ග්‍රහ මඬුල්ලේ මන්ත්‍රීවරයා සුරගුරු

පෙබරවාරි 24, 2023

 

ග්‍රහ මඬුල්ලේ විශාලතම ග්‍රහයා ගුරුය. සූර්යයා වටා ගමන් කිරීමට ගුරු ග්‍රහයාට ආසන්න වශයෙන් වර්ෂ 12 ක් ගත වේ. ගුරු, බ්‍රහස්පති, සුරගුරු ආදී නම්වලින් හඳුන්වනු ලබන ගුරු ග්‍රහයා පුරුෂ ග්‍රහයකු වන අතර මහත් වූ වටකුරු ශරීරයක් ද විශාල උදරයක් ද ඇත්තෙකි. විශ්ව කේන්දරයේ දී නව වැන්නට හා දොළොස් වැන්නට අධිපති ග්‍රහයාය. ඒ ධනු හා මීන රාශි දෙකයි. ගුරු බ්‍රාහ්මණ වංශිකයෙකි. පුනාවස, විසා, පුවපුටුප යන නැකැත් තුනට අධිපති ග්‍රහයා ගුරු වේ. විංශෝත්තරී දසා ක්‍රමය යටතේ ගුරුට අයත් කාලය වර්ෂ දාසයකි.

 

ගුරු ග්‍රහයා යුක්ති සහගත ග්‍රහයෙකි. එමෙන්ම ආධ්‍යාත්මික ග්‍රහයෙකි. අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, වෙළෙඳ ව්‍යාපාර, බැංකු, විද්‍යා ආදිය පාලනය කරයි. නීතියටද බලපාන්නේ ගුරුය.

ගුරු ග්‍රහයා මීන රාශියට සහ ධනු රාශියට ස්වකේෂ්ත්‍රව ද කටක රාශියේදී උච්ච ව ද සිටියි. මකරයේ දී නීචය. ග්‍රහ මඬුල්ලේ මන්ත්‍රීවරයා ලෙස හඳුන්වයි.

ගුරුගේ පැහැය කහ පාටය. නැගෙනහිර දිශාවට හෙවත් ලග්නයට දිග්බල වේ. දිවා කාලයේදී බලවත් වෙයි. නුවණට අධිපතිකම් දරයි. ගුරු උච්ච වූ විට බලය හිමිවේ. අනුන්ට උපකාර කිරීමට මැළි නොවේ. නිරෝගී වේ. තර්කන ශක්තිය කෙරෙහි පෝෂිතය. නිවැරැදි විනිශ්චයෙහි දක්ෂය. ගුරු දුබල වූ විට පීඩා වූ විට අහංකාර වෙයි. නිකරුනේ ධනය වැය කරයි. කෘතගුණය අඩුය. සිත දුර්වලය. කරන කියන කටයුතුවල පිළිවෙළක් නොමැත. නිතර රෝගාබාධවලට ගොඳුරු වෙයි. කේන්දරයක ගුරු සංයෝග වන අවස්ථා මෙසේය.

ගුරු-රවි සංයෝගය

ඉතා යහපත් සංයෝගයකි. රවි ගුරු සංයෝගයෙන් උපන් අය නිරෝගී සෞඛ්‍යයෙන් යුක්ත වේ. ප්‍රසිද්ධිය ලැබේ. ගෞරවය ලැබේ. ඥානයෙන් උසස් වේ. ධනය රැස්කර ගැනීමට ඉතා සුබ පිහිටීමකි.

 

ගුරු- චන්ද්‍ර සංයෝගය

 

මෙය සුබ තැනක යෙදුණහොත් වාසනාවන්ත පිහිටීමකි. වස්තුව ලැබේ. ප්‍රසිද්ධ වේ. ගරු සැලකිලි ලැබේ. දියුණුව සැලසේ. නරක ස්ථානයක පිහිටියහොත් ඉහත කී දේවල්හි අසුබ පැති කඩ සිදුවේ.

ගුරු- කුජ සංයෝගය

 

යහපත් ස්ථානයක යහපත් දෘෂ්ටි ලදුව ජන්මියකුගේ කේන්දරයේ මෙය පිහිටි විට ඉතා යහපත් පිහිටීමක් බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ. ඉදිරියට යන බව නිදහස් මත දරන බව පැවසේ. ඕනෑම අයකු තම වචනයට වසඟ කර නම්මවා ගත හැකිය. ඉගෙනීමේ කටයුතුවලින් මුදල් උපයයි. හිංසා පීඩා නොකරන අතර අන් අයගෙන් හිංසා පීඩා විඳීමටද අකමැතිය. නරක තැනක මේ සංයෝග යෙදුණ හොත් ඉහත කී සියල්ල අනෙක් පසට සිදුවේ.

ගුරු- බුධ සංයෝගය

 

මෙම සංයෝගය සුබ තැනක යෙදුණහොත් මෙය එම ජන්මියාට ඉතා වටිනා සංයෝගයක් වනු ඇත.

නීතිය පිළිබඳ විනිශ්චකාරවරුන්ට පිහිටිය යුතු සංයෝගයක් බව ජ්‍යෝතිෂයේ දැක්වේ. ලොව ඇති බොහෝ දේ ඉගෙනීමට විමසුමට ලක් කිරීමට මේ සංයෝගය ඇත්තෝ ආශා කරති. යුක්ති සහගත බව, අපක්ෂපාතීත්වය, ඉවසීම මෙම සංයෝගය ඇත්තා ගෙන් ප්‍රකට වෙයි. මෙය නරකට පිහිටියහොත් සිතේ සැනසුම නැතිවෙයි. මිල මුදල් කරදර ඇතිවේ.

 

ගුරු- සිකුරු සංයෝගය

 

මෙය යහපත් සංයෝගයකි. ඉඩකඩම්, මිල මුදල් හිමිවේ. යහපත් විවාහයක් සිදුවේ. ජීවිතයේ යහපත් ඵල භුක්ති විඳීමට හැකි ය. විපතක් සිදු නොවේ. නරක ස්ථානයක පිහිටියේ නම් වියදම් අධික කරදරකාරී ජීවිතයක් ගත කිරීමට සිදුවේ.

ගුරු- ශනි සංයෝගය

 

ඉතාම වාසනාවන්ත බලවත් සංයෝගයකි. නිරායාසයෙන් ධනය හිමිවේ. පෙර පිනින් බොහෝ දේ ලැබේ. රැකියා වැඩිදියුණු වේ. උසස් රැකියා හිමිවේ. ප්‍රධානීන්ගේ ආදරය ගෞරවය ලබමින් ක්‍රම ක්‍රමයෙන් උසස් වෙයි.

නරකට පිහිටියහොත් කිසි දෙයක් නොලැබේ. වියදම් අධික වේ.

 

ඡ්‍යෝතිෂවේදී ජී.ටී. ආරියරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.