උමා ජ්‍යෝතිෂයෙන් ඔබේ ජය භූමිය සොයා ගන්න

මැයි 12, 2023

“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල් වට්ටි විසි නවයකුත් පූජා කරන එක හොඳයි. තමුන්ගේ අතේ රියනේ ප්‍රමාණයට රතු රෙදි කැබැල්ලක් අරගෙන කතරගම දෙවියන්ට පඬුරකුත් අයින් කරනවා හොඳයි. අර මල් වට්ටි ටික රතු මල් හොඳයි. පහන් ටිකත් තලතෙල්වලින්ම පත්තු කරනවනම් හොඳයි. තමුන්ට අඟහරු මහ දසාව තියෙන හින්දා.”

 

මෙවැනි කතාවක් හෝ කොටසක් ඔබේ සවනකට මේ දක්වා නොවැටී තිබෙන්නට ඉඩ නැත. මේවා සමහර විට ඔබ විශ්වාස කිරීමට ද, සමහර විටක විශ්වාස නොකිරීමට ද ඉඩ ඇත. එය ඔබේ දැනුම සහ අත්දැකීම් මත සිදුවන්නකි. එහෙත් ඔබේ දැනුවත්කම හෝ නොදැනුවත්කම ඔබ ජීවත්වනුයේ ස්වර විද්‍යාත්මක ලෝකයක් තුළය. සංඛ්‍යා විද්‍යාත්මක ලෝකයක් තුළය. ජ්‍යාමිතික ලෝකයක් තුළය. ඔබ අධ්‍යයනය කළ යුත්තේ එම සංඛ්‍යාත්මක, ස්වර විද්‍යාත්මක, ජ්‍යාමිතික ලෝකයෙන් ඔබට බලපෑමක් තිබේ ද නොතිබේ ද යන්නයි. එම දැනුමින් ඔබට ප්‍රයෝජනයක් වේ ද නොවේ ද යන්නයි.

ඔබ උපන්දා පටන් මැරෙනතුරාම සටනක් කරන බව යුදයක් කරන බව ඔබට නොහැඟුනේවීද? දරුවකු අපේක්ෂා කරන යුවළක් ඒ සඳහා කෙතරම් වෙහෙස වනවා ද, ආරක්ෂා වෙනවා ද, මව්කුසින් බිහිවන තුරු සිදුකරන හටන, යුද්ධය කෙතරම් ද ඊට පසුත් නීරෝගි සුවය වෙනුවෙන්, ඉගෙනුම වෙනුවෙන්, ඥාති සංග්‍රහ වෙනුවෙන්, ක්‍රම ක්‍රමයෙන් උසස් ඉගෙනුම, කුසලතා, රැකියාව, විවාහය, උසස්වීම් ආදී සියල්ල වෙනුවෙන් යුද කරන බව ඔබ නොසිතුවේ ද? මේ යුදයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ඔබට ඒ ඒ විෂයන් උපකාර වන්නේ නොවේද?

ඉදින් අප මාතෘකා කෙරෙනුයේ මෙකී සංඛ්‍යා විද්‍යාත්මක, ස්වර විද්‍යාත්මක ජ්‍යාමිතික ලෝකයේ සංකලනය පිළිබඳවයි. එය ජීවිත සටනට සමානය. එය ද ඔබේ පිළිබිඹුවකි. බෝධින් වහන්සේට පූජා කරන්න. එය ඔබගේ ආගමික සංස්කෘතික ලක්ෂණ අනුව මෙසේ වෙනස් කළ හැකිය. රතු ඉටිපන්දම් 29ක් සහ රතු මල් පොකුරක් අඟහරුවාදාවක ඔබේ දේවස්ථානයට පූජා කරන්න. වැදගත් වනුයේ සංඛ්‍යාවය, ස්වර සංකලනය, ඒ තුළින් සකස් කෙරෙන භව ශක්ති කදම්භයේ ජ්‍යාමිතික රූපයය. මෙවැනි ක්‍රියාවකින් පූර්ණ ප්‍රතිඵල නෙලා ගැනීමට නම් “ජය භූමිය” ප්‍රධාන වන්නේමය.

ජයභූමිය

 

සිංහල උමා ඡ්‍යොතිෂයෙහි, උමා හෝරා ශාස්ත්‍රයෙහි, ඛේචරී න්‍යායෙහි එන ජයභූමි සංකල්පය සරල නොවේ. ඔබට වාසනාව උදාකරගැනීම සඳහා, ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබේ ප්‍රශ්නයට ඉලක්ක කළ පිළිතුරක් ලබා ගැනීම උදෙසා ඔබ යා යුතු දිසාව ජය භූමියෙහි එක් සංකල්පයකි. ඔබ භාවිත කළ යුතු පංච මහා භූතාත්මක ද්‍රව්‍ය සංකලනය තවත් සංකල්පයකි. ඔබේ ප්‍රාර්ථනය සිදුකළ යුතු ආකාරය තවත් සංකල්පයකි. මේ සියල්ල සිදුවීමකි. ඉවෙන්ට් එකකි. එය පලදායක කර ගැනීමට නම් ‘කාලය’ සුවිශේෂී ආධාරකයකි. ඔබ ඔබගේ සිද්ධිය සහ කාලය නිවැරැදිව කළමනාකරණය කර ගත්තේ නම් එය ඔබේ ජය භූමිය වනු ඇත. අංගම් පොර ශාස්ත්‍රයේදී අඩි පෙරළුව වේ. එය ද ජය භූමියකි. ඒ සියල්ල තුළ සියල්ල ඇත. සියල්ල ඇත යැයි කීවේ සියලුම ඡ්‍යොතිෂ විද්‍යාත්මක සංකල්ප ඇති බවය.

දෛනික අවශ්‍යතාවලදී ඔබේ ජයග්‍රාහී සංඛ්‍යා, ජයග්‍රාහී වර්ණ, ජයග්‍රාහී සංකල්ප භාවිත කරමින් කිසියම් ප්‍රගතිශීලී බවක් අත්විඳීමට හැකියාව තිබෙන අතර නිසි උපදෙස් නිසි ආකාරයකට ගෙන ක්‍රියා කළහොත් සමහර කරුණු සඳහා නිශ්චිත ප්‍රතිඵල පැය 72ක් තුළ ලැබෙනු නොඅනුමාන කිසියම් දුරකට දිනීමට හෝ උපකාරයක් වන්නේමය. අප ඒවා ප්‍රායෝගිකව අත් විඳ ඇත්තෙමු. ඔබට ද අපට ද ඒවා අත්හදා බැලිය හැකිය. ලෝකයේ කිසිවක් ඒක හේතුක නොවේ. එහෙයින්ම ඒක හේතුක සංකල්ප පුද්ගල සංතානයේ නිර්මාණය වීම ප්‍රගතිශීලී නොවනු ඇත. ඉදින් මෙම සටන ජයගන්නා භූමිය “ජයභූමිය” වනු ඇත. ඒ සඳහා ඔබට “ජයභූමි ශාස්ත්‍රය” උපකාර වනු ඇත. ජය භූමි ශාස්ත්‍රය වනුයේ “උමාහෝරා ශාස්ත්‍රයෙහිය.” හෝරා ශාස්ත්‍රය යන වදන “ඡ්‍යොතිෂය” සඳහා පර්යාය වෙයි. එනයින් මෙය උමා ඡ්‍යොතිෂය නමින් මහරට පැමිණ ඇත. ශාස්ත්‍රීය වශයෙන් මෙම ශාස්ත්‍රය සංස්කෘත බසින් දී ඇති වදන වනුයේ “ඛේචරී න්‍යායයි.” වහරට කේචර ඡ්‍යොතිෂයයි.

ඔබේ ජය භූමිය කුමක්ද? පෙර කියන ලද වයස අවුරුදු 29, පහන් 29, මල් වට්ටි 29, රතු රෙදි කෑල්ලයි, පඬුරයි, තලතෙල් බෝධි පූජා මේ සම්බන්ධතා මොනවාද පලදායකද ආදී නොයෙකුත් ප්‍රශ්න සමුදායක් ඔබේ සිතේ නැඟෙනු ඇත.

ජයග්‍රාහී සංකල්ප

ජයග්‍රාහී සංකල්ප බොහෝය. මේ අතර සංඛ්‍යා විශේෂිතය. වයසට සමාන සංඛ්‍යාව ප්‍රතිඵලදායකය. අර්ථ සිද්ධිය ගෙනේය යන්න මෙම විෂයෙහිදී විශ්වාස කෙරේ. එය විශ්වාසයක් පමණක්ම නොවන අතර ඊට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍ය ද එක්ව යෙදුණොත් ඉලක්ක කළ ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කර නොවේ. පහන් දැල්වීම නිසි අවබෝධයෙන් සිදු කළහොත් කුසලයක් ද වේ. දීප මෙන්ම පුෂ්ප, ගන්ධ, රස, සුවඳය සංකලනය වුවහොත් පංච මහා භූත ශක්ති ක්‍රියාත්මක වෙයි. ප්‍රාර්ථනා, වන්දනා, ගාථා ආදියෙන් ශබ්දය උපදී. ඒ අක්ෂර විද්‍යාවය. පදාර්ථ සහ ශක්තිය’ පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔබට ආරාධනා කරමි. ඔබේ අතේ රියනෙන්, හස්ත පරිමාණයෙන් පඬුරු බඳින රෙදි කැබැල්ල සකස්කරගනී. එය ඔබගේ නිවේදකයෙකි.

 

සංඛ්‍යාව වයස, ජය භූමිය සහ ඔබ

 

සිංහල උමා ඡ්‍යොතිෂයෙහි ජය භූමි සංකල්පය නිර්මාණය වීමේ දී ඔබට අයිති දිශාවක් වේ. ඔබට ජයගෙන දෙන දිසාවක් වේ. ඔයට ජය ගෙනදෙන දවසක් වේ. එය තීරණය වන සාධක ගණනාවක් වන අතර සරලව සහ සංකීර්ණව ඒවා ගණනය කරනු ලැබේ. එය සමහර ගණනය කිරීම් සරලය. “ලේක්හවුස් ආයතනය කොළඹ ඇත” යැයි කී පරිද්දෙනි. එය කොළඹ ඇති බව සැබෑය. කොළඹ කුමන ස්ථානයකදැයි නොදන්නා බැවිනි. සමහර ගණනය කිරීම් එහි ලිපිනය ද සඳහන් කර ඇති පරිදිය. එහෙත් එම ආයතනයේ පිවිසුම් දොරටුව මේය. සැලසුම මේය යනාදි වශයෙන් සිදුකරන ගණනය කිරීම්ද ඇති බව ඔබ දත යුතුය. ඔබේ නම අනුව ඔබේ උපන්දිනය අනුව, ඔබේ ගම සහ නම අනුව, ඔබේ කේන්ද්‍රය අනුව ඉහත කී සියල්ල සමඟ ඔබේ ජයභූමිය ජය දිශාව තීරණය කරන ආකාරය වෙනස්වනු ඇත. මේ සඳහා ඔබ පළමුව ඔබේ “යෝනිය” සොයා ගත යුතු ය.

 

ප්‍රධාන යෝනි අටි

 

මෙහිදී ඔබ උපන් නැකතට හිමි යෝනිය පිළිබඳව නොවිමසන අතර ඔබේ නම අනුව නිර්මාණය වන යෝනිය සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත. නම අනුව උපදනා ආකාරයන් ද බොහෝය.

පළමුව සිංහල උමා ඡ්‍යොතිෂයි ජය භූමි ශාස්ත්‍රය තුළ සාකච්ඡාවකට ලක්වෙන ප්‍රධාන යෝනි අට නම් වශයෙන් හඳුනා ගැනීම සුදුසු වේ. එහිදී,

1. ගුරුලු යෝනිය

2. බළල් යෝනිය

3. සිංහ යෝනිය

4. දිවි යෝනිය

5. නාග යෝනිය

6. මී යෝනිය

7. ගජ යෝනිය

8. මුව යෝනිය යන යෝනි අට ප්‍රධාන වේ. පසුව මෙම යෝනි නාමයන් තවදුරටත් යෝනි පහකට ද යෝනි දෙකකට ද බෙදා වෙන් කරනුයේ අද්විතීය ශාස්ත්‍ර නියමයන් පරිද්දෙනි.

ජය භූමිය සොයා ගන්නා අයුරු ලබන සතියේ

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.