ඔබට ශුභ ඵල දෙන ග්‍රහ මාරු හඳුනාගන්න

මැයි 14, 2021

වෘෂභ ලග්නයට ලග්නාධිපති සිකුරු හයවැන්නද අධිපති බැවින් සම ඵල උදා කරයි. රවි සතරවැන්න අධිපති වීමෙන් පාපියෙකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් රවි බලවත් වේ . ශුභ ඵල දෙයි. බුධට පස්වැන්න හිමි වුවද දෙවැන්න වූ මාරක ස්ථානයක් හිමිවීම නිසා සමඵල ලබාදෙයි.

 

සෞරග්‍රහ මණ්ඩලයෙන් මිනිසාට ලැබෙන බලපෑම සැලකීමේදී ජන්මියා උපන් අවස්ථාවේ නැඟෙනහිරින් උදාවූ ලග්නයට අනුව ලග්නාධිපති, ත්‍රිකෝණ ස්ථානාධිපති, යෝගකාරකයින් ආදිය ශුභඵල ප්‍රදානය කරන අතර හය, අට, දොළහ ආදී දෘෂ්ටස්ථානයන්ට අයිති වූ ග්‍රහයින් බොහෝවිට අශුභ ඵල උදා කරයි. ඔබගේ උදා ලග්නය අනුව ශුභ ඵල දෙන ග්‍රහයින් පිළිබඳව මෙයින් සලකා බලමු.

 

රාශි චක්‍රයේ ප්‍රථම ලග්නය ලෙස ගන්නා මේෂ ලග්නයට ලග්නාධිපති වූ කුජ ග්‍රහයා ම අට අධිපති වන බැවින් සමඵල උදා කරයි. රවි ග්‍රහයා පහ අධිපති බැවින් පූර්ණ ශුභ ඵල උදා කරයි. සඳු අතර අධිපති වීම නමුත් කුජට මිත්‍ර බැවින් සමඵල දෙයි. ගුරු ග්‍රහයා දොළහ අධිපති වුව ද නවවැන්න වූ ත්‍රිකෝණ ස්ථානය අධිපති නිසා ශුභඵල වැඩියෙන් දෙයි.

වෘෂභ ලග්නයට ලග්නාධිපති සිකුරු හයවැන්නද අධිපති බැවින් සම ඵල උදා කරයි. රවි සතරවැන්න අධිපති වීමෙන් පාපියකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් රවි බලවත් වේ . ශුභ ඵල දෙයි. බුධට පස්වැන්න හිමි වුවද දෙවැන්න වූ මාරක ස්ථානයක් හිමිවීම නිසා සමඵල ලබාදෙයි. ත්‍රිකෝණස්ථානයක් හා කෙන්ද්‍රස්ථානයක් අධිපති වීමෙන් ශනි ශුභ ඵල දුන්න ද බලවත් නොවේ නම් මහ දශා අතුරු දශා වලදී වැඩ කටයුතු ප්‍රමාද කරවයි.

බුධ ලග්නාධිපති වන මිථුන ලග්නයට බුධ සමඵල උදා කරනුයේ ශුභයකු වූ බුධට කේන්ද්‍රස්ථානයක් වූ සතර වැන්නද හිමි වීමෙනි. සිකුරු ග්‍රහයා පස්වැන්න වූ ත්‍රිකෝණස්ථානය හිමි වීමෙන් සියලු ශුභ ඵල උදා කරවන යෝග කාරකයා වේ. ශනි නවය අධිපති වුව ද අටවැන්න ද හිමි වීමෙන් සම ඵල උදා කරයි.

කටක ලග්නයට චන්ද්‍රයා ලග්නාධිපති බැවින් ශුභ දෘෂ්ටි ලැබ සිටියි නම් සියලු ශුභ ඵල උදා කරයි. රවි දෙවැන්න අධිපති වුව ද චන්ද්‍රයාට සතුරු නොවන නිසා බලවත් අශුභ නැත. කුජ පස්වැන්න හා දසවැන්න හිමි නිසා සියලු ශුභ ඵල දෙන රාජ යෝග කාරකයා වේ. නවවැන්න අධිපති වුව ද හයවැන්නට සම්බන්ධ බැවින් ගුරු සමඵල දෙයි.

ලග්නාධිපති බැවින් රවි සිංහයට ශුභ ඵල දෙයි. ගුරු පස්වැන්න අධිපති වුව ද අටවැන්නට සම්බන්ධ බැවින් සම ඵල දෙයි. කුජ ග්‍රහයා සතර වැන්න හා නවවැන්න අධිපතිය. බැලූ බැල්මට ශුභ ලෙස පෙනුණ ද නවවැන්න සිංහයට බාධක ස්ථානයක් වනුයේ එය චර රාශියක් නිසා ය. එබැවින් කුජ සමඵල දෙයි.

කන්‍යාවට බුධ ලග්නාධිපති වේ. කේන්ද්‍රස්ථානයක් ශුභයකුට අයිති වීමෙන් දසවැන්නාධිපති ද වන බුධ සම ඵල දෙන්නේ වෙයි. සිකුරු දෙවැන්න හා නවවැන්න අධිපති වීමෙන් සමඵල දෙයි. ශුභ දෘෂ්ටි ලැබූ සිකුරු අශුභ අභිභවා ශුභ ඵල දෙයි. ශනි පස්වැන්න වූ ත්‍රිකෝණස්ථානයක් අධිපති වුවද හයවැන්න අධිපති ද වීමෙන් සම ඵල දෙන්නේ වෙයි.

තුලාවට අධිපති සිකුරු අට අධිපති ද වීමෙන් සම ඵල ඉටු කරදෙයි. ශනි ග්‍රහයා සතරවැන්න හා පස්වැන්න අධිපතිවීමෙන් ද තුලාවට ශනි උච්ච බැවින් ද බොහෝ ශුභ ඵල ශනි විසින් ලබා දෙයි. රවි, චන්ද්‍ර, කුජ, බුධ ආදීන් ග්‍රහ දෘෂ්ටි අනුව සම හෝ ශුභ ඵල දෙයි.

වෘශ්චික ලග්නයේ අධිපති කුජ හයවැන්නට ද සම්බන්ධ බැවින් සමඵල දෙයි. රවි දසවැන්නට අධිපති බැවින් ශුභඵල ප්‍රදානය කරයි. ගුරු දෙවැන්නට සම්බන්ධ වුව ද පස්වැන්න අධිපති බැවින් බොහෝවිට ශුභඵල දෙයි. චන්ද්‍ර, කුජ, බුධ, දෘෂ්ටි අනුව සමඵල හෝ ශුභ ඵල දෙන අතර සිකුරු, ශනි බොහෝ විට අශුභඵල දෙයි.

ගුරු හිමි ධනු ලග්න හිමියාට ගුරු සම ඵල උදා කරනුයේ සතරවැන්න ශුභයකු වූ ගුරුට අධිපති වීමෙනි. රවි නවවැන්න අධිපති වීමෙන් සම ඵල ඉටු කරයි. ශුභ දෘෂ්ටි ලැබී නම් ශුභ වේ. චන්ද්‍රයා අට අධිපති වුවද පුර පක්ෂයේ ශුභ ස්ථානයක වී නම් සම ඵල උදා කරයි. සිකුරු හා ශනි දෘෂ්ටි හා බලවත්වීම් අනුව ඵල දෙයි.

මකර ලග්නයට අධිපති ශනි දෙවැන්නට සම්බන්ධ බැවින් සමඵල දෙයි. පස්වැන්න හා දසවැන්න අධිපති බැවින් ශුභඵල දෙයි. චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සමඵල දෙයි. දෘෂ්ටි අනුව අශුභ ඵලයන් ද ලබා දිය හැකි ය.

කුම්භ හිමියන්ට ශනි ලග්නාධිපති වුව ද දොළහ අධිපති වීමෙන් සමඵල දෙයි. ශුභ දෘෂ්ටි ලැබී නම් ශුභ වේ. සිකුරු නවය වූ ත්‍රිකෝණස්ථානයක් අධිපති වීමෙන් බොහෝවිට ශුභඵල ලබා දෙයි. රවිට පස්වැන්න වූ කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් ශුභ වුව ද හත මාරක ස්ථානයක් බැවින් බොහෝවිට සම ඵල දෙයි.

මීන ලග්න හිමියාට ලග්නය හා දසවැන්න හිමි ගුරු දෘෂ්ටි අනුව ශුභ ඵල දෙයි. චන්ද්‍රයා පස්වැන්නාධිපති ලෙස ශුභ ඵල දෙයි. කුජ, බුධ, සම ඵල ලබා දෙයි.

මෙ ලෙස සටහන් කරනු ලැබුවේ නෛසර්ගික ශුභ අශුභතාව මත පමණක් පදනම්ව ලග්නය ලග්නාධිපති හා ග්‍රහයින්ට හිමි ස්ථාන සලකා බලාය. මීට අමතරව ග්‍රහයින්ගේ උච්ඡ , නීච , ස්වක්ෂේත්‍ර මූලත්‍රිකෝණ ආදී බලයන් හා දෘෂ්ටි මත ප්‍රතිඵල මත වෙනස්වීමට හැකි බැවින් පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවකින් ප්‍රතිඵල නිගමනය වඩා නිවැරැදි බව අපගේ මතයයි.

 

මොනරාගල

රුවන් එච්.

අත්තනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.