ඇහිබැ‍ෙමන් හෙළි වන චරිත ලක්ෂණ

ජනවාරි 28, 2022

 

බැලූ බැල්මට කැපී පෙනෙන අංග ලක්ෂණයක් වූ ඇහිබැම ද දේහ ලක්ෂණ විද්‍යාවේදී විශේෂ ස්ථානයක් ගනී. කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම් කොටස්වල ක්‍රමික පැවැත්ම සඳහා සොබාදහම විසින් යොදන ලද රැකවරණ මහත් රාශියක් ඇති බව පෙනේ. ඇස්වල සුරක්ෂිතතාවය සඳහා නිර්මාණය වී ඇති ඇහිබැම ද එවැනිම ආරක්ෂිත උපක්‍රමයක් වෙයි. ඇස් බැමිවල පිහිටීම හා එහි විද්‍යමාන වන උත්පාත ලක්ණාදිය පරීක්ෂා කිරීමෙන් ද කෙනෙකුගේ ජීවන තොරතුරු දැනගත හැකිය.

 

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලළනාවන්ගේ දෙබැම දෙව්දුනුවලට සමාන කළහ. වත්මන් සමාජයේ ඇතැම් වනිතාවන් දෙව්දුනු වැනි ලස්සන දෙබැමක් ප්‍රදර්ශනය කරනු සඳහා බැම ආලේපනයක් පාවිච්චි කරන බව කවුරන් දන්නා කරුණකි.

කාන්තා රූසිරිය වර්ධනය කරවීමෙහිලා බැම යුග්මයට ඇති බලය කොතරම් ද යනු මේ කරුණු අනුව සිතා ගැනීම අපහසු නොවේ. නාරි දේහ ලක්ෂණ විද්‍යාව අනුව බලන විට දෙබැම ලකුණු අනුසාරයෙන් ගැහැනියකගේ ජීවන ප්‍රවෘත්තිය විනිවිද යන බැල්මක් හෙලීමට පුළුවන. එබඳු පරික්ෂණයකදී ඉහතින් දක්වන ලද “කෘත්‍රිම දෙබැම” ගැන ද විශේෂයෙන් විමසිලිමත් විය යුතුය .

සුනිල වර්ණ සුසිනිඳු රෝමයන්ගෙන් සුසැදි දෙව්දුනු හැඩය ගත් බැම යුග්මය ප්‍රශස්ත නාරි ලක්ෂණයක් බව ඍෂිවරුන් විසින් ප්‍රකාශිතය. ඉසුරුබර දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි එවැනි උත්තම ලක්ෂණ පිහිටන බව කියනු ලැබේ. ඇදක් නොමැතිව දෙපසට විහිද යන දෙබැම අසුබ ලකුණක් වන්නේය. කාන්තාවක කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලි පැවතුම් බොහෝවිට එවැනි අය කෙරෙහි දක්නට නැත. ප්‍රමාණයට වඩා ලොම් ඇති බැම යුගලය අනිෂ්ට ලක්ෂණයක් ලෙස දක්වා ඇත.

ඇස් බැමි දෙක එකට හාවීම ගැහැනියකට කොහෙත්ම සුදුසු නොවේ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැනි අවගුණ ඇති අය ඒවා සඟවා හොඳ මුහුණක් පිතට පෙන්වන්නීය. තම පුරුෂයාට පවා පහරදෙන දඩබ්බර ගැහැනුන් අප සමාජයේ සිටින බව නොරහසකි. එවැනි නපුරු ගැහැනු වැඩි දෙනෙකු කෙරෙහි මෙවැනි අසුබ ලකුණු පිහිටා තිබෙන බව පෙනේ. වෙනත් වාසනාවන්ත අංග ලක්ෂණ විද්‍යමාන නොවේ නම් එවැනි ස්ත්‍රීන් පාවා ගන්නා පුරුෂයන්ට ද යහපතක් නොවෙත්. වඳ ස්ත්‍රීන් කෙරෙහි එවැනි ලක්ෂණ දිස්වෙන බව පැරණි දේහ ලක්ෂණ විද්‍යා ග්‍රන්ථවල දක්වා ඇත.

අටවකදා සඳ මෙන් චක්‍ර හැඩයක් ගන්නා මධ්‍යම ප්‍රමාණයේ පියකරු බැමි යුග්මයෙන් යහපත් කුල කාන්තාවක් හඳුනාගන්න. කාගේත් ප්‍රසාදය හිමිකරගන්නා ඇය සැපවත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඇත්තීය. සමස්තයක් වශයෙන් බැලීමේදී එවැනි අය රාගාධිකය. එහෙත් හැඟීම්වලට වහල් නොවන ගතිය නිසා ආත්මගෞරවයට කැළල් කර නොගනී. බෙහෙවින් ඉදිරියට නෙරන ලද ඇහිබැමිවලින් ගුණ හීන කාන්තාවක් පෙන්නුම් කෙරේ. යහපත් හොඳ දෙයක් කළත් ඇය පිළිගනු ඇත්තේ වැරදි විදියකටය. එවැනි ගැහැනුන්ට උදව් කිරීමට ඉදිරිපත් වන පුද්ගලයින් ද අපි‍්‍රය කරන්නේ ඒ නිසාය.

දෙබැම මධ්‍යයෙහි සිනිඳු මාෂක ලකුණක් (ඉන්නෙක්) පිහිටීම ද උත්තම නාරි ලක්ෂණයකි. ජීවිතය දෙස ගැඹුරු දෘෂ්ටියක් හෙලන මොවුහු සෑම ප්‍රශ්නයක් පිළිබඳවම සාධාරණව බලා තීරණ ගනිති. සුහද ලීලාවෙන් අන්‍යයන් ඇසුරු කිරීමට හැකි වන්නේ සහජයෙන්ම පිහිටා ඇති ප්‍රගතිශීලී අදහස් නිසාය. මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුත් ඔවුහු අභිමානවත් පුද්ගලයෝය. බෙහෙවින් ගොරෝසු ලෝමවලින් ගැවසුණු දෙබැම ඇති පුද්ගලයා යහපත් කෙනෙක් නොවේ. කොතැනක ගියත් කා සමඟ හෝ අරගලයක් ඇති කරගැනීමට ඔවුන් උපන් සිහින් බැමි යුග්මයෙන් නියාළු පුද්ගලයා හඳුනා ගත හැකිය. එවැන්නන් කෙරෙහි ආත්මශක්තිය යන්තමින්වත් තිබේද යනු සැක සහිතය.

සමුද්‍ර ඍෂිවරයා විසින් ප්‍රකාශිත පරිදි දෙබැම ප්‍රදක්ෂිණා කරන සිනිඳු ලොම් සුළිය බොහෝ සුබ පල දෙන පිහිටීමක් වන්නේය. දෙබැම මධ්‍යයෙහි පිහිටියාවූ කළු පැහැති ලප කැළල ද හොඳ පිහිටීමක් බව එම ඍෂිවරයා විසින්ම සඳහන් කර ඇත. දෙබැම හාවු පුද්ගලයන් නූතන සමාජයෙහි ද කොතෙකුත් සිටිය හැකිය. ඍජු ප්‍රතිපත්ති ඇති එවැන්නෝ නිර්භීත ගති ඇත්තෝය. ඕනෑම කරුණකදී තම මතය නිවැරදි බව තහවුරු කිරීමට වෙර දරන ඔවුන් බොහෝවිට තමන්ගේම වාසිය සඳහා වෙහෙසෙනු දැකිය හැක. කඩින් කඩ කැඩී ගිය ආකාර දෙබැමින් අඩු ආයුෂ ඇති අයකු පෙන්නුම් කරයි.

ස්වල්ප රෝම ඇති කුඩා ඇස් බැම ඇති පුද්ගලයා ප්‍රයෝගයෙහි දක්ෂයෙකි. උගුල් අටවා අනුන් සතු දේ කඩා වඩා ගැනීමේ රුසියන් වන එවැන්නෝ තමන්ට අහිමි සම්පත් ගැන සිතමින් තැවෙන්නෝය. ප්‍රමාණයට වඩා දික්වූ ඇහි බැමද අනිටු ලකුණකි. අනවශ්‍ය දේවල් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන ඔවුහු හොඳ චරිත ඇති පුද්ගලයෝ නොවෙති. ඉතා දිගු ලෝම ගස් කීපයකින් සැදි ඉදිරියට නෙරන ලද ඇස් බැමි ඇති අයකු ඔබ ඇසුරට පත් වුව හොත් ප්‍රවේශම් විය යුතුය. වහා වෙනස් වන සුළු අදහස් ඇති ඔහු ඔබේ පරම සතුරකු වීමට ඉඩ ඇත.

පිරිමි අයගේ දකුණු ඇසේ බැම මත ඉන්නෙක් පිහිටීම සුබ ලකුණක් නොවේ. එවැනි අයට තම බිරිඳ සමඟ සමගියෙන් වාසය කිරීමට අපහසුය. වම් ඇහිබැම මත පිහිටි ඉන්නෙකුගේ සලකුණින් අප කීර්තියට පත්වන පුද්ගලයකු හඳුන්වා දෙයි. නිරන්තරවම පී‍්‍රති ප්‍රමෝදයෙන් කල් ගෙවන ධනවත් පුද්ගලයන්ගේ දකුණු ඇස් බැම මත ලපයක් පිහිටන්නේය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.