ මඬුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරන එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වේ. මෙම රාශියට අයත් නැකත් තරු පෙළ සිංහයකුගේ ස්වරූපයෙන් දිස්වෙන බැවින් මෙම රාශිය සිංහයකුගේ රුවක් සංකේතවත් කර ඇත. මෙම ලග්නයෙන් උපන් අය සිංහයකුට සමාන එඩිතර ගතියක් පෙන්නුම් කරයි.

 

චරිත ලක්ෂණ

ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන ඔවුන්හට පළල් වූ උරහිස්වලින් යුත් වැඩුණ ශරීරයක් හිමි ය. ස්වයං තීරණ මතම කටයුතු කරන හා දැඩි ආඩම්බරකාර ගතියකින් යුත් අභීත ගතියකින් යුත් අයකු ද වෙයි. ඉතා ශබ්ද නඟා කතා කරයි. අහංකාර ගතිය හා සෘජු ගතිය ද උතුම් ගුණවත් බවින් ද යුක්තය. අන් අය තමාවෙත යටත්කර ගැනීමේ අපූර්ව ගතියක් ද උපතින්ම පිහිටා ඇත. අවංක භාවයද ඇති අතර බාහිර කරුණුවලට විරුද්ධවන ගතිය නිතර දක්නට ඇත.

සිංහ රාශියෙන් උපන් අය සටනට ළැදිය. එහෙත් ආත්ම ගෞරවය දිවි දෙවෙනිකොට සලකන බැවින් තමන්ගේ චරිතයට කැලැල්වන කිසිම දෙයකට ඉඩ නොදෙයි. ඔවුන් සටනට බසින්නේ බැරිම අවස්ථාවක් වූ විට ය. එය ජයග්‍රහණය කොට කරන සටනකි. දැඩි ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුත් අය නිසා ඕනෑම බරපතළ අමාරු කාර්යයක් වුව නොපැකිළිව බාරගනී. ස්ථාවර බව නිසා නිතර නිතර අදහස් වෙනස් නොකරයි. සමාජ සේවා හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරයි.

ගතිගුණ

නිර්ලෝභි ත්‍යාගශීලී හදවතකට උරුමකම් කියන ඔබ ප්‍රතිපත්තිගරුකය. වාසියට නැමෙන්නේ නැත. සියුම් කල්පනාකරුවකු වන ඔබ දියුණුවීමේ කලාව උපතින්ම ගෙන ආ අයකු වන අතර ඒ නිසාම ඔබට දක්ෂ පාලකයකු වීමේ හැකියාව ද ඇත. විශ්වාසවන්ත අයකු ලෙස සමාජගතව යහපත් නමක් ඇති කර ගන්නා ඔබ තුළ සෘජු ගති ගුණ සහජයෙන්ම පිහිටවනු ඇත. එම උසස් ගුණයන් හේතුකොටගෙන ඔබ සමාජයේ ගෞරවයට පාත්‍රවීම නොවැළැක්විය හැකි ය. ඔබගේ දියුණුවේ රහස ලෙස දැකිය හැක්කේ ඔබ තුළ ඇති දැඩි කැපවීම හා අධිෂ්ඨානශීලී බවයි.

රැකියාව

කාර්මික හෝ කලා විෂයයන් කියා ඔබට වෙනසක් නැත. සීමාවක් ද නැත. ඔබට ඕනෑම විෂයක් පිළිබඳ විශාරද දැනුමක් ලබා ගැනීමට වැඩි කාලයක් ගත නොවන අතර එය ඔබ උපතින්ම ලද මහඟු දායාදයකි. ඔබේ සෑම අධ්‍යයනයකම ඇත්තේ සාර්ථක අවසානයකි. විශේෂයෙන් නිර්මාණශීලී මානසිකත්වයකින් පෝෂිත වූ ඔබ තුළ වැඩි වශයෙන් උපදිනුයේ දියුණුවීමේ අපේක්ෂාවන් ය. ධනාත්මක චින්තනයෙන් ඔබේ සිත නිතර පිරී පවතී. අපේක්ෂා භංගවීමෙන් ඇතිවන පරාජය හමුවේ ඔබ කිසිදා කඩා වැටෙන්නේ වත්, හඬා වැටෙන්නේ වත් නැත. එසේ වූවත් එය බොහෝ කලාතුරකිනි.

සිංහ ලග්නයෙන් උපන් අය බොහෝවිට බුද්ධිමත්ය. තියුණු නුවණක් උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඉංජිනේරු ශිල්පය, පරිගණක තාක්ෂණය, විදුලි ඉංජිනේරු, අධිකරණ වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය, චිත්‍ර, සංගීතය, නැටුම් කලාව ආදී විෂයන් කෙරෙහි ඔවුහු විශේෂ දක්ෂතා දක්වති. විදේශ අධ්‍යාපනයන් ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිවෙයි. රාජ්‍ය ලේකම්, මහ කොමසාරිස්, තානාපති ආදී උසස් නිලධාරී තනතුරු ලැබීමට ද වාසනාව ඇත.

ලග්නය සිංහ වී එහි රවි සිටිවිට උපදින අය රාජ්‍ය සේවයේ යෙදෙන ශක්තිමත් සිරුරක ඇති තේජසින් යුත් අයකු කරවයි. නිර්භීත, අහංකාර අයකු වේ. මිනිසුන් තැතිගන්වන සුළු ස්වභාවයක් ඇති කරයි.

රෝගාබාධ

ශරීර සෞඛ්‍ය හොඳවන නමුත් පීනස් රෝග, ඇස්වල ආබාධ, ශරීරයේ උෂ්ණාධික භාවයද අධික වේ. ජනතා නායකයකු වීමේ භාග්‍යය ද හිමි වේ. සිංහ ලග්නය වී හතරවැන්නේ කුජ සිටීමෙන් රුචකනම් යෝගයද, හතේ ශනි සිටීමෙන් සස යෝගයද දහයේ සිකුරා සිටීමෙන් මාලවි යෝගයද උදා කෙරෙන අතර සිංහ හිමි අයට බොහෝවිට බලපෑම් ඇතිවන ශාරීරික ස්ථාන සහ අංගයන් පිළිබඳව සොයා බැලීමේ දී හෘදය හා කොඳු ඇටපෙල ආශ්‍රය හා ස්ථාන පීඩාවට පත් කරවන බව සැලකේ. නිරතුරුවම සිංහ ලග්නයෙන් උපන් අය අසාධ්‍ය ලෙස රෝගයකින් පෙළෙන්නේ නම් එය හෘදය පිළිබඳ අසනීපයක් විය හැක. හදිසි හෘදයාබාධවලින් පීඩාවට පත්ව නොසිතූ මොහොතක ජීවිතය අහිමි වීමට තරම් ක්ෂණික හෘද අකර්මණ්‍යයට සිංහ ලග්න හිමියෝ පත්වෙති. ස්නායු ගත ආබාධවලටද සිංහ ලග්න හිමියෝ පහසුවෙන්ම ගොදුරු වෙති.

මරණය

බොහෝ කාලයක් නිසි පරිදි ආහාර නොලැබීමෙන් වන ශරීර දුර්වලතා ජලචර සත්වයන්ගෙන් සිදුවන පීඩා, විෂ ශරීරගත වීම සහ ආයුධ පීඩා සිංහ ලග්න හිමියාගේ මරණයට බොහෝ දුරට හේතුවිය හැක. කුජ, ගුරු මහ දශා අන්තර්දශා කාලවලදී සිංහ ලග්න හිමියන්ට ධන, ධාන්‍ය, වස්තු සම්පත්, යස ඉසුරු, කීර්ති ප්‍රශංසා ආදිය ලැබීම පමණක් නොව ජන ප්‍රධානියකු වීමේ භාග්‍යයද උදාකරයි. එපමණක් නොව සිංහ ලග්නයේ හය වැන්නේත්, අටවැන්නේත්, දොළොස් වැන්නේත්, ශනි, ගුරු චන්ද්‍ර යෝගය තිබේ නම් එය විපරීත රාජ යෝග උදාවීමකි. එවැනි පිහිටීම් ඇති සිංහ ලග්න හිමියෝ ද නිරෝගී ශක්ති සම්පන්න ධනයෙන් හා යස ඉසුරින් පිරුණු පී‍්‍රතිමත් ජීවිත ගත කරන්නෝ වෙති. පාලකයකු වීමේ භාග්‍යය ද උදා කරයි.

සිංහ ලග්නයෙන් උපන් කාන්තාවන්ගේ හිසකෙස් මඳක් රැලි සහිතය. තරමක් ඝන රෝමවලින් යුක්තය. නාසය විශාලය, වටකුරු නෙත් යුවල බබළන ගතියෙන් යුක්තය. ඔවුන් ඉතා බුද්ධිමත් ය. තියුණු නුවණක් උපතින්ම පිහිටා ඇත. ලේඛන කලාවට ඔවුන් පුදුම හැකියාවක් පෙන්වයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.