සුබ ඵල වැඩියෙන් ලබාදෙන ගුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්

ජූලි 16, 2021

සූර්යයාට පමණක් කුඩා වූ තරුව ගුරු තරුවයි. රශ්මිය පැතිරීම ද සූර්යයාට පමණක් දෙවෙනි වෙයි. එහෙත් සිකුරු තරුව මෙන් දීප්තිමත්ව නොපෙනේ. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් එකදහස් තුන්සිය වාරයක් වෙයි. ඈත පුරාණයේ සිට ගුරු ග්‍රහයා ගුරුමෙන් සලකනු ලබයි. මනුෂ්‍යයාගේ වැඩි දියුණුවට උසස්වීමට වුවමනා කරන සියලු යහපත් දේට ගුරු බලපවත්වයි.

කේන්ද්‍රයේ ගුරු සිටින රාශිය අනුව ගුරුගේ බලපෑම් මිනිස් ජීවිතයට විවිධාකාර ලෙස බලපෑම් කරයි.

කේන්ද්‍රයේ පළවෙනි රාශිය හෙවත් ලග්නය ගුරුට බලවත් ස්ථානය වේ. ලග්නයේ සිටින ගුරු වෙනත් ග්‍රහයන්ගෙන් යෙදෙන සියලු අරිෂ්ට යෝග භංග කරනු ලබයි. එමෙන්ම මෙසේ උපන් අයට නිරෝගී වූ යහපත් මහත් වූ ශරීරයක් හිමිය. සියලුම කාර්යයන්හි දියුණුව ගෙනදෙන දීර්ඝායුෂ ලබාදෙන අතර, සියලු විපත්වලින් ආරක්ෂා කරයි. පුද්ගලික වශයෙන් දියුණුවන අතර, සමාජයේ දියුණුව ගැන ද උනන්දු වෙයි. උසස් බලවත් අයගෙන් ආධාර ද නොඅඩුව ලැබෙයි. කිසිම අයෙකුට මෙවැන්නෙකු රැවටීමට හෝ කරදරයකට පත්කිරිමට ද නොහැකි ය. මධ්‍යම වයසෙන් පසුව වඩාත් දියුණු වෙයි.

දෙවැන්නට ද ගුරු යහපත් ය. දෙවැන්නේ ගුරු සිටියදී උපන් අය කවදාවත් තත්ත්වයෙන් පහත නොවැටේ. යම් අවස්ථාවකදී පසුබෑමක් වූවත් පසුව හිටිය තත්ත්වයටත් ඉහළින් දියුණුව ලබයි. දුටුවන පි‍්‍රය උපදවන මනා රූපකායක් මොවුන් සතුවෙයි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනු ලබන අතර, භාර්යාව හා දරුවන්ට උසස් ලෙස සලකයි. විවාහයෙන් පසු වඩාත් තැන්පත් වේ. ගුරු දෙවැන්නට ධන යෝගයක් ද වේ.

කේන්ද්‍රයක ගුරු තුන්වැන්නට එතරම් යහපත් නොවේ. තැනින් තැන යන්නට සිදුවෙයි. අසනීපවලට හේතුය. පසු කාලයේ දී අභ්‍යන්තර ශරීර දුර්වලතාවයන් ද ඇතිවිය හැකි ය. ගුරු තුන්වැන්නේ උපන් අයට බාල කාලයේ ගුරුගේ දශාව ලැබුවොත් ඉගෙනීමට යහපත් වෙයි. විවාහ ජීවිතය යහපත් වෙන නමුත් ආයුෂ අඩු කෙනෙක් වෙයි. සහෝදර, සහෝදරියන්ට වඩාත් හිතවත් වෙයි. තුනේ පිහිටි ගුරුගෙන් ශුභ පලදීම කෙරෙන්නේ ඉතා බලවත්ව සිටියොත් පමණි. ගුරු හතරවැන්නේ සිටියදී උපන් අය ඉතා යහපත් වේ. දෙමාපියන්ගේ දේපළ උරුමයක් ලැබෙන පිහිටීමකි. ගුණ ගරුක සාර්ථක ජීවිතයක් ගත කරයි. ඥාතීන් අතර ප්‍රධාන තත්ත්වයක් හිමිවෙයි. ගෘහ ජීවිතය ඉතා යහපත් වෙන අතර, අන්‍යයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ජීවිතයේ අග භාගයේ දී අන්‍යයන්ට ගුරු හරුකම් කියාදෙන නායකයෙක් විය හැකි ය. දූ දරුවන් ද උසස් තත්ත්වයකට පත්වෙයි.

ගුරු පස්වැන්නේ නම් යහපත් විශ්වාසවන්ත කෙනෙක් වන අතර, කා සමඟත් හොඳ හිත පෙන්වයි. ශරීරය දුර්වල කෙනෙක්වීමට බොහෝදුරට ඉඩ ඇත. පිත් අමාරු, සෙංගමාලය වැනි අසනීප සෑදීමේ ප්‍රවණතාව වැඩිය. තමාගේ ඥාතීන් අතර පිළිගැනීමක් ඇති අයෙක් වෙයි. අඹුදරුවන්ට ද ඉතා හිතවත් වෙයි. පස්වැන්නේ ගුරු සිටින අයට පුත්‍ර ලාභ වැඩිවේ.

ගුරු හයේ සිටියදී උපන් අය දුර්වල කෙට්ටු ශරීරයක් හිමිය. සෙම අධික අසනීප සෑදීමට හේතුවෙයි. පවුලේ වැඩිහිටි ඥාතීන්ට පක්ෂපාත අයෙකි. දූ දරුවන්ගේ දියුණුවට බාධා පැමිණේ. නැතිනම් ඔවුන් හා සම්බන්ධතා අඩුවෙයි. ආත්මාර්ථකාමීත්වයෙන් යුතු අයෙක් වේ. ගුරු හතේ සිටියදී උපන්නේ නම් යහපත් විවාහයකට හේතුය. රටේ පිළිගත් ප්‍රසිද්ධ අයෙක් වෙයි. භාර්යාවගෙන් වැඩි දියුණුවක් ඇතිවේ. ව්‍යාපාර කටයුතුවලින් ද දියුණුවක් දැකිය හැකි ය. රජයේ උසස් නිලතල දැරීමට ද සුදුස්සෙකු වෙයි. විවාහයේදී තමන්ට ලැබෙන භාර්යාව ද තමන්ට ඉතා ලැදි, කීකරු පතිදම් රකින කෙනෙක් වන අතර දරුවන් ද එසේම ය. ගුරු හතේ උච්ච නම් මෙයට වෙනස් විය හැකිය. දෙදෙනා අතර අවුල් තිබුණත් එය සමාජයට නොපෙන්වයි.

ගුරු අටවැන්නට ද යහපත් ස්ථානයක් නොවේ. එකම යහපතක් වන්නේ ගුරු අටේ සිටියදී උපන් අයගේ මරණය දුක් සහිත මරණයක් නොවීමයි. විවාහයෙන් දේපළ ලැබීමට හිමිකම් ඇත. ලොතරැයි ආදියෙන් ද හදිසි වාසනාව ගෙනයි. බාහිර වශයෙන් සැප විඳීමට උත්සාහ ගන්නවා හැර මනස උසස් කර ගැනීමට නොසිතයි. ගොවිතැන් කටයුතුවලදී වැඩි ලාභ ලබයි.

ගුරු නව වැන්නේ සිටියදී උපන් අය ද වාසනාවන්තයෝ වෙති. සියලු යස ඉසුරු ලැබීමට ද හේතුවේ. උසස් ඉගෙනීමක් ලබාදෙන අතර, රජයේ උසස් තනතුරු ලැබීමට ද භාග්‍යවන්තයෝ වෙති. ගුරුවර, වැඩිහිටි ආදීන්ට ඉතා ගරු සැලකිලි දක්වයි. ආත්මගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නෙක් වෙයි. ශීලවන්තයකු ලෙස අන් අයගෙන් සැලකිලි ලබයි. ගුරු දහවැන්නේ නම් ධනය අතින් යහපත් වෙයි. සමාජයට හිතැති ගෞරවය රැකෙන සේ කටයුතු කරයි. පොදු ජනතාවගේ ශුභසිද්ධිය සඳහා කටයුතු කරන අයෙක් විය හැක. ශරීර සෞඛ්‍යය යහපත් වන අතර, ආයුෂ වැඩිවීමට ද හේතු වෙයි.ක්‍රම ක්‍රමයෙන් රැකියාවෙන් උසස්වී බලවත් තත්ත්වයකට පත්විය හැක. දේපළ ඇති අයෙකු හා විවාහයට හේතු වෙයි.

ගුරු එකොළොස්වැන්නේ සිටියදී උපන් අයට ද ගුරුගෙන් යහපත සැලසේ. සත්‍යවාදී යහපත් මිතුරෝ ඇති අතර, ඔවුන්ගෙන් තමාට යහපත සඳහා ද ආධාර උපකාර ලැබෙයි. රට වෙනුවෙන් සේවය කරන්නෙකු විය හැකි ය. දොළොස්වැන්නට ගුරු ශුභ නොවේ. සිරගතවීම්, අසනීප, හදිසි අනතුරු ආදී අශුභපල දෙයි. ආත්මාර්ථකාමී ගතිය අඩුය. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට නිතර ඉදිරිපත් වෙයි. අනුන්ගේ දුකේදී සැපේදී ළඟ සිටින තරම් හිතවත්ම කෙනෙකු වේ. දුප්පතුන්ට, රෝගීන්ට ඉතාම ලැදි ඇප උපස්ථාන කිරීමට මෙන්ම නැති බැරි අයට යම්කිසි පරිත්‍යාග කරන්නට ද පෙලඹේ.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.