රවි ශනි හිමි කුම්භ රාශිගත වීම සුබදායකද?

ජනවාරි 27, 2023

 

මාර්ග අනතුරුවල වැඩිවීමක්

 

දූෂිතයන්ට දැඩි දඬුවම්

 

ස්ත්‍රී දූෂණ, මරණ වැඩිවෙයි

 

අධිකරණ ක්ෂේත්‍රයට වැඩ වැඩි වෙන හැඩක්

 

 

2023 පෙබරවාරි මස 13 වැනි සඳු දින පෙරවරුවේ ලොව පාලනය කරන්නා වූ සූර්ය දිව්‍ය රාජ තෙම ශනි හිමි කුම්භ රාශියට පැමිණේ. මේ වන විට ලග්නපති සෙනසුරු තම මූල ත්‍රිකෝණ රාශිය වූ කුම්භ රැසට පැමිණ සිටියි. ශ්‍රී ලංකා කේන්ද්‍රය ද කුªම්භ රාශියයි. රවි කුම්භ රාශි ගත වන වේලාවේ මීන ලග්නය උදාව පවතී. තත්කාල ලග්නගත ගුරු මීන රාශියට අධිපති වේ. එය ගුරු හංස යෝග බලයයි. යුරේනස් 2 වැන්නේ, කුජ 3 වැන්නේ, සඳු- කේතු 8 වැන්නේ මාරක ස්ථානයේ ද 11 වැන්නේ බුධත් 12 වැන්නේ රවි, ශනි, ශුක්‍ර හා නෙප්චූන් ද වෙයි. කේන්ද්‍ර ගතව සිටින එකම ග්‍රහයා ද ගුරුම වේ.

රට වැසියන්ගේ යහපත පිණිස කටයුතු සිදු වන කාලසීමාවකි. අධිකරණ ක්ෂේත්‍රයට වැඩ වැඩි වන කාලයයි. ප්‍රධාන රාජ්‍ය ආයතනවල ඉහළ නිල තල දරන නිලධාරීන්ට අර්බුද,චෝදනා ආදියට මුහුණ දෙමින් තම රාජකාරි කටයුතු කිරීමට සිදුවන කාලයකි. රටේ ආර්ථික ගැටලු පැන නැඟිය හැකි නමුත් 2023 අප්‍රේල් 20න් පසු මූල්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමට හැකි වේ.

පෙබරවාරි 10න් පසු දේශපාලන නායකයින්ට අශ්‍රභ ග්‍රහ තත්වයක් පෙන්වයි. මහජන උද්ඝෝෂණ ඇති විය හැකි අතර ස්ත්‍රී දූෂණ, මරණ වැඩිවේ. මාර්ග අනතුරුවල අඩුවක් දක්නට නැත. හදිස්සි මරණ වැඩිවෙයි. වාහන පදවන්නන් ඉතාම පරිස්සම් විය යුතු කාලසීමාවකි. රජයේ විවිධ ආයතනවල විවිධ චෝදනා ලැබූවන්ට දැඩි දඬුවම් ලැබිය හැකි කාලයකි. සොරුන්ට, දුෂිතයින්ට,මංකොල්ලකරුවන්ට, සමාජ විරෝධී ක්‍රියාකරන්නත් නීතිය ක්‍රියාත්මක වන කාලයකි.

මෙම ග්‍රහ මාරුව ඔබට බලපාන්නේ මෙලෙසයි.

මේෂ

11 වැන්නට රවි පැමිණේ. විශේෂ බලයකි. තම ශරීර සෞඛ්‍යය යහපත් වෙයි. ආදායම් තත්තවය ඉහළ යයි. බලාපොරොත්තු සමඟ ඉහළ ප්‍රභූන්ගේ ආධාර උපකාර ලැබේ. අභිමානවත්ව ජීවන ගමන යා හැකිය.

වෘෂභ

10 වැන්නට රවි පැමිණ දිග්බල වෙයි. 4 වැන්න අධිපති වේ. 10 වැන්න අධිපති ශනි ද එහි සිටින බැවින් දියුණුවට මංපෙත් විවර වේ. නැතිවී ගිය සම්පත් ලැබේ. විදේශ ගමන් ද විදේශ ධනයද ලබාදේ. ප්‍රාර්ථනා සැප ලැබේ. විවාහයට තිබූ බාධා ඉවත් වෙයි.

මිථුන

රවි 09 වැන්න වූ භාග්‍යස්ථානයට පැමිණීම යහපත් වෙයි. ධර්මස්ථානයද එහිම වන බැවින් ආගම ධර්මය මූලික කරගෙන තම අභිමතාර්ථ සඵල කර ගන්න. මෙතෙක් පැවැති ඒරාෂ්ඨකය ද අවසන් විය. ප්‍රභූ උදව් ලැබේ.

කටක

රවි දෙවැන්නාධිපතිව අටවැන්නට පැමිණේ. සෙනසුරුගේ ලග්න අෂ්ටම ඒරාෂ්ඨකයද ලබා තිබුණත් එහි දෝෂ භංගකරමින් ඉදිරි ජීවන ගමන සාර්ථකව ගෙන යාමට පුළුවන් වෙයි. විවාහ කටයුතුවලදී සැලකිළිමත් වන්න.

සිංහ

ලග්නාධිපති රවි 7 වැන්නාධිපතිගේ රැසට පැමිණ ගමන් කිරීම ශුභ වේ. බාධා ඉවත් වෙයි. මෙම යෝගයෙන් ජනිත වන අයද සමාජයේ ගරු නම්බු ලබමින් ප්‍රසිද්ධියට පත්වෙයි. හවුල් ව්‍යාපාරවලට ද විදේශ ආයෝජනවලට ද මාර්ගය පාදා දෙයි. මංගල කටයුතු ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්න.

කන්‍යා

6 වැන්න කුම්භ රාශියට එන රවී විපරිත යෝග බලය ද ලබා මසක පමණ කාලයක් එහි ගමන් කරයි. එය සුබපල දානය කිරීමට හේතු වෙයි. ලග්නපති බුධ පස් වැන්නේ ගමන ද විශේෂිත වේ. ශාස්ත්‍රීය කටයුතු හා ලේඛන කලා කටයුතු ද ප්‍රගුණ කළ හැකි වෙයි.

තුලා

පස්වැන්නට රවි පැමිණේ. සෙනසුරු ද එහිය. මෙම දෙපළගේ යෝගය කරුණා, මෛත්‍රිය පතුරුවයි. සමාජයේ සෑම දෙනාටම එකසේ මැදි පිළිවෙතින් සලකයි.

වෘශ්චික

සිවුවැන්න අධිපති සෙනසුරු හා එක්ව රවි මසක පමණ කාලයක් 4 වැන්නේ ගමන් කරයි. යටවී ගිය සම්පත් මතුවේ. බලාපොරොත්තු ඉටුවේ. ඉඩකඩම්, ගේදොර වාසනාව ගෙනදේ. බන්ධු මිත්‍රාදීන්ගේ සහාය ද ලැබේ.

ධනු

සෙනසුරුගේ මෙතෙක් පැවති ඒරාෂ්ඨකය අවසන් වුවත් ශනි කුම්භ රැසේ රවි හා එක්ව යාමෙන් තම ආවේගශීලී බව මදක් අඩුවෙයි. චිත්ත ධෛර්යය වඩා වර්ධනය කර ගන්න. තම සහෝදර පක්ෂය සමඟ හොඳ හිත තබා ගන්න. ඉවසීම තමාගේත් පවුලේ දියුණුවටත් ඉවහල් වේ. ආගමානුකූලව කටයුතු කරන්න.

මකර

ඒරාෂ්ඨකය තවම තිබුණත් රවි දෙවැන්නට පැමිණීම අලුත් ධනෝපායන මාර්ග ඇති කරවයි. පවුලේ දියුණුව ඇතිවේ. අනපේක්ෂිත කරදර අවම වේ.

කුම්භ

ලග්නාධිපති ශනි 7 අධිපති රවි එක්වීම හිතකර වේ. තම අපේක්ෂාවන් සපල වේ. විදේශ සම්පත් ලාභ ප්‍රයෝජන ලැබේ. විවාහ කටයුතුවලට බාධා ඇති වේ.

මීන

දොළොස් වැන්නට රවි පැමිණේ. විපරිත යෝග බලයද ලබා ගනියි. විදේශ ගමන්වලට හොඳම කාලයයි. තරමක සිත් තැවුල් පැමිණියද ආගම දහම මූලික කරගෙන අනාගතය සමෘද්ධිමත් කරගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.