අධි නීතිඥයකු බිහිකරන හස්ත රේඛා

නොවැම්බර් 1, 2024

මේ අත් සටහන බලන්න. හස්තරේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්නා අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට මේ මඟින් ඉගෙන ගත හැකි කරුණු බොහෝ ය. රූපසටහනේ මැද තිබෙන ශීර්ෂ රේඛාව අත්ල හරහා ගොස් ශාඛාවකින් යුක්ත වේ. මීට අමතරව බලන්න, ජීවන හෙවත් ආයුෂ රේඛාව ශීර්ෂ රේඛාව හා සම්බන්ධ නොවේ. මහපට ඇඟිල්ල කෙළින් පිහිටා ඇති අතර පළමු හා දෙවැනි පුරුක පළල් ය. මෙය අධිනීතිඥයනට පිහිටන බව හස්ත රේඛා මතයයි.

පහත රූප සටහනේ A A A සලකුණ දෙස බලන්න. මීට අමතරව රූප සටහනේ B B B  සලකුණු දෙස බලන්න. මේ ඕ සලකුණු මඟින් පෙන්නා ඇත්තේ ඉතා බලවත් බුධ මණ්ඩලයයි. මේ බුධ මණ්ඩලය තුළ ශාස්ත්‍රීය රේඛාවන් පිහිටා ඇත. ඒ සමඟම තවත් B සලකුණකින් පෙන්නා ඇත්තේ බලවත් රවි රේඛාවකි. තවද C සලකුණු මඟින් පෙන්නා ඇත්තේ මනාව සලකුණු වූ ගුරු මණ්ඩලයයි. මේ බුධ හා ගුරු හා රවි මණ්ඩලයක් බලවත් වීමෙන් කියැවෙන්නේ උගත්කම හා කථිකත්වයයි. මේ අත්ල හිමියා විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් ලබා ඇත. එහෙත් තවමත් අවිවාහකම සිටී. ඊට හේතු වී ඇත්තේ විවාහ රේඛාව කීප පොළකින් කැඩී තිබීමත් හෘදය රේඛාව දම්වැල් සහිතව දුබලව පිහිටීමෙන් ආදරය, ආලය සම්බන්ධ උනන්දුවක් නැතිකමත්ය. දැනට මංගල යෝජනා කීපයක් ආවත් ඒවා ඉෂ්ට නොවන බව හස්ත රේඛා විද්‍යාව ඉඟි කරයි.

මොහුගේ අත්ල පළල්ය. ඇඟිලි දිගය. ජීවන රේඛාව තරමක් සිහින් වන අතර කීප පොළකින් කැපී ඇත. මේ නිසා මේ අත්ල හිමි මහත්මාගේ ශරීරය මහතට වඩා උසින් වැඩියි. අඩි 6 ක් පමණ උස ශරීරයකි. ජීවන රේඛාවට ආසන්නව පළමු කුජ මණ්ඩලය තුළ ත්‍රිකෝණ හා කුජ රේඛාවන් කීපයක් වැටී ඇත. එය හදිසි අනතුරු මාරකවලින් බේරන යෝගයන් වන අතර කුඩා කල විවිධ රෝගාබාධ සතුරු පීඩා පැමිණ ඇත. කුජ පළමු මණ්ඩලය තුළදී ජීවන රේඛාවත් දෛවය රේඛාවත් කැපීපෙනෙන බැවින් තමා උපන් ගමෙන් පිට වාසය කිරීමටත් දේපළ විකුණා දැනට කොළඹ ප්‍රදේශයේ ජීවත් වේ. මේ අත්ලේ බුධ හා සුඛ රේඛාවන්ද වෙනම පිහිටා ඇත. මේ නිසාම තම වෘත්තියට අදාළ දැනුම කථිකත්වය ස්ථානෝචිත ප්‍රඥාව ලැබීමට බුධ මණ්ඩලයෙහි බලපෑමක් හේතුවී ඇති බව හස්තරේඛා ශාස්ත්‍රය උගන්වයි. විදේශගතවීමේ රේඛා කීපයක්ම සලකුණු වී ඇති අතර අත් සටහන් ගැනීමේදී ඇතැම් රේඛාවන් බොඳ වී ඇත. මේ නිසා මේ අයට නිතර විදේශ ගමන් යෙදෙන අතර පිටරට ඥාතීන් විශාල පිරිසක් සිටී. බුධ, ගුරු, සඳු, සිකුරු, ශනි මණ්ඩලවල ප්‍රබලත්වය මත මේ මහතා දනට පිනට දහමට බොහෝ වියදම් කරයි. නිහඬ ජීවිතයකට කැමති මේ මහත්මා බණ භාවනා ආදිය කර හිත තරමක් දුරට දියුණු කරගත් අයෙකුද වේ. ඉතා බලවත් යෝග ගණනාවක් හිමි මේ මහත්මා භාෂා කීපයක්ම ඉගෙන ගත් අයෙකි. ඡ්‍යොතිෂයද ඉගෙන ගෙන තිබේ. එතුමාගේ ඉල්ලීම පිට ඔහුගේ උපන් වේලාව සඳහන් කිරීමට හැකියාවක් නැත. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන හස්ත රේඛා ශාස්ත්‍රය මොනතරම් උසස් හා නිවැරැදි ශාස්ත්‍රක්‍රමයක් දැයි ඔබම වටහා ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.