ඔබේ ආයුෂ කෙටි කරන ග්‍රහ පිහිටීම්

පෙබරවාරි 24, 2023

 

ලග්නයේ සුබ ග්‍රහයෙකු නොමැති වූ විට දෙක, දොළහ, හය, අට යන ස්ථානයන්හි පාපයින් වූ කල උපත සිදුවුවත් හය මසකින් මරණයට පත්වන අතර ලග්නයේ සිටියහොත් වැඩි කලක් ජීවත්වන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

 

 

මරණය යනු ඔබ අප හැම දෙනෙක්ම සැබැවින්ම මුහුණදිය යුතු ශෝචනීය අවස්ථාවකි. එය කවදා කෙසේ කොහොම සිදුවේදැයි නිසැකවම කිව නොහැකි නමුත් කෙනකු උපත ලැබූ මොහොතේ තම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ සංයෝග අනුව ඔහුගේ හෝ ඇයගේ ආයු කාලය දළ වශයෙන් කිව හැකි බව ඡ්‍යෝතිෂ මතයයි.

 

රවි, චන්ද්‍ර, ශනි යෙදීම

 

රවි, චන්ද්‍ර, ශනි අටවැන්නේ සිටියදී යමකුගේ උපත සිදුවුවහොත් එදිනම හෝ එදින සිට වසර නවයක් ඇතුළත මරණය සිදුවෙයි. අටවැන්න වෘෂභ හෝ තුලා වී එහි එක් පාප ග්‍රහයකු සිටියද එම පාප ග්‍රහයා තවත් පාපීන් විසින් දකිනු ලබයි නම් එකල උපත සිදුවන්නන්ගේ මරණය වසරකින් සිදුවෙයි. හයවැන්නට හෝ අටවැන්නට ගියාවූ සුබ ග්‍රහයන් පාපීන්ගේ දෘෂ්ටියට ලක්වේ නම් මසකින් මරණයට පත්වෙයි. වක්‍රවූ පාපීන් විසින් දකිනු ලබයි නම් කෙටි කලකින් මරණයට පත්වෙනු ඇත. ලග්නයේ සුබ ග්‍රහයෙකු නොමැති වූ විට දෙක, දොළහ, හය, අට යන ස්ථානයන්හි පාපීන් වූ කළ උපත සිදුවුවත් හය මසකින් මරණයට පත්වන අතර ලග්නයේ සිටියහොත් වැඩි කලක් ජීවත්වන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

 

කේතු යෙදීම

 

කටක, වෘශ්චික, මීන යන ලග්න තුනෙන් එකක් ලග්නය වී අන්තිම නවාංශකය උදාවෙමින් පවතිනවිට කේතු එම ස්ථානයේ වුවහොත් එකල්හි ජන්ම ලාභය ලබන්නන්ගේ මරණය මාස දෙකකින් සිදුවන අතර එහිදී මීන නවාංශකය වී කේතු එහි සිටිය යුතු ය. කටක, සිංහ යන රාශි දෙකින් එකක සිකුරු සිටියදී එය හය, අට, දොළහ වී නම් එම සිකුරු පාපීන්ගේ දෘෂ්ටියට හසුවේ නම් එවිට උපන්නන් හය වසරකින් මියයයි. මේෂ, වෘශ්චික දෙකෙන් එකක් අටවැන්න වී එහි සිටි ගුරු සිකුරුටත් නොපෙනේ නම් ලග්නය රවි, චන්ද්‍ර, කුජ, ශනි යන ග්‍රහයින්ට පෙනේ නම් මරණය වසර තුනකින් සිදුවනු ඇත.

කුජ-සිකුරු යෙදීම

 

හයවැන්නේ කුජද, අටවැන්නේ සිකුරුද, නවවැන්නේ රවිද සිටියදී උපන්නන් කොතරම් බලසම්පන්න බවින් යුක්තව සිටියද මැදිවිය නොඉක්මවා මරණයට පත්වේ. ලග්නය කුම්භ, සිංහ, වෘශ්චික යන එකක්වී ක්ෂිතිජයට ළඟින්ම සිටින්නේ රාහු නම් එම රාහු පාපයින්ට පෙනේනම් එලෙස උපන් අය අවුරුදු හයකින් මිය යනු ඇත. හතරේ හෝ හතේ හෝ අටේ හෝ චන්ද්‍රයා පාපයින්ට මැදිවී සිටියි නම් එකල්හි උපන් අයද වැඩිකල් ජීවත් නොවේ. එක රැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ගුරු කරණ කොට ගෙනද, එසේම එක රැස සිටියාවූ කුජ, ගුරු, ශනි, චන්ද්‍ර කරණ කොට ගෙනද, එසේම එකරැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ශනි කරණ කොටගෙනද උපන්නේ නම් වර්ෂ පහකින් මියයන බව සඳහන් වෙයි.

 

ලග්නාධිපති හා චන්ද්‍රයා යෙදීම

 

ලග්නාධිපතියාත්, චන්ද්‍රයා සිටි රාශිය අධිපතියාත් හය, අට, දොළහට ගොස් අස්තවූයේ නම් එකල උපන් අය උපන් රාශියට අයිති වර්ෂ ගණනේදී මිය යති. උපන් රාශියට අයිති වර්ෂ ගණනනම් මේෂයේ සිට මීන ලග්නය දක්වා එක, දෙක, තුන ආදී වශයෙනි. තුලාවෙන් උපන්නේ නම් හත් අවුරුද්දකින්ද ධනුවේ නම් නව අවුරුද්දකින්ද, මීනයේ නම් දොළොස් අවුරුද්දකින්ද වශයෙනි. ගත වූ ද්වාදශාංශක පමණට ගණන් ගත හැකිය.

හතේ කුජද, අටේ සිකුරුද, නමයේ රවිද, සිටියදී උපන් අය කොතෙක් බලවත් අයෙක් වුවත් මැදිවයස නොඉක්මවයි. ස්ත්‍රියකගේ නම් වයස අවුරුදු හතළිහේ සිට හතළිස් පහ අතරද, පුරුෂයෙකු නම් හතළිස් පහේ සිට පනහ අතරද මරණය වේ. මෙම උච්චාංශකවල හෝ ස්වඋච්ච රාශිවල සිටී නම් මෙය වෙනස්වීමට ඉඩ ඇත.

ගුරු, සිකුරු,බුධ,සඳු යෙදීම

 

ගුරු, සිකුරු එකට සිටියදී බුධ හතරේ හෝ දහයේත් සඳු ලග්නයේ අටේ හෝ දොළහේත් සිටී නම් කොපමණ සැපෙන් ජීවත්ව සිටියත් පනස්විය නොඉක්මවයි. මේෂයේ අටවැනි අංශකයේද, වෘෂභයේ නවවැනි අංශකයේ ද, මිථුනයේ විසි දෙවෙනි අංශකයේ ද, කටකයේ විසි තුන්වෙනි අංශකයේ ද සිංහයේ පස්වෙනි අංශකයේ ද, කන්‍යාවේ පළවෙනි අංශකයේද තුලාවේ හතරවෙනි අංශකයේද, වෘශ්චිකයේ 23 වෙනි අංශකයේද, ධනුවේ දහ අටවෙනි අංශකයේ ද මකරයේ විසිවෙනි අංශකයේ ද කුම්භයේ විසිවෙනි අංශකයේද, මීනයේ දහවෙනි අංශකයේද චන්ද්‍රයා සිටියහොත් එකල උපන් අය ඒ ඒ රාශියට අයිති අංශක ගණන වූ වර්ෂයේ දී මියයයි. මෙය රාශිය තුනට බෙදූ අංශක වේ. මෙසේ වන්නේ චන්ද්‍රයා එක, හතර, හත, දහය හෝ අට වුවහොත් පමණකි. මේෂය මෙකී තැන් පහෙන් එකක්වී චන්ද්‍රයා අටවෙනි අංශකයේ සිටියොත් අට අවුරුද්දකින් මියයයි.

චන්ද්‍රයා සිටි රාශි අධිපතියා වේ. ශනි සමඟ අටේ සිටීද, සිකුරා විසින් ඔවුන් දක්නා ලද්දේ ද එකල උපන් අය රාශි සංඛ්‍යාත අවුරුදු ගණනින් මියයති. උපන් රාශිය මේෂයේ සිට ගණන් ගැනීමේ දී එය පහ නම් පස් අවුරුද්දෙන් හෝ අට නම් අට අවුරුද්දෙන් හෝ වශයෙනි. රවි, චන්ද්‍ර, බුධ, තිදෙනා එකට සිටියදී ඔවුන් ශුභයන්ට පමණක් පෙනෙයි නම් දෛවය අනුව පැවැත්මට නිසි උපත ද වී නමුත් එසේ උපන්නන් එකොළොස් අවුරුද්දකින් මියයයි.

ශනි, රාහු, කුජ, චන්ද්‍ර යෙදීම

 

ශනි, රාහු, කුජ, චන්ද්‍ර හත්වැන්නේ සිටියදී උපත ලැබුවෙයි නම් සත්දිනකින් මරණය සිදුවේ. රවි ලග්නයේ සහ දොළොස්වැන්නේත්, දෙවැන්නේත් පාප ග්‍රහයෝ වෙත්නම් එකල උපන් අය තිස්විය නොඉක්මවයි. සඳු ලග්නය හත, අට, දොළහ යන තැනක පාපයින් සමඟ සිටින විට සුබ ග්‍රහයන්ට නොපෙනෙයි නම් කේන්ද්‍ර ස්ථානයකද සුබයින් නොවුණේ නම් එවැන්නාගේ මරණයද ඉක්මනින් සිදුවේ. පොත්පත්වල අන්තර්ගත මෙම කරුණු ඒ ආකාරයෙන් සිදුවන්නේ දෘඪලෙස පාප පීඩාවන්ට ලක් වන්නේ නම් පමණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.