ඔබටත් ගැස්ට්‍රයිටීස් ද?

මාර්තු 24, 2023

 

බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ. අම්ලපිත්ත යනු වැරැදි කෑමබීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හටගන්නා රෝගයකි. රෝග ලක්ෂණ පහළවීමත් සමඟ අම්ල පිත්ත රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් රෝගය වැඩි කලක් පැවතීම නිසා ආමාශයේ ඇතුළත පවතින සෙම් සිවියට හානි වීමෙන් ආමය තුවාල හට ගනී.

 

බඩගිනි ඇති වීම සඳහා හේතු වන ආමාශය ආශ්‍රයෙන් වා, පිත්, සෙම් යන දෝෂ තුනෙන් පිත් දෝෂයෙහි භෞතික ගුණය හා ක්‍රියාව නිසා අම්ලපිත්ත ඇතිවේ.

මෙම රෝගයේදී ආමාශයේ ඇතුළත සෙම් සිවියෙහි ඉදිමීම රතුවීම ආදී ලක්ෂණ හට ගන්නා අතර, වෙනත් ශාරීරික ලක්ෂණද හට ගනී.

රෝග ලක්ෂණ

 

අම්ලපිත්ත රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස රෝගියාට බඩදැවිල්ල, ඇතැම් විට බඩේ වේදනාව තිත්ත රසට හෝ ඇඹුල් රසට පිත උගුරට ඒම, බඩ පුරවා දැමීම, තෙල් පිටවීම ආහාර අරුචිය ඇතැම් විට වමනය, පපු ප්‍රදේශයේ පවතින දැවිල්ල යන වේදනාවන් ඇතිවේ.

අම්ලපිත්ත රෝගය සඳහා පිත් දෝෂයේ බලපෑම ප්‍රකටව පවතින බැවින් තරුණ වයසේ පසුවන්නන් හට මෙය බහුලව ඇති වන අතර, බාල සහ වැඩිහිටියන්ටද මෙම රෝගය හට ගනී.

රෝගයට හේතු

 

එදිනෙදා ජීවිතයේදී නිසි වේලාවට ආහාර නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. තවද අපගේ ආහාරයට අධිකව කුළු බඩු වර්ග එකතු කිරීම (සූදුරු මිරිස් ,අබ) අධික ඇඹුල් රස ආහාර ( විනාකිරි, බිලිං, තක්කාලි) නිතර ගැනීම තෙල් ආහාර අධිකව ගැනීම අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිත කිරීම හා ශෝක,ක්‍රෝධ, ඊර්ෂ්‍යා යන මානසික හේතුන්ද බලපායි.

තවද තේ, කෝපි සහ ඇතැම් කෘත්‍රිම පැණි බීම නිතර ගැනීමත්, චොකලට් නිතර ආහාරයට ගැනීමත් මෙම රෝගයට හේතු වේ. මෙයට අමතරව වෙනත් ශාරීරික රෝග අවස්ථා සඳහා ගනු ලබන වේදනා නාශක ඖෂධද මෙම රෝගාරම්භයට හේතු පාදක වන අතර, ඖෂධ භාවිතය අත්හළ විට ක්‍රමයෙන් රෝග ලක්ෂණද පහවී යයි.

මෙම කරුණු මුල්කර ගෙන රෝගය ඇති වූ පසු නිසි වේලාවට ආහාර ගැනීම රෝගය පාලනය සඳහා වැදගත් වේ. ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමු විය යුතුය.

 

බඩ දැවිල්ල වළක්වා ගැනීම

 

අම්ලපිත්ත රෝගයෙන් වැළකීම සඳහා

කෘත්‍රිම රසකාරක සහිත ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම.

පිරිසුදුව ආහාර පිළියෙල කර ගැනීම

නියමිත වේලාවට ආහාර ගැනීම

අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම්

මෙම ආහාර ඔබට නුසුදුසුය.

මස්වර්ග, තෙල් අධික ආහාර, කුළුබඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර, පාන් හෝ පාන්පිටිවලින් කරන ලද ආහාර (ඉඳිආප්ප), ආප්ප, කට්ලට්ස්, පැටිස්, රෝල්ස්, පේස්ට්‍රි, බනිස්) මෙම රෝගය පවතින කාලය තුළදී ගැනීම අම්ලපිත්ත රෝගීන්ට යෝග්‍ය නොවේ.

සුදුසු අත්බෙහෙත්

 

කැහිපිත්තන් කොළ කොටා වතුර ටිකක් දමා මිරිකා ගෙන කෝප්පයකට දමා ටික වේලාවක් තබා ජෙලි එකක් මෙන් මිදුණු පසු කෑමට ගන්න.

(ශීතකරණයේ තැබීම අවශ්‍ය නැත)

පොකුරු වද මල් පෙති පෙති ගලවා කන්න. වද මල් පෙති ගලවා උතුරන වතුරට දමා පීරිසියකින් වසා තැම්බුණාට පසු පෙරා පානය කරන්න.

කෝමාරිකා මදයේ සාරය හැන්දෙන් සූරා බිත්තර සාරු මෙන් වන විට මේස හැඳි 2ක් හිස් බඩ බොන්න. දවසට තුන් වරක් ගන්න.

හාතාවාරිය අල කෑමට ගන්න.

නෙල්ලි යුෂ පානය සුදුසුය

පැණි දොඩම් ඉස්ම මී පැණි සමඟ බීමට ගන්න. එළකිරි හෝ එළඟිතෙල් පානය ඉතා සුදුසුය.

කීකිරිඳිය තම්බා බීම හෝ යුෂ ගෙන එළකිරි මිශ්‍රකර බීම.

කෝමාරිකා මදය එළවළුවක් සේ උයා කෑමට ගන්න. ආමාශයේ ගලනාලයේ තුවාල සුවපත් වේ.

බෙහෙත් අනෝදා කොළ තම්බා වතුර බොන්න.

පොළොස් ඇඹුල් සාදා බත් සමඟ කෑමට ගන්න. මුංඇට පියළි කර බැද කැඳ මෙන් බීමට දෙන්න.

ආහාර ගැනීමට අපහසු නම් බැදිහාල් කැඳ පොරි කැඳ බීමට දෙන්න. පංචමූල ලඝු දාක්ෂාදී කෂාය මේස හැඳි 2 බැගින් උදේ, සවස බොන්න.

කැහිපිත්තන් කොළ කොටා මිරිකා ඉස්ම මිදෙන්නට තබා සීනි දමා කෑමට ගන්න.

කොහොඹ දලු කොටා මිරිකා ගත් ඉස්ම මේස හැඳි 2 ක් දිනකට දෙවරක් උදේ සවස පානය කරන්න.

කැරට්, ගොටුකොළ අමුවෙන් ආහාරයට ගන්න. පුහුල් යුෂ කෝප්ප 1/4ක් දිනකට පානය කරන්න.

 

අම්ලපිත්ත රෝගීන්ට සුදුසු ආහාර

 

එළකිරි පානය, මුං ඇට, කොළ කැඳ, පිපිඤ්ඤා , කැකිරි, කොමඩු, පුහුල්, නෙළුම් අල, කොහිල අල සහ කොළ,අළු කෙසෙල් ගෙඩි යනාදී ආහාර යෝග්‍ය වේ. තවද රෝගීන්ගේ ප්‍රධාන ආහාර වේල සඳහා බත් සමඟ එළවළු හෝ කුඩා මාළු ද එකතු කර ගත හැකිය.

මෙම රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පවතින හෙයින් සර්වාංග ආයුර්වේද වෛද්‍යවරයකු හමුවී සුදුසු උපදෙස් හා ප්‍රතිකාර ගත යුතුය.

 

අම්ලපිත්ත රෝගීන් මෙම උපදෙස් පිළිපැදීම උචිතය

 

බඩ පිරෙන තෙක් ආහාර ගැනීමෙන් වළකින්න. බඩගින්නේ නොසිටින්න.

බඩ හිස්ව පවතින විට එළකිරි හෝ ජලය පානයට ගන්න. සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. නිදි වැරීමෙන් වළකින්න. කිසිවකු හා තරහ නොවී සුහදව කටයුතු කරන්න.

 

උපදෙස්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

වෛද්‍ය සුජාතා පුෂ්පකාන්ති

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.