චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරු බිහි කරන ග්‍රහ යෝග

මාර්තු 26, 2021

මිනිසාට විමෝදාස්වාදයක්, පී‍්‍රතියක්, සැනසීමක් මෙන්ම දැනුමක් ලබාදෙන මාධ්‍යයන් අතුරින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි . මෙ නිසාම මෙම ක්‍ෂේත්‍ර වලට ප්‍රවේශවීමට තරුණ පරපුර දැඩිකැමැත්තක් සහ ඉහළ පරිශ්‍රමයක් දරයි .

එසේම ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ රූපවාහිනී නාලිකාවල තරු බිහිකිරිමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එවැනි වැඩසටහන් තුළින් විශාල පිරිසකට මෙම ක්‍ෂේත්‍රවලට ඇතුළුවීමට මෙන්ම තම ජිවිතය සාර්ථක කර ගැනීමට වාසනාව උදාවී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වානිජමය ප්‍රචාරණ කටයුතුවලද ඉහළ වර්ධනයක් දක්නට ලැබේ. වෛදික ඡ්‍යොතිෂයට අනුව මෙම

ක්‍ෂේත්‍රවලට ප්‍රවේශවීමට වාසනාව ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට බව පෙනෙන අතර, ඒ සදහා ජන්ම පත්‍රයේ සුවිශේෂි ග්‍රහ පිහිටීම් සමග සමිබන්ධ විශිෂ්ඨ හැකියාවන් තිබිය යුතුය. මෙම ලිපියේ අරමුණ වන්නේ එවැනි ඡ්‍යොතිෂමය යෝග්‍යතාවයන් හඳුන්වාදීමයි.

අනෙකුත් ක්‍ෂේත්‍රවලදී මෙන්ම ඉහත දක්වන ලද චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රවලදීද තරු හෝ ප්‍රවීණයන් වීමට නමි අවශ්‍යයෙන්ම ජන්ම පත්‍රයේ ලග්නය සහ ලග්නාධිපති බලවත්ව සහ දුර්විපාක දෙන ග්‍රහ දෘෂ්ඨියකින් තොරව පිහිටීම බෙහෙවින් අවශ්‍ය කරුණකි. ලග්නය බලවත් වූ විට ජන්මියාට ආකර්ශනිය පෞරුෂත්වයක් ලැබෙන අතර, එමගින් ඔහුට දිගුකලක් ප්‍රේක්ෂකයන්ගේ මතක සටහන් තුළ රැඳීසිටීමේ වාසනාව උදාවේ. විශේෂයෙන් ලග්නාධිපති 4, 7 , 10 හෝ 5 සහ 9 යන ත්‍රිකෝණ රාශිවල බලවත්වු සිකුරු සහ කුජ සමඟ සමිබන්ධවීමෙන් ඉහත ක්‍ෂේත්‍රවල ඉදිරියට යාමට ජන්මියාට වාසනාව උදාවේ.

ජන්ම පත්‍රයේ 2 වන සහ 3 වන රාශි ගත් විට වාග් චාතුර්ය හෝ කටහඬ මෙන්ම සන්නිවේදනයද නිවේදනය කරයි. මේ නිසාම මෙම රාශිවල අධිපතීන් ශුභදායක රාශිවල දුර්විපාක දෙන ග්‍රහ බලපෑමකින් තොරව පැවතීම බෙහෙවින් අවශ්‍ය වේ. මුහුණේ හැඩය,පෙනුම,මෙන්ම චර්ම වර්ණය යනාදිය 2 වැන්නෙන් ප්‍රකාශ වේ. 3 වැන්නේ බුධ ග්‍රහයා මුලිකවීමෙන් ජන්මියාට පිටපත් රචනා කිරිමේ හැකියාව සහ නිර්මාණාත්මක හැකියාව ලබාදෙයි,එසේම කටහඩෙහි ඇති ගුණාත්මක අගයද 3 වැන්නෙන් ප්‍රකාශවේ. 5 වැන්න වැදගත් වන්නේ විනෝදාත්මක කටයුතු සහ පරිවාර ජනයා නැතහොත් ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙනි,එසේම මෙමඟින් රංගන ශිල්පියකුගේ රංගන දක්ෂතාවය වටහා ගත හැකිය.යම්හෙයකින් 5 වැන්න, 10 වැන්න සමඟ ඡ්‍යොතිෂමය වශයෙන් සමිබන්ධ වූ විට ජන්මියාට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය චර්තයක් බවට පත්වීමේ වාසනාව උදාවේ.

ලක්ෂ්මි ස්ථානය ලෙස සලකන 9 වැන්න සහ විෂ්ණු ස්ථානය ලෙස සලකන 10 වැන්න ජන්ම පත්‍රයේ ඇති වාසනාව පිළිබිඹු කරන රාශීන්වේ. 9 වැන්න රැකියාව සකස්කරන වේදිකාව වන අතර, එමගින් ජන්මියා චිත්‍රපට ක්‍ෂේත්‍රයට ප්‍රවේශවීමේ හැකියාව පෙන්වයි. 10 වැන්න කර්මස්ථානය බැවින් කිසියමි ඉහළ පරිශ්‍රමයකින් පසුව චිත්‍රපට ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යාමට අවශ්‍ය මාවත සකස්කරයි. මේ අනුව 9 වැන්න සහ 10 වැන්න සමිබන්ධ කරමින් ජන්ම පත්‍රයේ ග්‍රහයන් පිහිටීම අනුව ඇතිවන රාජයෝග මෙහිදී වඩාත් වැදගත් වේ. එමඟින් යම් අරගලයකින් තොරව ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යාමේ හැකියාව උදාකරයි. කෙසේ වෙතත් 9 වැන්න යහපත්ව පිහිටීමෙන් පෙර භවයේදී කරන ලද පුණ්‍ය කර්මවල පල නෙළා ගැනීමට හැකිවේ. එසේම 10 වැන්න ජන්මියාගේ කාර්ය ශූරත්වය , අභිප්‍රේරණ හැකියාව මෙන්ම ක්‍ෂෙත්‍රය තුළ බලය ලබාගැනීමට ඇති අභිලාෂය පිළිබඳව කරුණු පෙන්නුම් කරයි ,චිත්‍රපට ක්‍ෂේත්‍රය තුළ සිටින සියලුම වෘත්තීකයන් තුළ විවිධ අරමුණු තිබුණත් ඉන් වඩාත් වැදගත් වන්නේ මුදල් ඉපයීම වන අතර, ජන්ම පත්‍රයේ 2 වැන්නෙන් ඒ සඳහා වන නරඹන්නන් හෝ ප්‍රේක්ෂක ජාලයක් ගොඩනගා ගැනීමේ හැකියාව පෙන්වයි. ඉහත අපේක්ෂාවන් 2 ම පිළිබඳව කරුණු හෙළිදරව් වන්නේ 11 වැනි රාශියෙනි. මෙම රාශිය වඩාත් බලවත්ව පිහිටීමෙන් චිත්‍රපටය හෝ ටෙලි නාට්‍ය බොහෝ දෙනෙක් ප්‍රිය කරණ සහ නරඹන එමෙන්ම ඉහළ මූල්‍යවාර්තා තබන තත්ත්වයට පත්වේ.

ඉහත ක්‍ෂේත්‍රවල තරු බිහිවීම කෙරෙහි බලපාන ප්‍රධාන ග්‍රහයන් පහත දක්වා ඇත

1 රවි ග්‍රහයා , 2 සඳු ග්‍රහයා ,3 කුජ ග්‍රහයා, 4 සිකුරු ග්‍රහයා , 5 රාහූ සහ කේතු,

මෙම ග්‍රහයන් අතුරින් රවි ග්‍රහයා මූලික වන්නේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට අදාළ අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකයන් සහ සංස්කාරකවරුන් බිහිවීම සම්බන්ධයෙනි. එසේම රවි ග්‍රහයා රාශි චක්‍රයේ ප්‍රධානියා හෝ රජු ලෙස හඳුන්වන අතර, අධිකාරී බලය, අණදීම සහ බලය පැවරීම යන ගති ලක්ෂණ යටතේ වඩාත් වැදගත්වේ. රංගන ශිල්පීන්, සංගීතඥයන්, කැමරා ශිල්පීන් ඇතුළු විවිධාකාරයේ ශිල්පීන් තම අරමුණු වලට ගැළපෙන පරිදි හසුරුවා ගැනීමට මෙම හැකියාව අවශ්‍ය වේ. සඳු ග්‍රහයා මූලික වන්නේ ජන්මියාගේ සිත සහ සිතුම් පැතුම් සම්බන්ධයෙනි. සඳුට කුජ ග්‍රහයා සම්බන්ධ වූ විට නළු නිළියන්ගේ මුහුණේ භාව ප්‍රකාශය මෙන්ම චිත්‍රපටයට ගැලපෙන පරිදි ශාරීරික වශයෙන් අභිනය දැක්වීමේ හැකියාව තීරණයවේ. කෙසේ වෙතත් මෙම ග්‍රහයින් දෙදෙනා බලවත්ව පිහිටිමෙන් රංගන ශිල්පීන්ගේ මෙන්ම අනෙකුත් වෘත්තීකයන්ගේද හැකියාවන් වර්ධනය වේ. රඟපෑමේදී අවශ්‍යවන චිත්තවේගයන් ,මනෝභාවයන් මෙන්ම පී‍්‍රතිමත් සහ දුක්ඛදායක භාව ප්‍රකාශ තාත්වික ලෙස ඉදිරිපත් කිරිමට මෙම ග්‍රහයන්ගේ බලපෑම අත්‍යාවශ්‍ය වේ.

ජන්ම පත්‍රයේ සඳු සහ සිකුරු බලවත් වීමෙන්:

තිරපිටපත් රචකයන්ට වඩාත් ශෘංගාරාත්මකව ගලායන ජනප්‍රිය චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය රචනා කිරිමේ හැකියාව හිමිවේ.

වඩාත් සංක්ෂිප්තව දක්වන විට සඳු ග්‍රහයා බලවත් විමෙන් රචකයන්ට මෙන්ම අධ්‍යක්ෂවරුන්ටද සාර්ථක ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිපදවීමට අවශ්‍ය නිර්මාණාත්මක ශක්තිය ලැබේ.

කුජ ග්‍රහයා බලවත්වීමෙන් රංගන ශිල්පීන්ට විවිධ චරිත රඟ දැක්වීමට අවශ්‍ය නිර්භීතකම හෝ එඩිතර බව ලැබේ.

වඩාත් බලවත් ලෙස කුජ සහ රාහු පිහිටා ඇත්නම් රංගන ශිල්පීන්ට තම හැකියාවන් වර්ධනය කර ගනිමින් අපේක්ෂාවන් ඉටුකරගත හැකිවේ

එසේම කුජ ශනි සහ රාහු බලවත්ව පිහිටන විට ත්‍රාස ජනක සිදුවීම් ගහන චිත්‍රපට හෝ ටෙලිනාට්‍යවල සාර්ථක රංගනයක යෙදෙමින් තිරයෙහි වීරයන් බවට පත්විමේ හැකියාව ලැබේ.

සිකුරු ග්‍රහයා

සිකුරු ග්‍රහයා හඳුන්වන්නේ විනෝදාස්වාදයේ කාරක ග්‍රහයා වශයෙනි ජන්ම පත්‍රයේ සිකුරු බලවත්වූ විට විකට සහ විනෝදාත්මක රංගන තාත්විකව රඟපෑමට හැකියාවක් ලැබේ. මෙවන් ශිල්පීන් සිනාසුනත්, හැඬුවත් ඉන් ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ ආස්වාදයකි.

අනෙක් අතට සිකුරු බලවත්වීමෙන් මෙම ක්‍ෂේත්‍රය තුළ ඉතා ඉහළින් මුදල් ඉපයිය හැකිවේ. පිරිමින්ට වඩා කාන්තාවන්ට සිකුරු ප්‍රබල ලෙස බලපායි. විශේෂයෙන් මනා රූසපුවක් හිමිවීමට එය ආශිර්වාදයක් වේ. ආකර්ෂනීය රූ සපුවක් හිමිවීම චිත්‍රපට වල මෙන්ම ටෙලි නාට්‍යවලද ඉදිරියට යාමට බෙහෙවින් ඉවහල් වේ.

ජන්ම පත්‍රයේ 2 වැන්නේ සිකුරු බලවත්ව පිහිටිමෙන් ඉතා ලස්සන මුහුණක්, දිදුලන ඇස්,පොපියන තොල්පෙති සහ දීප්තිමත් දෙකම්මුල් හිමිවේ.

සිකුරු තුන් වැන්නේ බලවත්වීමෙන් ඉතා මිහිරි කටහඬක් මෙන්ම ආකර්ශනීය ගායන හැකියාවක් ලැබේ.

සිකුරු4 වැන්නේ බලවත්වීමෙන් ජන්මියාට මෝස්තර සහ ඇඟලුම් ශිල්පියකු මෙන්ම මෝස්තර නිරූපිකාවක් විය හැකිය.

සිකුරු සඳු සහ ගුරු බලවත්වූවිට දක්ෂ ගායකයන් පද රචකයන් සහ ගීත රචකයන් බිහිවේ. එසේම ජන්මින් ශාස්ත්‍රීය සංගීතයේ විශාරදයන් බවට පත්වේ. මීට අමතරව සිකුරු ග්‍රහයා නර්තනයේදී ද කාරක ග්‍රහයා වන බව සැලකිය යුතුය. සිකුරුට රාහු සමිබන්ධ වූ විට නර්තනයේ කිසියමි චිත්තාකර්ෂනීය බවක් ඇතිවේ. තරඟකාරී තරු වැඩසටහනක දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ කුජ ග්‍රහයාය. පහත සටහනෙන් දැක්වෙන්නේ රංගන ක්‍ෂේත්‍රයට අදාළ ග්‍රහයන් සහ රාශීන් පිළිබඳ මුලික කරුණුය.

1 අභිනය- උද්වේගය- පරිකල්පනය: මෙම හැකියාවන් 1 - 4 - 5 - 9 යන රාශිවලට මෙන්ම ගුරු රවි සඳු සහ බුධ යන ග්‍රහයන්ට අයත්වේ.

2 වාසනා ගුණය- මෙය 5 සහ 9 යන රාශි වලට මෙන්ම රවි සහ ගුරු යන ග්‍රහයන්ට අයත් වේ.

3 ප්‍රසිද්ධිය කීර්තිය සහ ප්‍රේක්ෂක සමූහය 10 - 5 සහ විශේෂ ග්‍රහ යෝග මෙන්ම සඳු රවි ශනි ගුරු යන ග්‍රහයන්ට අයත්වේ.

4 අනෙකුත් විශේෂ මූලිකාංග -

මිථුන - කලාගාරය

මීන - චිත්ත ආවේග ප්‍රකාශනය

තුලා සහ වෘෂභ - කැමරා- ආලෝක සහ සංගීතය යනාදිය

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රවේශවීමේදී පහත දැක්වෙන නැකත් ඇති අයට විශේෂ තැනක් හිමි වේ.

රෙහෙන, බෙරණ, මුවසිරස, සා, සිත, පුවපල්, මා, රේවතී සහ පුවසල

පහත දැක්වෙන ලග්න හිමියන්ටද ඉහත ක්‍ෂේත්‍රවලට ප්‍රවේශවීමට හැකියාවක් ඇත

මේෂ, වෘෂභ, තුලා, මකර, කුම්භ සහ මීන,

මීට අමතරව මෙම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රවලදී මුලික වන ග්‍රහයන් සහ එම ග්‍රහයන්ගේ කාර්යභාරය පහත දැක්වේ.

සිකුරු ග්‍රහයා

කලාව සුඛෝපභෝගී බව නිර්මාණාත්මක හැකියාව, කීර්තිය, රූපසොබාව, මෝහනය, ප්‍රියජනක මුහුන රංගන, කුශලතාවයන් සහ මනමෝහන යශෝරාවය

බුධ ග්‍රහයා

සන්නිවේදන හැකියාව, බුද්ධිය සහ ඥාණ ශක්තිය’ තර්කාන්විත බව, නාට්‍යෝචිත බව රංගන වෘත්තියේ සහ ප්‍රහසනයට අදාළ දේවල්

රාහු ග්‍රහයා

එකිනෙකට වෙනස් දේවල් පිළිබඳව යශෝප්‍රභාව සහ මාධ්‍යකරණය

රවි ග්‍රහයා

යසස, ආකර්ශනීය බව ප්‍රේක්ෂකයන් සහ කීර්තිය

 

 

 

ටී. එමි කුලරත්න

මනෝවිද්‍යා සහ ජ්‍යෝතිෂ උපදේශක

 

කර්තෘ –

වෛද්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.