දකිනා සිහිනෙන් ගෙනෙනා සුබපල

අප්‍රේල් 23, 2021

අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් අපි දකින සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. සිහිනයක් දැකීමෙන් පසු අපි ක්‍රියා කළ යුතු පිළිවෙත ද දැන ගැනීම වැදගත් වෙයි. සුබ සිහිනයක් දුටුවිට එය අන් අය සමඟ කිවයුතු නොවන අතර, ඉන් යසඉසුරු හෝ ගරු නම්බුනාම ලැබෙන බව දැනගත්තේ නම් එම පෙර නිමිත්ත ආරක්ෂා කළ යුතුයි.

එය අන් අයට පැවසීමෙන් හොඳ ප්‍රතිඵල අහෝසි විය හැකිය. දුටු සිහිනය රහසක් සේ තබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදාකරගත හැකියි. අසුබ සිහිනයක් දැකීමෙන් පසු එය බොහෝ දෙනෙකුට කීමෙන් සිදුවීමට ඇති අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට හැකිවේ. එවන් සිහින පළමුවට පැඟිරි ගසකට කීම ද අප අතර පවතින විශ්වාසයක් වෙයි. සුබ අසුබ සිහින කීපයක් දැන් විස්තර කරන්නම්, බලන්න ඒ සිහින ඔබ දුටුවා ද කියා.

 

ගෙවත්තක් හෝ උද්‍යානයක්

ඉතා හොඳින් සකසන ලද එහෙත් මල් දකින්න නැති උද්‍යානයක් නම් ඉඳහිට ඇතිවන ක්ෂණික කරදර පෙන්නුම් කළත් ජීවිතය සුව පහසුව ගෙවේ. ඉතා හොඳින් වැඩුණු ගහ කොළවලින් පිරීගිය එහෙත් නොසලකා හරින ලද නැතිනම් සැලකීමක් නොකර තිබෙන්නා වූ උද්‍යානයක් නම් අහේතු සහගත බවක් ගැන හෝ විපතක් ගැන කෙරෙන්නා වූ පූර්ව නිමිත්තකි. නමුත් පැරණි කියමන්වලට අනුව මලින් පිරී ගිය ප්‍රසන්න වූ ගෙවත්තක් නම් ආධ්‍යාත්මික වශයෙන් ද පවුලේ ආදරය මෙන්ම ආර්ථික අතින් මෙන්ම ආරක්ෂාව අතින් ද වඩා යහපත් වන බවට පෙන්නුම් කරන්නාවූ සිහිනයක් බව කියැවේ.

සතුන් දැකීම

කලු නයකු දුටුවොත් නුවමනා දේවල්වලට පැටලේ. ඇසුරු කරන අයගෙන් වෙන්වීමට පවා කරුණු යෙදේ. තම ජීවිතය පවා අනතුරුදායක වීමට ඉඩ ඇත. ගැරඬියකු දැකීම අඩු කුලයේ ස්ත්‍රියක හා ගැටී ආරවුල් ඇති කර ගනී. පොළඟකු දුටුවොත් ලෙඩරෝගවලට, කරදරවලට හා නෑදෑයින් සමඟ අසමගිකම් ඇතිවීමට හේතුවේ. වලසකු දැකීම මිතුරන් සමඟ දරුණු අමනාපකම් ඇති වෙයි. කොටියකු සිහිනෙන් පෙනීම අභිරහස් කටයුත්තකින් උවදුරක් ඇතිවේ. කුළු හරකකු දුටුවොත් සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි.

සිංහයන් පිට නැඟීයාම

යම් කෙනෙක් සිංහයෙකුගේ පිට උඩ නැඟ යනවා සිහිනෙන් දුටුවේ නම් ඔහුට හෝ ඇයට රජකම හෝ නායකත්වයක් හිමිවෙයි. රජකම අද කාලයේ අසීරු කරුණක් බැවින් රජයේ උසස් තනතුරක් හෝ උසස් නිලයක් ලැබීම එයින් පෙන්නුම් කෙරේ.

ජලයේ කිමිදීම

වරදෙහි බැඳීමට හේතුවන තදබල කරුණක් සම්බන්ධයෙන් මෙන්ම ප්‍රබල දිවුරුම් දීමකට ළඟදීම මුහුණදීමට සිදුවිය හැකියි. ජලයේ ස්වභාවය අනුව ගතහොත් වඩා පැහැදිලි ජලය සහිත කිමිදෙන අයුරු දුටුවේ නම් වඩා සතුට දනවන ප්‍රතිඵල ලැබෙනු ඇත. වඩා දුර්වර්ණ වූ මෙන්ම මඩ සහිත ජලයේ කිමිදෙන අයුරු දුටුවේ නම් අප්‍රසන්න වූ සිදුවීම්වලට මුහුණ දීමට සිදුවේ.

ඇඳුම් දකීම

සුදු ඇඳුම් දැකීමෙන් පෙන්නුම් කරන්නේ පී‍්‍රතිවීමට ඉඩ ප්‍රස්ථා ළඟදී ලැබෙන බවය. නිල් හෝ රතු පැහැති ඇඳුම් අඳිනු සිහිනෙන් දැකීමෙන් දුක්කම්කටොලු ළඟාවෙන අතර, කිසියම් ගමනක් යාමට බලාපොරොත්තුව සිටින අවස්ථාවක කොළපාට ඇඳුම් අඳිනු සිහිනෙන් දර්ශනය කළේ නම් ඔබ ඉදිරියේ යාමට බලාපොරොත්තුව සිටින ගමනින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

 

මංගල මුදුව

විවාහක කාන්තාවක් සිය මංගල මුද්ද ඇඟිල්ලෙන් ගිලිහී වැටෙනවා සිහිනයෙන් දුටුවේ නම් ඉන් අදහස් වනුයේ තම ස්වාමියාගේ ද්‍රෝහිකමකි. ඔහු පරිහානියට හෝ අගතියට වැටුණු කාන්තාවක් සමඟ සම්බන්ධ වී තමා එම කාන්තාව විසින් විනාශ කරනු ලබයි. විවාහක තව කාන්තාවක් තම මංගල මුදුව කැඩී වැටෙනු සිහිනෙන් දුටුවේ නම් තමාගේ ස්වාමිපුරුෂයා මරණයට පත් වෙයි. තවත් විවාහක කාන්තාවක් තමාගේ මඟුල් මුද්ද කැඩී ඇඟිල්ල තුවාල වෙනු දුටුවේ නම් තම ස්වාමි පුරුෂයා රෝගී වේ. නැතිනම් පවුලේ කෙනෙකු හෝ අසනීප වේ. කෙනෙකු තමාගේ අතට මුද්දක් දමනවා සිහිනෙන් දුටුවේ නම් ඔහු හෝ ඇය සමඟ තමා විවාහ වේ.

මරණය

සිහිනෙන් තමාගේ මරණය වී නම් විවාහය ඉක්මනට සිදුවෙයි. කටයුතු දියුණු වේ. අන් අයෙකුගේ මරණයක් දුටුවේ නම් රෝග පීඩා ඇතිවේ.

මරණාසන්න වචන

යමකු මැරෙන මොහොතේදී කියන වචන තමන් හොරෙන් අසනවා දුටු කල ස්වකීය අදහස් මුදුන්පත් වේ. වාසනාවන්ත ජීවිතයක් ළඟා වේ.

මළ මිනියක් ඉසිලීම

සිහිනෙන් මළ මිනියක් උසුලාගෙන යනු දුටුවේ නම් අධික වස්තුවක් සැපයක් හිමිවෙයි.

මළ මිනි නෑවීම

මළ මිනිසකු නෑවීමෙන් ජයග්‍රහණ හිමිවේ. මළ මිනිසකු සමඟ එකට වාඩි වී ආහාර ගනු දුටු කල ධන ලාභ, මළ මිනිසකු සමඟ එකට නිදනු දුටු කල දීර්ඝායුෂ මළ මිනිසකු වළලනු දුටු කල ලෙඩ සුවවේ. මියගිය ගැහැනියක් ජීවත් වී සිටිනු දුටු කල වස්තුව පී‍්‍රතිය ගෙනදේ. මළකුනක ඔළුවක් දුටු කල හානි සිදුවේ.

හදිසි අනතුරක්

හදිසි අනතුරක් ඔබ සිහිනෙන් දුටුවේ නම් එමඟින් පෙන්නුම් කරන්නේ ඔබගේ අවධානය ඔබ නොසිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි. ඔබ සිහිනයෙන් දුටුවේ හදිසි අනතුරකට ඔබ යොමුවුණ බව නම් එය ඔබේ ශරීරයේ ආබාධයක් ඇති බවට පූර්ව නිමිත්තකි. එමනිසා ඔබ වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීම නුවණට හුරු වෙයි.

උස් තැනකින් වැටීම

ඔබ උස් ස්ථානයක ඉඳ වැටෙනු සිහිනෙන් දුටුවේ නම් අනතුරක් අත ළඟම ඇති බවට පෙර නිමිත්තකි. එමනිසා ප්‍රවේශම්වීම වැදගත් වෙයි. උස් ස්ථානයකට අපහසුවෙන් හෝ නඟිනු සිහිනෙන් දුටුවේ නම් ඉදිරි කාලයේදී සැප සම්පත් ළඟාවෙන බව කියැවේ.

 

ගංගාවක් - ගංවතුරක්

වේගයෙන් ගලායන මඩ සහිත ජලය ඇති ගංගාවක් (ගංවතුරක් විය හැකි) කෙනෙකු සිහිනෙන් දුටුවේ නම් ඔහුට හෝ ඇයට මතු කරදරවලට මුහුණපෑමට සිදුවේ. ව්‍යාපාර හා පෙම් සබඳතාව ද කඩාකප්පල් වෙයි. මෙම ගංගාවේ ජලය නිශ්චලව ද, පැහැදිලිව ද ගලා යනු දුටුවේ නම් තමාගේ ආදර සම්බන්ධතා ඉටුවී යහපත් විවාහයක් ද සිදු වී යහපත් දරුවන් ද ලබා වෙළඳ ව්‍යාපාර ද සාර්ථකව දියුණුවී යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේ.

අවතාරයක්

අවතාරයේ ක්‍රියාකාරකම අනුව බොහෝ දේ කිව හැකිය. අවතාරය පැහැදිලි අයුරින් පෙනී සිටියා නම් සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතුවලට සුබදායක තත්ත්වයක් උදාවෙයි. නමුත් ඔබ අවතාරයට බියවූවා නම් හෝ ඔබට ඇමතීම් කළා නම් ඔබගේ ප්‍රතිපත්තිවලට එරෙහිව උද්ගත වූ තත්ත්වයක් මත දැඩි මානසික පීඩාවකට පත්වීමට හේතු වේ.

 

කළු කූඹීන් දැකීම

කළු කූඹීන් බිත්තර රැගෙනවිත් තම සිරුරෙහි ගමන් කරනු දැකීම ධන ලාභයකට හේතුවක් බව කාලයක සිට පැවත එන විශ්වාසයකි. එවැනි සිහිනයක් දුටු අයකු දින කීපයක් ඇතුළත ලොතරැයි දිණුමක් ඇදීමෙන් ලක්ෂපතියකු වූ බව අත්දුටු සත්‍යයකි.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.