ගැබිනි මවුවරුන්ට චන්ද්‍රග්‍රහණයේ බලපෑම

මැයි 5, 2023

දරුවකු ලැබීම කාන්තාවකගේ මහත් වූ බලාපොරොත්තුවකි. මේ නිසා කුසට පැමිණි කිරිකැටියා සෑම උවදුරකින්ම රැක ගැනීමට මවක විසින් නොකරන දෙයක් නොමැති තරම් ය. ඉන්දියානු ජ්‍යොතිෂ්‍යයට අනුව චන්ද්‍රග්‍රහණයක් ඇතිවන කාලසීමාව ගැබිනි මවකට තම දරුවාගේ ආරක්ෂාව ගැන සිතා කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇත. මෙය තාර්කිකව විමසා කොතෙක් දුරට හරිද වැරැදිද යන්න සෙවීමට වඩා හැකි අයුරින් තම දරුවා රැක ගැනීමට මේ ආරක්ෂක උපක්‍රම ඔබට භාවිත කළ හැකිය.

 

මේ වසරේ දී ග්‍රහණ හතරක් සිදුවන බව පැවසේ. ඉන් දෙකක් චන්ද්‍රග්‍රහණ වන අතර අනෙක් ග්‍රහණ දෙක සූර්යග්‍රහණ වේ. මේ වසරේ ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය වෙසක් සඳ උදාවීමත් සමඟම සිදුවේ.

පැරැණි ජ්‍යොතිෂ්‍ය විශ්වාසයන්ට අනුව රාහු සහ කේතු යනු අසුබ ග්‍රහයන් වේ. පුරාවෘත්තයට අනුව වරක් රාහු (අසුර) සහ දෙවියන් (සුර) අතර ආරවුලක් ඇතිවූ අතර ඔවුන් දෙදෙනාම අමරණීය භාවය ලබා ගැනීම සඳහා අමෘතය ලබා ගැනීමට කැමැති විය. විෂ්ණු මෝහිනී ලෙස සැරසී රාහු ආලයෙන් මත්කොට ඔහුගෙන් අමෘතය සෙරකම් කළ විට රාහු තීරණය කළේ දෙවියන් රවටා නැවත අමෘතය ලබා ගැනීමටයි. එබැවින් ඔහු දෙවියකු ලෙස වෙස්වලා ගනිමින් අමෘත බිඳුවක් ලබා ගැනීමට ඔහුගේ වාරය එනතෙක් බලා සිටියේ ය. ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් සූර්යයා සහ චන්ද්‍රයා ඔහු හඳුනාගත්තේය. විෂ්ණු රාහුගේ හිස දෙපලු කර දැමූ අතර එමඟින් ඔහු රාහු සහ කේතු ලෙස දෙකට බෙදී ඇත. සූර්යයාගෙන් හා චන්ද්‍රයාගෙන් පළිගැනීමට රාහු දෙදෙනාටම සෙවණැල්ලක් හෙළීමට තීරණය කළේය. මෙය සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ලෙසින් හැඳීන්වේ. විශේෂයෙන් ම ගැබිනි කාන්තාවන්ට හානිකර වන අසුබ කාලයක් ලෙස ග්‍රහණ කාලය සැලකීමට මෙම ප්‍රවාදය ද හේතු වේ.

සූර්යග්‍රහණ මෙන් නොව, චන්ද්‍රග්‍රහණ පියවි ඇසින් නැරඹීමේ හැකියාව ඇත. මේ සඳහා ඔබට දුරදක්නය, දුරේක්ෂය වැනි උපකරණ වුව ද භාවිත කිරීමේ හැකියාව පවතී. එක් එක් සංස්කෘතීන්ට අනුව චන්ද්‍රග්‍රහණ ගැන සුබ අසුබ විශ්වාසයන් පවතී. ඉන්දීය සංස්කෘතියට අනුව නම් ගැබිනි කතුන් ග්‍රහණ අවස්ථාවක දී ඍජු ලෙස සඳ කිරණට හෝ සූර්ය කිරණට විවෘත නොවිය යුතු යැයි සඳහන් වේ. එසේ වුවහොත් එහි බලපෑම කුස තුළ සිටින දරුවාට තොලක විකෘතිතාවක් හෝ උපන් ලපයක් ඇති වීමෙන් සිදු වන බව පැවසේ. නමුත් මෙම කරුණු විද්‍යාත්මක පරීක්ෂණ මඟින් ඔප්පු කළ ඒවා නොවේ.

ඔබ ගැබිනි මවක් නම් චන්ද්‍රග්‍රහණ කාලයේ දී ඔබ ආරක්ෂිතව සිටිය යුතු ආකාරය පිළිබඳ පියවර කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

* ග්‍රහණය නිම වන තෙක් නිවෙස තුළට වී සිටින්න.

* ජ්‍යෙතිෂ්‍යාස්ත්‍රයට අනුව ගැබිනි කාන්තාවන් ලෝහ වලින් තනන ලද පළඳනා, කොන්ඩාකටු ආදිය පැළඳීමෙන් වැළකී සිටිය යුතුය.

* පිසූ ආහාර සියල්ල ග්‍රහණයට පෙර ආහාරයට ගෙන අවසන් කළ යුතුය. මන්ද ග්‍රහණයෙන් පසුව එම ආහාර භාවිත කිරීම සුදුසු නැති බැවිනි.

* මෙම ග්‍රහණ කාලය තුළ දී ගර්භණී කාන්තාවන් වැඩවල නිරතවීම සුදුසු නොවන අතර විවේකයෙන් සිටිය යුතුය.

* ග්‍රහණ කාලය තුළ දී කිසිවක් ආහාරයට ගැනීම හෝ පානය කිරීම සුදුසු නොවේ.

* සියලු දොර ජනෙල්, ග්‍රහණ කිරණ ගැබිනි මවගේ කාමරයට නොඑන සේ ඝන තිර රෙදිවලින්, පත්තර කඩදාසිවලින් හෝ කාඩ්බෝඩ්වලින් ආවරණය කළ යුතුය.

* ග්‍රහණය නිම වූ පසුව ස්නානය කිරීමෙන් ග්‍රහණයේ දී නිකුත් වූ දූෂ්‍ය කොටස් ඉවත්කර පිරිසුදු වීමට හැකිය.

මේ කරුණු විද්‍යාත්මකව සනාථ කිරීමක් සිදු කළ ඒවා නොවේ. එසේ වුවත් ඔබ කිරිකැටියෙකු දෝතට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් චන්ද්‍රග්‍රහණ අවස්ථාවේ දී තම වෘත්තියට බාධාවක් නොවන අයුරින් කටයුතු කළ හැකි නම් යහපත්ය.එසේ කිරීමට නොහැකි වුවද එය එතරම් කනස්සල්ලට කරුණක් කරනොගන්න. මන්ද සියලු දේ අපේ සිතට හා සිතුවිලිවලට යටත් වන බැවිනි. බලවත් වූ චිත්ත ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න. ඔබට ජයක්ම ලැබෙනු ඇත.

 

සටහන

අයන්ති උඩුගම්පල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.