අංශභාගය වැලඳීමට හේතුවන ග්‍රහ පිහිටීම්

පෙබරවාරි 17, 2023

 

මිනිස් මොළයේ යම් කොටසකට රුධිරය ගමන් නොකිරීම හේතු කොට ගෙන යම් කිසි අවයවයක් හෝ කොටසක් අකර්මණ්‍යවීම අංශභාග රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ය. ඒ අනුව කෙනකුට අංශ භාග රෝගය වැලඳීම නිසා ශරීරයේ අතක් පයක් පණ නැති වීම, කට ඇද වීම, කතා කිරීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ ඇතිවේ. ඡ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව මෙකී අංශභාග රෝගය ඇති වීමට හේතු භූත වන ග්‍රහබල කවරේද? යන්න පිළිබඳව කරුණු විමසා බැලීමේ දී පළමුව ලග්න කේන්දරයක හිස නිවේදන කෙරෙන ලග්නයත් එහි අධිපතිත් ස්නායුවලට කාරක බුධ ග්‍රහයාත් සෙනසුරු, රාහු යන ග්‍රහයන් ගෙන් පීඩා විය යුතු ය.

 

ඒ අනුව ලග්න කේන්දරයක ශනි, රාහු සංයෝගයක් ලග්න භාවයේ හෝ 8 වැනි භාවයේ යෙදී ඇති විට. එසේ යෙදුණු ශනි, රාහු සංයෝගයේ බලපෑම බුධ ග්‍රහයාට සහ ලග්නාධිපති කෙරෙහි වේ නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන් අංශ භාග රෝගයට ගොඳුරු වන්නේ ය. මෙහිදී එකී රෝගය බරපතළ එකක් වීමට නම් විශ්ව කේන්දරයේ හිස නිවේදනය කෙරෙන මේෂ රැසත් එහි අධිපති කුජත් ලග්නයට කාරක රවි ග්‍රහයාත් ශනි, රාහු, කේතු සහ 6 අධිපති යන ග්‍රහයන්ගෙන් පීඩා විය යුතු වන්නේ ය. ඒ අනුව දැන් අපි අංශ භාග රෝගය වැලඳුනු ජන්මියකුගේ කේන්දර සටහනක් පරීක්ෂා කර බලමු.

උපන්දිනය 1968.05.29 කටක නවාංශයෙන් අද නැකැතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් රාහු මහ දශාව ඉදිරි වර්ෂ 17 මාස 2 යි දින 8 ක් ශේෂව තිබේ.

ඉහත කේන්දරය හිමි වන්නේ වෛද්‍යවරියකටය. එම කේන්දරයේ අප මාතෘකාවකට සම්බන්ධ බුධ ග්‍රහයා 10 වැන්නේ භද්‍ර නම් පංච මහා පුරුෂ යෝගය උදා කරමින් 11 වැන්නාධිපති සඳු සමඟ යෝගව බලවත්ව සිටියත් 7 වැන්නේ සිටින කාල සර්ප යෝගයකට සම්බන්ධ රාහු සමඟ යෝග වූ සෙනසුරුගේ කේන්ද්‍රීය දෘෂ්ටියෙන් පීඩා වී ඇත. එමෙන්ම එකී බුධ තව දුරටත් ලග්නයේ සිටින පාපී කේතුගේ කේන්ද්‍රීය දෘෂ්ටියෙන් ද බුධගෙන් 12 වැන්නේ සිටින 8 අධිපති කුජ සමඟ යෝග වූ සතුරු රවිගේ දෘෂ්ටිය බුධගෙන් 2 වැන්නට හෙවත් 11 වැන්නට වැටීම හේතුකොට ගෙන එකී බුධ තවදුරටත් පාප කර්තරි යෝගයකට මැදිව ඇත. එහෙයින් බලවත් බුධට ශුභ මෙන්ම පාප බලපෑම ලැබීම නිසා හොඳ මෙන්ම නරක ප්‍රතිඵල ගෙන දෙන ග්‍රහ බලයක් බුධ ග්‍රහයාට ලැබී ඇත. එමෙන්ම ඉහත විග්‍රහ කළ පරිදි විශ්ව කේන්දරයේ කාල පුරුෂයාගේ හිස නිවේදනය කෙරෙන මේෂ රාශිය ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ට මැදිව පාප කර්තරිත වී ඇත. එහි අධිපති අඟහරු පක්ෂාඝාතය නොහොත් අංශ භාගය වැලඳීමට හේතු භූත වන ග්‍රහ සංයෝගයක් වන ශනි/ රාහුගෙන් පීඩා වී ඇත. මෙකී රෝගය වැලඳීමට දායක වන තවත් ග්‍රහයෙක් වන රවි වෘෂභ රැසේ මෙන්ම නවාංශක කේන්ද්‍රයේ සතුරුව පතිතව ඇති අතර, රාශි කේන්දරයේ 9 වැන්න වූ වෘෂභ රැසෙහි 8 අධිපති අඟහරු සමඟ යෝග වීමෙන්ද 7 වැන්නේ සිටින රාහු සමඟ යෝග වූ සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය එකී 9 වැන්නේ සිටින රවිට වැටීමෙන් රවි ග්‍රහයා පීඩා වී ඇත. ඒ අනුව ඉහත කේන්දරය හිමි වෛද්‍යවරිය 2001 දී ලැබූ 6 අධිපති සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවේ සෙනසුරුගේ අන්තර් දශාවේ සූර්යය සහ ජන්ම ඒරාෂ්ඨක අපල අවස්ථාවේදී අංශ භාග රෝගියෙක් බවට පත්විය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.