සිවුවන භාවය

පෙබරවාරි 17, 2023

 

ජන්ම කේන්ද්‍රයේ සිවුවන කොටුව හෙවත් සිවුවන භාවය බන්ධුස්ථානය, ගෘහස්ථානය, මාතෘස්ථානය යන නම්වලින් හැඳින්වේ. ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන, මව, මවගේ නෑදෑයන් පිළිබඳ ජීවිතයේ අන්තිම කාලය කෙසේ ගත වේද යන වග හතරෙන් බැලිය හැකි වේ. කෙනකුගේ හිත පිළිබඳව සියලු දේ හතරෙන් බැලිය යුතු වේ. ශරීරයේ පපුව හතරවැන්නට අයත් වේ.

 

හතර වැන්න මවගේ රාශිය වේ. ජන්ම කේන්ද්‍රයේ හතර වැන්න බලවත් නම් මවට යහපත් තත්ත්වයක් උදා වේ. එමෙන්ම හතර වැන්න දුබලව පාප දෘෂ්ටිවලට ලක්ව තිබේ ද එවිට මවට අයහපත් තත්ත්වයක් උදා වේ. මවත් මවගේ රාශිය වූ හතර වැන්නත් අධ්‍යාපනයට සම්බන්ධ වේ. හතර අධිපතියා ජන්ම පත්‍රයේ 6, 8, 12 යන ස්ථානවල සිටී නම් අධ්‍යාපනය සම්බන්ධ ගැටලු මතු වේ.

හතර වැන්න ගේ දොර යාන වාහන පිළිබඳව කියන රාශිය වේ. කේන්ද්‍රයේ හතර වැන්නේ ලග්නාධිපති උච්චව සිටියේ නම් එම ජන්මියාට ගේ දොර යාන වාහන උරුම වේ. හතර වැන්න තිර රාශියක් නම් උපන් නිවසේම උපන් ප්‍රදේශයේම හා උපන් රටේම ජන්මියා පදිංචි වේ. ඒ වගේම චර රාශියක් වූ විට උපන් පෙදෙස වෙනස් වේ.

හතර වැන්න මිනිස් සිරුරේ හදවත වේ. හතර වැන්නේ සිටින ග්‍රහයන් සහ හතර අධිපතියා සිටින ස්ථාන හා හතරවැන්නට වැටෙන දෘෂ්ටි මත හදවත සම්බන්ධව ඇති වන රෝග ගැන බැලිය හැකි වේ.

ජන්ම පත්‍රයේ හතර වැන්නාධිපති ශුභ රාශි ගත වී ලග්නාධිපතිට සබඳතාවක් දක්වන්නේ නම් සියලු සැප පහසුකම් ලබයි. එසේම හතර වැන්නාධිපති නීචව ලග්නාධිපතිට සබඳතාවක් දක්වන්නේ නම් සියලු සැප පහසුකම් ලැබීමට අසීරුවේ. හතර වැන්නෙන් තම දරුවන්ගේ වියදම් තත්ත්වයද බලා ගත හැකි වේ. පස්වැන්නෙන් දොළොස් වැන්න හතර වැන්න වන බැවින් දරුවන්ගේ වියදම් තත්ත්වය ද හතර වැන්නෙන් බැලිය හැකි වේ.

හතර වැන්න තුන්වැන්නේ දෙවැන්න වන බැවින් තම බාල සහෝදරයන්ගේ මුදල් තත්ත්වය බැලිය හැකි වේ. තවද හතර වැන්න හය වැන්නෙන් එකළොස් වැන්න වන බැවින් තම මාමාගේ ආදායම පිළිබඳව ද බලාගත හැකි වේ.

හතර වැන්නාධිපති ශුභයකු වීම ශුභ ග්‍රහයන් සමඟ සිටීම, හතරවැන්නේ ශුභ ග්‍රහයන් සිටීම ජන්මියාට සියලු සැප පහසුකම් අතින් යහපත් වේ. එමෙන්ම හතරවැන්නාධිපති අශුභයන් සමඟ සිටීම හතරවැන්නේ අශුභ ග්‍රහයන් සිටීම හතර වැන්න පාපකර්තරී වීම ජන්මියාගේ සියලු සැප පහසුකම් ලැබීම අතින් අයහපත් තත්ත්වයක් ඇති කරයි. ජන්ම කේන්දරයේ හතර වැන්න ජන්මියාට ඉතා වැදගත් ස්ථානයක් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.