ගුරු මණ්ඩලය කියන ජීවිත රහස්

මැයි 12, 2023

 

අප ජිවත් වන්නේ අනන්තවත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. සමහර බලාපොරොත්තු ඉටු වන අතර සමහර බලාපොරොත්තු ඉටුවන්නේ නැත. ඉටුවන බලාපොරොත්තු නිසා අපි සතුටටත් ඉටුනොවුන බලාපොරොත්තු නිසා දුකටත් පත්වෙමු.

 

අපේ අරමුණු කරා ළඟාවීමට තමාගේ අභ්‍යන්තරය ගැන හැඳින ගැනීම ප්‍රතිඵලදායකය. ඒ සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය ඉතා විශිෂ්ට ලෙස උපයෝගි කරගත හැකිය.

හස්ත රේඛා ශාස්ත්‍රයේදි ඵලාපල කථනය සඳහා මණ්ඩල ඉතා වැදගත් වේ. අත්ලේ ප්‍රධාන මණ්ඩල හතක් ඇත. ඒවා නම් ගුරු, ශනි, රවි, බුධ, කුජ, චනද්‍ර, සිකුරු,ලෙස නම් ලබයි. මෙම මණ්ඩල අතුරින් තමාගේ තත්වය පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලය මඟිනි. ජීවන රේඛාව ආරම්භයේ දබර ඇඟිල්ලේ සීමාව අතර වු කොටස ගුරු මණ්ඩලයට අයත් වේ. සදාචාරත්මක බව පවිත්‍ර ආදරය පිළිබඳ හැඟිම, කීර්තිය, දයාව, අනුකම්පා සහිතව තීරණය ගැනීමේ හැකියාව, සැමට සෙත සැලසීමේ ගුණය සහ ආගම දහමට ළැදියාව මේ මණ්ඩලය සතු ගූණාංග වේ. විශාල ප්‍රදේශයක මෙම මණ්ඩලය පැතිරි ඇත්නම් මනුෂ්‍යත්වය අගය කරන සමාජශීලි පුද්ගලයෙකි ප්‍රබල ගුරු මණ්ඩලයක් ඇති පුද්ගලයා වසනාවන්ත වන අතර විනිශ්චයකාරවරුන්, කායික වෛද්‍යවරුන් මෙන්ම ලෝ පතළ පූජකයින් බවට පත්විය හැකිය. ප්‍රබල ආත්ම විශ්වාසයක් ඇත සෞඛ්‍යසම්පන්න වන අතර ශබ්ද නඟා කථා කිරිමේ හැකියාව ඇත.

එමෙන්ම ගුරු මණ්ඩලය බලවත් ලෙස ඇති පුද්ගලයින් දිප්තිමත් ඇස් සහිත තේජවන්ත ප්‍රීතිමත් අයවේ. ඔවුන් ප්‍රමාණානුකූල අඟපසඟකින් යුතු ශරීරයකට හිමිකම් කියයි. ක්‍රිඩා හා බාහිර කටයුතුවලට ඇල්ම හා දක්ෂතාවය ඇති අනාගතය ගැන සිතා බලා වැඩ කරන පරාර්ථකාමී සත්‍යවාදි අවංක පුද්ගලයින් වේ. අනාගත සිදුවීම් ගැන දැනීම ලබයි. යම් දෙයක් ගැන සෑම අංශයෙන්ම සිතා බලන නුවණක් ඇති අන්‍යයන්ගේ දියුණුව අපේක්ෂා කරන ආත්මාභිමානය ඇත්තෙකි. බාහිර පෙනුමින් ද ආකර්ෂණීයත්වයක් ඇති හෙයින් ජනප්‍රියත්වයට පත්වන්නෙකි. ධාර්මික කාර්යයන්හි නියුතු වන ප්‍රභූන් ඇසුරු කරන්නෙක්ද වේ. අවශ්‍ය අවස්ථාවේදී නොමසුරුව මුදල් වියදම් කරන පාලන ශක්තිය ඇති බුද්ධිමත් අයෙකු වේ. විවාහයට අපේක්ෂා කරන්නේ ද තමාගේ තත්ත්වයට ගැළපෙන්නකි. ගුරු හෝ සිකුරු මණ්ඩල බලවත් කාන්තාවක් මොවුන්ට හොඳින් ගැළපේ. එසේ නැතිවුව හොත් දෙදෙනා අතර සිත් බිඳීම් හා කලකිරීමට හේතුවේ. ගුරු මණ්ඩලය බලවත් දැරිවියක් නම් ඉක්මනින් වැඩිවියට පත්වී සුදුසු වයසේදි විවාහ දිවියට ඇතුළු වේ.

ගුරුමණ්ඩලය යටට ගිලී පිහිටි අත්ල සහිත පුද්ගලයා දුබල ගුරු මණ්ඩලයක් හිමි අය ලෙස නම් කළ හැකි අතර මොවුන් අනෙකා පාලනය කිරිමේ ආශාව ඇති නමුත් ඒ සඳහා හැකියාවක් නැති පුද්ගලයන්ය. සිත් ඇද ගන්නා සුලු පෞරුෂයක් නොමැති අයවේ. අශිෂ්ට උඩඟු කුහක නිශ්ඵල ක්‍රියාකරන, පසුව පසුතැවිලි වන අරපිරිමැස්මක් නැති කළ නොකළ සෑම දෙයක් කෙරෙහිම පසුතැවිලි වන කෙනකි. ආත්ම ගෞරවයක් නැති ඉක්මනින් කෝපයට පත්වන පුද්ගලයන්ය. කපටි වංචා සහගත සිත නිසා කළහාකාරි ක්‍රියාවන්ට මැදි වේ.

ගුරු මණ්ඩලය මත සමචතුරස්‍රයක් පිහිටීමෙන් පුද්ගලයා අනතුරුවලින් ආරක්ෂා වේ. තමාගේ පෞද්ගලික සහ වෙළෙඳ කටයුතු හොඳින් තේරුම් ගෙන සැලසුම් සහගතව පවත්වා ගැනීමට හැකියාව ලැබේ. මනා සංවිධාන ශක්තියක් ඇති රජයේ උසස් නිලධාරින් හොඳ දේශපාලනඥයන් බවට පත් වන්නේ ගුරු මණ්ඩලය මත ත්‍රිකෝණ සලකුණක් පිහිටීම නිසාය. තරු සලකුණද ගුරු මණ්ඩලයට යහපත් සළකුණකි. එහෙත් ඒ පිහිටීම අනුවය. ගුරු මණ්ඩලයේ තරු සලකුණ ප්‍රබල ශීර්ෂ රේඛාවක් සමඟ පිහිටීම වේගවත් ප්‍රසිද්ධියක් ලැබීමට හේතුවේ. තමාගේ දියුණුව තරු ලකුණ පිහිටි ස්ථාන අනුව තිරණය කළ හැකිය. මණ්ඩලයේ යට කොටසේ තරු සලකුණු මුල් කාලයේද මැද ඇති විට මැද කාලයේද ඉහළ ඇති විට අවසාන කාලයේද දියුණුව ඇතිවේ. ජීවන රේඛාව තරු ලකුණකින් මේ මණ්ඩලයේදි ආරම්භ වුණොත් අදාළ පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් නැදෑයින් දියුණු වේ.

තවද අත්ලෙහි දුර්වල ශීර්ෂ රේඛාවක් ඇති පුද්ගලයකුගේ ගුරු මණ්ඩලය මත තරු සලකුණක් පිහිටියෝත් හිසට තුවාල සිදුවීම, උගුර ආශ්‍රිතව ශල්‍යකර්ම සිදු කිරීමට සිදුවීම හෝ මහලු වියේදි දික්කසාද වීම සිදුවිය හැකිය. එමෙන්ම ගුරු මණ්ඩලයේ පිට දාරය ප්‍රදේශයට ආසන්නව තරු ලකුණක් ඇති විට ගින්නෙන් අනතුරු සිදුවීමට වැඩි ඉඩ කඩක් තිබේ. කතිරයද ගුරු මණ්ඩලයට යහපත් වන අතර ප්‍රීතිමත් වාසනාවන්ත විවාහයකට හිමිකම් ලබයි. කාන්තාවන්ගෙන් උදව් උපකාර නිරතුරුව ලැබෙන කාන්තාවන් අතර ජනප්‍රිය පුද්ගලයෙකි. දූපත ප්‍රබල ගුරු මණ්ඩලයේ බලය දුබල කරයි උසස්වීමේ ආශාව නැති කරන පිහිටිමකි.

විවාහ ජීවිතයේ කරදරකාරී තත්ත්වයන් ඇතිවන බව පෙන්වන තවත් සලකුණක් වන්නේ ගුරු මණ්ඩලය මත දැල් ලකුණක් පිහිටීමය. එසේම මොනයම් කටයුත්තක් සම්බන්ධයෙන් හෝ උනන්දුව හැසිරීමෙන් සහ කථාවෙන් පමණි. ගුරු මණ්ඩලය මත සෘජු රේඛා දේශපාලනික හමුදා ආගමික යන අංශවලින් ප්‍රධාන තැනක් ලබන බවට ලකුණකි. ගුරු මණ්ඩලය මත හරස් ඉර නායකත්වයට බාධාවක් වන අතර නායකක්වයක් ගැන ආශා නැත්තකු බව ද හඟවයි.

ගුරු මණ්ඩලය සමඟ ශනි මණ්ඩලය ප්‍රබල වු විට ඛනිජ විද්‍යාව සහ ආහාර පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. කර්මාන්තශාලා ප්‍රධානීන් දර්ශනය සහ සාහිත්‍යය පිළිබඳ දක්ෂ ගුරුවරුන්ගේ අත්වල ගුරු සහ ශනි මණ්ඩල ප්‍රබල වේ. හොඳ කළමනාකරුවන් සහ විනිශ්චයකාරවරුන් චිත්‍ර ශිල්පීන් ලෙස බිහිවන්නේ ගුරු සහ රවි මණ්ඩල බලවත් පුද්ගලයන්ය. ගුරු සහ බුධ මණ්ඩල බලවත් අය ව්‍යාපාරිකයන් නීතිඥයන් රක්ෂණ බැංකු ආශ්‍රිත විධායක ශ්‍රේණියේ රැකියාවලින් හමුවේ. හමුදා නිළධාරීන්, ගවේෂකයින් ගුරු සහ කුජ මණ්ඩල බලවත් වීමෙන් සහ ලේඛකයින් පුවත්පත් කලාවේදීන් ගුරු සහ චන්ද්‍ර මණ්ඩල බලවත් වීමෙන් බිහිවේ. හස්ත්‍ර රේඛා ශාස්ත්‍රයේදි මණ්ඩලවල ස්වභාවය හඳුනා ගැනීම නිවැරැදි පලාපල කථනය සඳහා ඉතාම වැදගත් වන බව ඉහත කරුණුවලින් තහවුරු වන අතර එමඟින් අපගේ අනාගත සිදුවීම් කල්තියා දැනගත හැකි මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් විපුල ඵල නෙලා ගත හැකිය.

ඉතිරි මණ්ඩල ගැන ඉදිරි සතිවලදී කියවමු.

 

 

සැලසුම් ශිල්පී, වාස්තු විද්‍යා සහ මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරීක්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.