රුවැති ළඳුන් බිහි කරන ග්‍රහ බලපෑම්

පෙබරවාරි 5, 2021

යම් ස්ත්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කෙන්ද්‍රයේ පෙන්නුම් කර ඇති ග්‍රහ සංයෝගය හා ග්‍රහ දෘෂ්ටිවල බලවේගයන් අනුව ඇයගේ පෙර භවයන්හි කළ පින් හා පව් සටහන් වී ඇත. ස්ත්‍රී කේන්ද්‍ර පරීක්ෂාවේදී විශේෂයෙන් සඳු ගැන සැලකිල්ලක් දැක්විය යුතුය.

ස්ත්‍රියගේ රුව ලක්ෂණ ගති පැවතුම් හා අනෙකුත් ශරීරයේ වෙනස්කම් සඳුගේ පිහිටීම මත සිදු වෙයි. ඇය මෙලොව ජනිතවීමේදී ලග්න රාශිය හා සඳු හිමි රාශියක් වූයේ නම් එම ස්ත්‍රිය ස්ත්‍රීභාවය පෙන්නුම් කරයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රය සත්වන රාශියේ සුබ ග්‍රහයන් දෙදෙනෙකු සිටීම උතුම් ගති ඇති ලක්ෂණයක් වන අතර, සුබ ග්‍රහයින් තිදෙනෙකු තැන්පත් වී නම් එම ස්ත්‍රිය රජ බිසවකට සමාන ස්ත්‍රියක් වෙයි. ඉතා පියකරු රූප සම්පත්තියක් ඇති ස්ත්‍රියකගේ කේන්ද්‍ර සටහනේ බොහෝවිට සඳු උච්චව ඇත. එවැනි ළඳ දෙවඟනක් මෙන් ශෝභමාන වේ. ගුරු උච්ච හත්වැන්නේ සිටින විට ඉතා ගුණ යහපත් ගති ඇති තම ස්වාමිපුරුෂයාට දැඩි ආදර ගෞරවයක් දක්වන කීකරු භාර්යාවක් ද වේ. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ සඳු, සිකුරු දෙදෙන ස්ත්‍රීකාරක බලය ලැබූ මව්කාරක ග්‍රහයින් වෙති. මෙම ග්‍රහ යුවල උපතේ බලවත්ව සිටීම ස්ත්‍රියක් ගුණ යහපත්කමින් හා රූමත් බවින් අග තැන්පත්වීමට හේතුවේ.

ඇයගේ අංග ලක්ෂණ දේහ ලක්ෂණ විලාසිතාව ද මුවකමල, මොනරපිල වැනි කෙස්කලඹ, නාදලු වැනි දෙතොල් සිහිනිඟ තිසර තන, දුටුවන් මන බඳින කතා විලාශය මෙම ග්‍රහයින්ගේ ආකර්ෂණ බලය තුළ ගැබ්වී ඇත. ජීවශක්ති පදාර්ථය නියෝජනය කරන ජීව ග්‍රහයා රවිය. මෙම සඳු සිකුරු යෝගය තුළ රවි බලවත්ව උපතේ පිහිටා ඇත්නම් එම රවිගේ බලය තුළ ගැබ්වෙන සඳු සිකුරුගේ බලය ලද ස්ත්‍රිය රටක් රාජ්‍යයක් පාලනය කිරීම තරම් වාසනාව ඇති රූමත්කමින් ද, කා අතරත් ප්‍රසිද්ධ තැනැත්තියක් වේ. එසේම රවි බුධ යෝග බලය තුළ, සඳු, සිකුරු බලය ලබන ස්ත්‍රිය ඉගෙනීම හා නැණ නුවණ අතින් උසස් අධ්‍යාපනයක් ලබන විශ්වවිද්‍යාල මහාචාර්ය තනතුරක් දක්වා යෑමේ වාසනාව ලබන සුරූපිනියක් වෙති.

සඳු, සිකුරු යෝගය තුළට රවි, බුධ, ගුරු, කුජ, ශනි සංයෝගය ආවිට සඳු සිකුරු ලග්නගත යෝගයෙන් උපත ලැබූ කාන්තාව පතිවෘත්තාව ආදි ගුණධර්මවලින් පිරුණ මනා බුද්ධියක් ඇති දැඩි ආත්ම සංයමයක් ඇති උගත් අයෙක් වේ. එමෙන්ම තම ස්වාමිපුරුෂයාට සැමියා ඇගේ දෙවියාය යන වැකිය ක්‍රියාවෙන් පෙන්නුම් කරන ස්ත්‍රියක් වෙයි.

ස්ත්‍රියකගේ රුව, සිරුර, සෞඛ්‍යය සහ ඇගේ ස්වභාවය පාලනය කරනු ලබන්නේ ලග්නයෙන්, රවිගෙන් ,සඳුගෙන් සහ සිකුරුගෙන් සත්වෙනි රාශිද සත්වෙනි රාශිවල සිටින ග්‍රහයින් ද සත්වෙනි රාශිය ඇසුරු කරනු ලබන ග්‍රහයන් ද විසිනි. සාමාන්‍යයෙන් ප්‍රබලම ග්‍රහයා සිකුරු හෝ ගුරු හෝ චන්ද්‍රයා වේ නම් ඇගේ වර්ණය පැහැපත් වන බව සඳහන් වෙයි.

අඟහරු ප්‍රබලම තත්ත්වයේ සිටී නම් වර්ණය රත්පැහැයට හුරු වනු ඇත. බුධ හෝ රවි ප්‍රබල තත්ත්වයේ සිටී නම් ඇගේ වර්ණය පැහැපත් හෝ අඳුරු හෝ නොවේ. සෙනසුරු හෝ රාහු හෝ කේතු හෝ ප්‍රබලත්වයට පත්වූ විට සමෙහි වර්ණය අඳුරු පැහැය ගනී. රවි ප්‍රබලම ස්ථානයේ සිටින විට ස්ත්‍රිය වයසට වඩා වැඩිමහලු පෙනුමකින් යුක්තව පෙනෙනු ඇත. ශරීරය මධ්‍ය ප්‍රමාණ වෙන අතර, සමේ වර්ණය දීප්තියෙන් තොර වේ. කටහඬ ද තියුණු බවක් පෙන්නුම් කරයි.

පුර පස සඳු ප්‍රබලව සිටින විට ස්ත්‍රියකගේ පෙනුම වඩා යහපත් වෙන අතර, ගතිගුණ හා ක්‍රියාකාරකම් බොලඳ වේ. අවපස සඳු ප්‍රබලත්වයට පත්වූ විට ඇය පෙනුමෙන් යහපත් නොවේ. ළමයෙකු මෙන් හැසිරෙන අතර, රෝගාබාධවලට ද ගොදුරු වනු ඇත. බුධ, ගුරු, සිකුරු ආදී ග්‍රහයින් ප්‍රබල තත්ත්වයට පත්වූ විට ස්ත්‍රිය ඉතා දැකුම්කලු ස්වරූපයක් ගනී. සෙනසුරු ග්‍රහයා බලමු ස්ත්‍රිය මහලු පෙනුමක් ගනී. වර්ණයෙන් ද අඳුරුය. එහෙත් ඇය සාමාන්‍යයෙන් බුද්ධිමත්ය.

දුබලත්වයට පත්වූ කේතු හෝ රාහු හෝ සත්වැන්නට පැමිණි විට මහලු හෝ දැකුම්කලු බවින් තොර ස්ත්‍රියක් වනු ඇත. කුරිරු ස්වභාවයෙන් ද යුතු වෙයි. සඳු හා ගුරු ආත්ම කාරක ග්‍රහයාගේ නවාංශක රාශියෙන් සත්වැන්නේ සිටින විට ද අය දැකුම්කළු සුරූපී තැනැත්තියක් වේ. සත්වැන්නාධිපති පාප ග්‍රහයෙකු සමඟ දුෂ්ට ස්ථානයක සංයෝගවී හෝ එවැනි ග්‍රහයෙකුගේ දෘෂ්ටියකට හසුවී සිටින විට ද ස්ත්‍රි රූපය පියකරු නොවේ. සත්වැන්නාධිපති සහ සිකුරු ඉරට්ටේ රාශිවල සිටින විට ද ස්ත්‍රිය රුවැති වුවත් එම ග්‍රහයින් ඔත්තේ රාශිවල සිටිනවිට ඇගේ පෙනුමෙහි සහ චරිතයෙහි වඩාත් ප්‍රකට වන්නේ පුරුෂ ලක්ෂණය.

චන්ද්‍රයා කුජ, බුධ, ගුරු යන ග්‍රහයන් සමඟ කටක රාශියට හෝ සත්වැන්නට පැමිණි විට උපන් ස්ත්‍රිය ස්වකීය රූපය හේතු කොටගෙන රජවරුන් පවා තම වසඟයට ගන්නීය. චන්ද්‍රයා විසින් දක්නා ලැබූ ෂඩ්වර්ණයෙන් පිරිසුදු වූ බ්‍රහස්පති ග්‍රහයා කේන්ද්‍රගතව සිටියදී උපත්ති මනා රූපයෙන් යුත් ධනවත්, ගුණවත් රජ බිසවක් සමානවන්නීය. ලග්නය කටකය වී සත්වැන්නේ රවි සිට බ්‍රහස්පති ග්‍රහයාගේ දෘෂ්ටි ලද්දේ නම් රූපශ්‍රීයෙන් අගතැන්පත්වූ ශිල්ප ශාස්ත්‍ර උගත් යහපත් දරුවන් ඇති රජ බිසවක් සමාන වන්නීය.

ලලනා රුව වැඩි කරන තවත් ග්‍රහයෝගයක් වනුයේ ලග්නය දෙවැන්න හා සඳු සිටි රාශිය යන ස්ථානයන් ද කේන්ද්‍රයේ දෙවැන්නෙන් ප්‍රකාශ වන්නේ කෙනෙකුගේ මුහුණ හා යහපත් කථාවයි. එහි සුබ ග්‍රහයන් විසින් දක්නා ලද දෙවැන්නාධිපති කේන්ද්‍රගතව ද, දෙවැන්නේ ශුභයන් ද සිටියදී උපන්නි දුටුවන් පි‍්‍රය කරන කතක් වෙයි. සර්වාර්ථ චින්තාමණියේ සඳහන් වන පරිදි කේන්ද්‍රයේ දෙවැන්න රූමත් මුහුණක් ඇතිවීමට ප්‍රධාන තැනක් ගන්නා බව කියැවේ. එමෙන්ම බ්‍රහස්පති හෝ සිකුරු උපන් ලග්නයේ හෝ දුටුකල්හි සත්වැන්න වන කන්‍යා රාශියේ බුධ ද මකර රාශියේ අඟහරු ද, චන්ද්‍රයා කටක රාශියේ ද සිටියොත් ඇය රූපශ්‍රීයෙන් බබලන රාජනියක් වෙයි. උපන් ලග්නය මීන ය වී එහි බ්‍රහස්පතිද, සඳු කටකයේ ද යෙදීම ලොව දහස් ගණනක් අඟනාවන් අතුරෙන් රාජකීය බවට පත්වීමට හේතුවක් වේ. ස්ත්‍රි කේන්ද්‍රයක තවත් වැදගත් පිහිටීමකි චන්ද්‍රයා කේන්ද්‍රගතව ලග්න ස්ථානයේ පිහිටීම. මෙසේ උත්පත්තිය ලබන ඇය ඉතා සෞම්‍ය ගතිවලින් යුතු වෙයි. එලෙසම රවුම් වටකුරු අත්පාවලින් යුතු පිරිපුන් දේහ ලක්ෂණ ඇතිවීමට ද හේතු වේ. තවද මෙවන් යුවතියන් කලා ලොවේ ද අගතැන්පත් තැනැත්තියක් ද වෙයි. සංගීතය, චිත්‍ර ශිල්පය, රංගනය වැනි ක්‍රියාවලදී ඉතා ඉහළ ස්ථානයක් හිමිකරගනී. මෙවැනි ස්ත්‍රින් කෙරෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් නම් ඒ හැම දෙයක්ම අභිභවා ඉදිරියට එන ස්වාමි භක්තියයි. මේ නිසා මෙවන් ස්ත්‍රියක් හා විවාහ වන පුුරුෂයා ඉතා වාසනාවන්තව ගෘහ ජීවිතය සැපවත් කර ගන්නා අතර, ඇය නිසා ඔහු ද සමාජයේ බබළන්නේය.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

මුල්ලේරියාව නව නගරය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.