පංචාංගයේ යෝග හා කරණවල ඇති බලය

මාර්තු 12, 2021

එදා පැරණි ඡ්‍යොතිෂ ඇදුරන් යෝගය හා කරණය උපරිම අයුරින් ඡ්‍යොතිෂ කටයුතුවලට යොදා ගැනිණ.

සිය කෘෂිකාර්මික කටයුතු, විවාහය, නිවාස සෑදීම, වෙළඳාම, ගමන් බිමන් මෙන්ම දෛනික රාජකාරී සඳහා ඔවුන් යෝග හා කරණ උපයෝගි කරගෙන සිය වැඩකටයුතු අතිශයින්ම සාර්ථක කර ගත්හ.

එහෙත් අද බොහෝ අය මේ යෝග කරණ ගැන අමතක කර තිබේ. දිනය, නැකත, තිථිය, යෝගය හා කරණය යන පංචාංගය ගැන අවධානය මුලින් ම යොමුවේ. දිනය හා තිථීය ගැන පමණක් ඇතැම් අය කටයුතු කරයි. යෝගය හා කරණය අතහැරදමා තිබේ. නැකැත් සෑදීමේත් කේන්ද්‍රකරණයේත් මේ දෙකම අනිවාර්ය වේ.

ඈත කාලයේ වෛද්‍යවරුන් ඡ්‍යොතිෂය හදාරා ඒ හරහා වෙදකම් කළහ. නැකැත් සෑදීමටත් කේන්ද්‍ර බැලීමටත් මල්වර පලාඵල ප්‍රකාශනයටත් කරණය ගත් විට විශාල මෙහෙවරක් ඉටු කිරීමට හැකි වේ.

කරණ 11 කි. චර තිර යනුවෙන් ප්‍රභේද දෙකකි. තිථියක් දෙකට බෙදීමෙන් කරණය සෑදේ. නැකැත් තිථි යෝග ආදිය මුළු දවස පුරාම පැවතියත් එක් එක් කරණයකට දවසම නොතිබීම එහිලා විශේෂ ලක්ෂණයකි. බව- බාලව - කෞලව - තෛතිල - ගරජ - වණිජ - විෂ්ඨි යැයි චර කරණ 7 කි. තිර කරණ වන්නේ කිස්තුංඝන - සකුණ - චතුෂ්පාද - නාග නමින් ය. කරණයට වාහන 10 කි. ව්‍යාඝ්‍ර, ඌරු, කොටළු, ඇත්, ගව, කුක්කුට, දිවි, මී ගව, වානරය වේ.

මේ අනුව බලන විට කරණ ගැන විමසා බලමු.

බව කරණය

පුර පෑළවිය, පුර අටවක, පුර පසළොස්වක, සතවක යන තිථිවල අපරාර්ධයේ ද පුර විසේනිය, පුර දොළොස්වක, අව ජලවක, අව එකළොස්වක යන තිථිවල පූර්වාර්ධයේද බවකරණය යෙදේ. මෙකාල පරාසය ඇතුළත ආගමික ස්ථාන ගොඩනැඟීම, අත්තිවාරම් හා මුල් තැබීම, නව කර්මාන්ත ඇරඹීමට සුබයි. ඉරිදා දිනක බව කරණය ඇති විටදී ගවයින්ගේ ලාඩම් ගැසීම, හංවඩු ගැසීම, පට්ටි දැමීමට ඉතාම සුබයි. ගවපාලනයට සුවිශේෂි වේ. පැරණි කිරි ගොවියන් ප්‍රථම වරට කිරි දෙවීමට මෙම බව කරණය යොදාගත් බැව් පෙනේ.

බාලවකරණය

පුර දියවක, පුර නවවක, අව අටවක, අව පෑලවිය යන තිථිවල පූර්වාර්ධයේ ද පුර විශේනිය, පුර දොළොස්වක හා අව ජලවක, අව එකොළොස්වක යන තිථීවල ද පූර්වර්ධයේ ද බාලවකරණය යෙදෙන අතර, පැවිදි කිරීම හා උපසම්පදා කටයුතුවලට සුබයි. ආධ්‍යාත්මික පැතිකඩක් නිර්මාණය වන්නේය.

කෞලව කරණය

පුර සටවක, පුර දසවක, අව දියවක, අව නවවක, තිථිවල පෙර කොටසේ ද පුර සටවක, පුර තෙලෙස්වක, අව විශේනිය, අව දොළොස්වක යන තිථිවල අපර කාලයේ තෛතිල කරණය යෙදෙන අතර යුගදිවි ඇරඹුමට සුබයි.

ගරජ කරණය

පුර සතවක, පුර තුදුස්වක, අව ශටවක, අවතෙලෙස්වක යන තිථිවල පෙර කොටසේ ද පුර තියවක, පුර දසවක, අවදියවක, අව නවවක යන තිථිවල අපර කොටසේ ද ගරජ කරණය යෙදේ. සියලුම කෘෂිකාර්මික වැඩකටයුතුවලට සුබයි. පැළ සිටුවීම, බීජ ඇට තවාන් දැමීම, පොහොර යෙදීම අස්වැන්න නෙළීම මෙන්ම බිම් හැඟුවේ සිට බිස්සට ධාන්‍ය පිරවීම සඳහා කෙරෙන සියලුම කටයුතුවලට යොදාගනු ඇත.

වණිජ කරණය

පුර ජලවක, පුර 11 වක, අව තියවක, අව දියවක යන තිථිවල පෙර කොටසේ ද පුර ශතවක, පුර තුදුස්වක, අව ශටවක, අව තෙළෙස්වක යන තිථීවල අපරාර්ධයේ ද වණිජ කරණය යෙදේ. ව්‍යාපාර කටයුතු, වෙළඳාම්, විහාර හා දේවාල වැඩවලට සුබයි. විශේෂයෙන්ම මුදල් අංශයේ වැඩවලට සුවිශේෂී වේ.

විෂ්ටි කරණය

පුර අටවක, පුර පසළොස්වක, අව සතවක, අව තුදුස්වක යන තිථිවල පෙර කොටසේ ද පුර ජලවක, පුර එකොළොස්වක, අව තියවක, අව දශවක යන තිථිවල අපරාර්ධයේ ද විෂ්ටි කරණය යෙදේ. යන්ත්‍ර, මන්ත්‍ර ගුප්ත විද්‍යා අංශයේ අණ වින හදි හූනියම් වැඩවලට ගනු ඇත.

ශකුණ කරණය

අව තුදුස්වක අපරාර්ධයේ යෙදේ. ග්‍රහ පූජා ශාන්ති කර්ම, ඖෂධ සෙවීම, ඖෂධ යෙදීම, බෙහෙත් කසාය උණු කිරීම තෙල් ආසව, ලේහ සෘත ආලේපන කිරීම්වලට යොදනු ඇත. ව්‍යාධි සමනයට යොදාගන්නේ ය.

චතුෂ්පාද කරණය .

හංවඩු ගැසීම, පට්ටි දැමීම, ගොන් කරත්ත බැඳීම, ලාඩම් ගැසීම, ගව පාලනය ඇරඹීමට යහපත් වේ. අමාවක පූර්වාර්ධයේද චතුෂ්පාද කරණය යෙදේ. විශේෂයෙන්ම ගවයින්ගේ ගෝරෝචන මහඟු ඖෂධය ගැනීම ද චතුෂ්පාද කරණ තුළ සිදු කෙරේ.

නාගකරණය

අමාවක කොටසට අයත්වේ. කඩු, හී, දුනු, පලිහ ආදිය තැනීමට, යුද පුහුණුවට, හරඹ ක්‍රීඩාවලට, විෂ ආයුධ නිපදවීමට යොදා ගැනේ. සටන් ක්‍රමයන්ට උපාදාන වේ.

ක්‍රිංස්තුංග කරණය

පුර පෑලවිය පූර්වාර්ධවයේ යෙදේ. සියලු සුබ වැඩකටයුතුවලට යහපත්ය.

පංචාංග ලිතේ කරණ ලබන ගෙවෙන කාල මානය ඇත. එයි දවසේ වැඩ කටයුතුවලට තෝරා ගත හැකි වේ.

යෝග හා කරණ ගැන මැනවින් අධ්‍යයනය කළ යුතු වේ. ඡ්‍යොතිෂය යනු එක් අංශයකින් ප්‍රයෝජන ගැනීමට හැකි නොවේ. විවිධ කරුණු ගැන සමානුපාතිකව ගෙන කටයුතු කිරීමට, නැකැත් සෑදීමට, සුබ වැඩවලට, පලාඵල කථනයට යෝග මෙන්ම කරණය යෝගි කර ගැනීමෙන් ඡ්‍යොතිෂමය කටයුතු අංග සම්පූර්ණ වන්නේ ය. සුබසෙත පාඨක හිතසුව පිණිස මෙසේ සනිටුහන් කර සිටිමු.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.