ආයුර්වේදයේ ජීවන දර්ශනය

නොවැම්බර් 3, 2023

මානව ඉතිහාසය තුළ බිහිවූ විධිමත් වූත්, ශක්තිමත් පදනමකින් සමන්විත වූත්, මුල්ම වෛද්‍ය ක්‍රමය වශයෙන් ආයුර්වේදය හැඳින්විය හැකිය. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක් පමණක් ම නොව උසස් ජීවන දර්ශනයක් ද වේ.

 

ඉන්දියානු ඉතිහාසයට අයත් වෛදික යුගයේ පැවති ඍග්, යජුර්, සාම, අථර්ව යන චතුර්වේද අතුරෙන් අථර්ව වේදයේ උප වේදයක් වශයෙන් ආයුර්වේදය ලොව ව්‍යාප්ත වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ආයුර්වේදයේ මූලික පදනම වන්නේ වේදාන්ත තුළින් එළි දැක්වෙන පෙරදිග දර්ශනයයි. ඒ මත ගොඩ නැඟුණූ ආයුර්වේදයෙහි අඩංගු විෂය අන්තර්ගතය හා දැනුම් සම්භාරයේ පරාසය ඉතා විශාලය. එම දැනුම් සම්භාරය ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ වර්ග කර දැක්විය හැකිය. එනම්

1. ආයුර්වේදයට අනන්‍ය වූ විද්‍යාවක්

2. ජීවන දර්ශනයක් හෙවත් ජීවත් වීමේ ක්‍රමවේදයක්

3. අංග සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙනි.

ආයුර්වේදය පෙන්වා දෙන ජීව විද්‍යාව යන විශ්වයේ මිනිසා, තිරිසන් සතුන්, ගස්වැල්, ආදී සියලුම ජීවි හා අජීවි ද්‍රව්‍යයන්ගේ නිර්මාණය පැවැත්ම හා විනාශය සිදුවන ආකාර පිළිබඳව කෙරෙන විග්‍රහයයි. මේ විග්‍රහයෙන් ප්‍රකාශනය වනුයේ විශ්වයේ පවතින සදාතනික සත්‍ය ස්වභාවයයි. ඒ අනුව විශ්වයේ සෑම ද්‍රව්‍යයක්ම නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායු ආකාශ යන පංච මහා භූත සංයෝගයෙනි. ඒ අනුව මිනිස් සිරුර ද එම පංච මහා භූතයන්ගේ නිර්මාණයකි. එයට අමතරව මනස හා ආත්ම දෙක ද මිනිසා නිර්මාණයෙහිදී ඇතුළත්ව ඇත. මෙසේ නිර්මාණය වූ මිනිස් සිරුරේ සියලුම ක්‍රියාකාකරම් මෙහෙයවනු ලබන්නේ සිරුර තුළම අන්තර්ගත ජීව ශක්ති තුනක් විසිනි. ඒවා වාත (වා) පිත්ත (පිත්) කඵ (සෙම්) යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ අතරින් වඩාත් ක්‍රියාකාරි ශක්තිය වාතයයි. පිත්, සෙම් දෙක තුළින් භාවය පවත්වා ගනුයේත්, පිත් සෙම් දෙක සහ ශරීරයේ අනෙකුත් ධාතු හා මළ කොටස් මෙහෙයවනු ලබන්නේත්, වාතය විසිනි. අප ජීවත්වන විශ්වයෙහි ක්‍රියාත්මක වන සදාතනික ස්වභාවය ද මේ හා සමානය.

මිනිසා තිරිසන් සතුන්, ගස්වැල් ආදියට කරදර, හිරිහැර, ලෙඩ දුක් පීඩා ආදියෙන් තොරව නිරුපද්‍රිතව ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය වන සාධක තුනක් විශ්වයේ පවතී. ඒවා නම්

1.වාතය

2. හිරුඑළිය / තාපය/උණුසුම

3. ජලය /තෙතමනය/ සිසිලය.

 

ආයුර්වේද දර්ශනය අනුව මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ ද මේ සාධක තුනමය. වා, පිත්, සෙම් යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඒවා තුලිතව පවත්නා තාක් මිනිසා නිරෝගිව ජීවත් වේ. අසමතුලිත වූ කල්හි මිනිසා රෝගී වේ. රෝගවලට යොදා ගන්නා ඖෂධ ද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය විග්‍රහ කරනු ලබන්නේ “ද්‍රව්‍ය ගුණ විඥානය” නමැති විෂයය යටතේය. සෑම ඖෂධ ද්‍රව්‍යයක්ම මිනිස් සිරුර තුළ ක්‍රියා කරනු ලබන්නේ ඒ ඒ ද්‍රව්‍යයෙහි අඩංගු රස, ගුණ, වීර්ය්‍ය, විපාක හා ප්‍රභව යනුවෙන් ද්‍රව්‍ය ගුණ විඥාන විෂයයෙනි. විස්තර කෙරෙන ස්වභාවයන් අනුවය. මේවා ස්වභාවධර්මයේම පවත්නා අංග ලක්ෂණයන් මිස ස්වභාවධර්මය ඉක්මවා ගිය උපකල්පනයන් නොවේ. සාර්ථක වෛද්‍යවරයකු වීම සඳහා මේ විෂයය ගැඹුරින් හදාරා තිබීම අත්‍යාවශ්‍ය වේ.

ආයුර්වේද ජීවන දර්ශනයෙහි හෙවත් ජීවත් වීමේ ක්‍රමවේදයෙහි පෙන්වා දෙනු ලබන්නේ තුන් දොස් (වා, පිත්, සෙම්) විෂම වන ආකාරය සහ එසේ නොවීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍යමය උපදේශයන්ය. මනුෂ්‍ය වර්ගයාගේ පරම අපේක්ෂාව වන්නේ ධර්ම, අර්ථ කාම, මෝක්ෂ යන චතුර්විධ සම්පත් භුක්ති විඳීමය. රෝගී වීම එයට බාධාවකි. එහෙයින් මනුෂ්‍ය වර්ගයාගේ ස්වස්ථ භාවය ආරක්ෂා කිරීම කෙරෙහි ආයුර්වේදය වැඩි අවධානයක් යොමු කර ඇත.

රෝගීන් ගේ රෝග සුවකිරීමත්, අන්‍යයන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමත් ආයුර්වේදයේ මූලික පරමාර්ථ වුවත් ඒ අතරින් සෞඛ්‍යය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රමුඛත්වයක් දක්වා ඇති බව පෙනේ. ස්වස්ථභාවය හෙවත් සෞඛ්‍ය සම්පන්නභාවය වශයෙන් ආයුර්වේදයේ සඳහන් වනුයේ ශාරීරික, මානසික හා අධ්‍යාත්මික වශයෙන් ලබන පූර්ණ සුවපත් භාවයයි. අධ්‍යාත්මික සුවපත් භාවයකින් තොර මිනිස් සමාජයක් පූර්ණ සුවපත් සමාජයක් ලෙස ආයුර්වේදය පිළිගනු නොලබයි. ආයුර්වේද සෞඛ්‍යය ක්‍රමයෙහි සුවිශේෂි ලක්ෂණය ද එයයි.

ආයුර්වේදය තවදුරටත් විස්තර කරන අන්දමට මිනිසාගේ මානසික හා ආධ්‍යාත්මික සුවපත් භාවය රඳා පවතිනුයේ මිනිස් මනස මෙහෙය වනු ලබන මනසට අයත් “ගුණ” තුනක් මඟිනි. ඒවා

සත්ත්ව ගුණය, රජස් ගුණය, තමස් ගුණය යනුවෙන් නම් කොට ඇත.

මානසික හා අධ්‍යාත්මික සුවපත් භාවය ලබා ගැනීම සඳහා දියුණු කර ගත යුතු වන්නේ සත්ත්ව ගුණයයි. මනස සත්ත්ව ගුණයෙන් පෝෂණය වූ කල්හි බුද්ධිය, ස්මෘතිය, ප්‍රඥාව, කාර්යක්ෂමතාවය, නිර්මාශීලිබව, ගුණ ගරුකබව, දයාව, කරුණාව, පි‍්‍රයමනාප බව ආදි ගුණාංග සංවර්ධනය වේ. මනසෙහි රජස් ගුණය වැඩුණු කල්හි කලබලකාරිත්වය, නොරුස්නා බව , ඉක්මන් කෝපය ආදී තත්ත්වයන් ඇතිවේ. තමස් ගුණය වැඩුණු කල්හි බුද්ධි, ස්මෘති දෙකෙහි ඌණතාව මන්දගාමී වීම, උත්සාහය හා ධෛර්යය, නොමැතිවීම ආදී තත්ත්වයන් ඇතිවේ. එහෙයින් මිනිස් ජීවිත කාලය තුළදි මනසේ සත්ත්ව ගුණය වැඩි දියුණූ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ද ආයුර්වේදයේ පෙන්වා දී ඇත. එනම්

ඥාන, විඥාන, ධෛර්යය, දැනුම,

ස්මෘති, සමාධි වේ.

ආයුර්වේදය පෙන්වා දෙන අන්දමට ශාරීරික, මානසික හා අධ්‍යාත්මික සුවපත්භාවය අපේක්ෂාවෙන් සෞඛ්‍ය උපදේශ පිළිපැදිය යුතු වන්නේ මවු කුසෙන් බිහි වූ දින සිට නොවේ. නිරෝගී ප්‍රබුද්ධ දරුවකු මිනිස් සමාජයට බිහි කිරීම සඳහා දරුවා මවු කුසෙහි පිළිසිඳ ගැනීමට පෙර මීට මවුපිය දෙදෙනා සෞඛ්‍ය උපදේශ පිළිපැදිය යුතු බව ආයුර්වේදය පැහැදිලිව පෙන්වා දෙයි. දරුවකු මවු කුස තුළ පිළිසිඳ ගන්වා ගත යුතු වන්නේ අහඹු ලෙස නොව සැලසුම් සහගත ලෙස සහ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බව ලොවට ප්‍රථම වරට පෙන්වා දී ඇත්තේ ආයුර්වේදයයි. පින්වත් දරුවකු පිළිසිඳ ගන්වා ගැනීම සඳහා මවුපිය දෙදෙනාගේ බීජ සරු විය යුතු බව ආයුර්වේදය පෙන්වා දෙයි. එය ‘වාජීකරණ’ ප්‍රතිකාර ක්‍රමය වශයෙන් විස්තර වේ.

ශාරීරික නීරෝගීභාවය සඳහා ආහාරයෙන් පෝෂණය වන රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර සත් වැදෑරුම් ධාතු කොටස් තුලිතව පෝෂණය වීමද ශරීරයෙන් බැහැර විය යුතු මළ කොටස් විධිමත්ව බැහැර වීමද ශාරිරික සියලුම ඉන්ද්‍රියයන්ගේ නිවැරැදි ක්‍රියාකාරිත්වය ද අත්‍යවශ්‍ය වේ.

ඊට අදාළ වන්නා වූ ආහාර චර්යා, දින චර්යා, රාත්‍රී චර්යා, ඍතු චර්යා ආදී වත් පිළිවෙත් මෙන්ම නිරෝගී දිවි පැවැත්මක් සඳහා ගත යුතු ආහාර වර්ග, ආහාර මාත්‍රාව, ආහාර ගත යුතු නිවැරැදි වේලාව, ආහාර භෝජනය කළ යුතු ආකාරය, ආහාරයක තිබිය යුතු ගුණාංග ආදි වශයෙන් ආහාරය පිළිබඳ දක්වා ඇති උපදෙස් ප්‍රායෝගිකව ඉතා වැදගත්ය. එමෙන්ම දත් මැදීම, දිව මැදීම, උගුර සේදීම, ස්නානය, හිසතෙල් ගැල්වීම ආදි වශයෙන් ස්වස්ථතාවය සඳහා පෙන්වා දී ඇති උපදෙස් සංඛ්‍යාවද අති විශාලය.

ශිරෝධාර, ශිරෝවස්ති, සර්වාංගධාරා තෛල අභ්‍යංග, පිණ්ඩ ස්වේද, වාෂ්ප ස්වේද යනුවෙන් විස්තර වන්නේ එම ප්‍රතිකාර ක්‍රමයන්ය.

ශරීරය සහ මනස සැහැල්ලු කර නීරෝගි දිවි පෙවෙතක් ගත කිරීම සඳහා මේ ප්‍රතිකාර ද බෙහෙවින් ඉවහල් වන බව ආයුර්වේදයේ අපට පෙන්වා දෙයි. එමෙන්ම ඇතැම් රෝග සුව කිරීම සඳහා ද ඉහත කී ශෝධන කර්ම සහ දෙවනුව සඳහන් කළ ප්‍රතිකාර ක්‍රම යොදා ගන්නා ආකාරය ආයුර්වේද කාය චිකිත්සාවේ මැනැවින් විස්තර වේ.

මේ අනුව ආයුර්වේදය යනු වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව ඉතා ඵලදායි ජීවන ක්‍රමයක් ද වේ. වර්තමාන ලෝක ජනතාව හෘද් රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, පක්ෂඝාතය ආදි වසංගත නොවන රෝග ව්‍යාප්ත වීමේ තර්ජනයකට මුහුණ පා සිටී. දකුණු ආසියාතික රටවල එම තත්ත්වය වඩාත් බරපතළය. ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාව ද එම තර්ජනයට මුහුණ පා සිටිති. ඒ රෝගවලින් ජනතාව මුදවා ගැනීම සඳහා ක්‍රම ආයුර්වේද ජීවන දර්ශනයෙහි ඇතුළත්ව ඇත. සෞඛ්‍ය උපදේශ සමාජගත කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අද අත්‍යවශ්‍යව ඇත.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ඩී.ඩබ්ලිව්.ජේ සේනාරත්න

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්

(උතුරු මැද පළාත)

හිටපු අධ්‍යක්ෂ

ආයුර්වේද ශික්ෂණ රෝහල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.