පියාට මවට අපල ගෙනෙන යෝග

ඔක්තෝබර් 15, 2021

අලුත උපන් බිළිඳුගේ ජන්ම පත්‍රය නිවැරදිව සකසා එය තුන්වන ඇසක් ඇති කළ පුරුද්ද හා පළපුරුද්ද අති උතුම් ඡ්‍යොතිෂවේදියෙකුට නිවැරදිව එහි ඇති මව්පිය හා සහෝදරයන්ට ඇති අපල පිළිබඳ නිවැරදි විග්‍රහයක් කළ හැකි බව අපට සඳහන් කළ හැක.

 

අප සමාජයේ බොහෝ මව්පියන් අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රය සකස්කර ගැනීමට ඡ්‍යොතිෂවේදීන් හමුවට පැමිණි අවස්ථාවලදී බොහෝ දෙනකු විමසන ප්‍රධාන කාරණයක් වන්නේ මේ දරුවාගෙන් මවට පියාට ඇතිවන අපල තියනවාද කියා ය. බොහෝ මව්පියන් වසර ගණන් විවිධ ක්‍රියාවන් කර එනම් බෝධිපූජා, යන්ත්‍ර, මන්ත්‍ර, ඡ්‍යොතිෂ කර්මයන් හා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් විවිධ දේ කරමින් වසර ගණනක් දුක්විඳ තම කුස තුළට ජන්මියකු ළංකර දසමස ඉක්මවා දුක්විඳ බිහිකරන දරුවා තමාට හෝ තම ස්වාමියාට විපත් ගෙන දේ යැයි සිතීමත් දුකට කරුණකි.

 

එහෙත් අද ඊයේ නොව මීට වසර 2560 පෙර සිට සුදෝවුන් රජු හා මායා දේවිය පවා තම දරුවාගෙන් සිදුවන ඉදිරි අනාගත වාක්‍යයන් විමසා ඇති බව අප දනිමු. අලුත උපන් බිළිඳුගේ ජන්ම පත්‍රය නිවැරදිව සකසා එය තුන්වන ඇසක් ඇති කළ පුරුද්ද හා පළපුරුද්ද අති උතුම් ඡ්‍යොතිෂවේදියකුට නිවැරදිව එහි ඇති මව්පිය හා සහෝදරයන්ට ඇති අපල පිළිබඳ නිවැරදි විග්‍රහයක් කළ හැකි බව අපට සඳහන් කළ හැක. ජන්ම පත්‍රයකින් හෙළිවන තම මවට අපල ගෙන දෙන යෝග 8 ක් ඇති බව වරහාමිහිර, සාරවලිය ආදී ග්‍රන්ථවල මෙන්ම යුග යුග තුඩ තුඩ ජනයාගේ මුව තුළ රැව්දෙන හෙළයේ මහා ඡ්‍යොතිෂපඬිවරුන් වන වයි.ඒ හරමානිස් මහතාගේ ජාතක රත්නය හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ අදුරුතුමන්ගේ ජීවිතය හා ග්‍රහයෝ යන ග්‍රන්ථවල මේ පිළිබඳ සවිස්ථරව ලියා ඇත. ජන්ම පත්‍රයක හතර වන ස්ථානය මාතෘ ස්ථානයයි. ජන්ම පත්‍ර ලාභියා දවල් උපන් නම් සිකුරු මාතෘ කාරක වන අතර රාත්‍රි උපන් අයට සඳු (චන්ද්‍රයා) මව් වේ. ජන්ම ලාභියා ගේ ජන්ම පත්‍ර නිවැරදිව පිරික්ෂිමේ දී තම මවට අපල සිදුවන අවස්ථා හා ග්‍රහ පිහිටීමක් කාල වකවානුන් නිවැරදිව පැවසීමට බොහෝ ඡ්‍යොතිෂවේදීන්ට හැකියාව ඇති බව අප සතුටින් ප්‍රකාශ කරමි. ජන්ම ලාභියාගේ අපල නොව මව විසින් ගෙනා කර්ම ශක්තිය මෙයට බලපාන බවත් මේ පිළිබඳ පහත ග්‍රහ පිහිටීම් පිළිබඳ විමර්ෂණය කිරීමෙන් අපට පැහැදිලි කර ගත හැක.

බොහෝ විට දරුවා ලැබෙන්ට ගොස් මව හා දරුවා මිය යෑම හය වැන්නෙ කුජ හා චන්ද්‍ර දෙදෙනා පිහිටා දහයේ සෙනසුරු පිහිටීම මෙයට හේතු වේ.

සෙනසුරු හා අඟහරු එකම රාශියක පිහිටා සඳු කේන්ද්‍ර ගතව සිටී නම් මව අධික දුක්විඳ ඉක්මනින් මිය යනු ඇත.

බොහෝ තැන්වල සඳහන් තවත් මරණ යෝගයක් වන්නේ හතරවැන්නේ, දස වැන්නේ සහ දොළොස්වැන්නේ පාපයින් පිහිටා සිටීම ඉතා සතුරු යෝගයකි.

මව අධික පීඩාවට පත්වන තවත් යෝගයක් වන්නේ පාපයින්ගෙන් හත හෝ අට සඳු පිහිටා පාප සංයුක්ත වීම බරපතල අපල තත්ත්වයකි.

බොහෝ කුඩා දරුවන්ගේ ජන්ම පත්‍රවල දැකිය හැකි චන්ද්‍රයාගෙන් ත්‍රිකෝණගතව පාපයින් පිහිටීම මව කෙටි කාලයක් ඇතුළත මියයෑමට හේතුවන යෝගයකි.

තවද මවගේ ආයු කාලය කෙටිකරන ඉක්මනින් දරුවාගෙන් ඉවත්වෙන මරණය කරා යන යෝගයකි ලග්නයේ පාපයින් පිහිටා හත්වැන්නේ ද පාපයින් පීඩිතවීම දැකිය හැක.

එලෙසම බොහෝ මව්වරුන් අතර දැකිය හැකි ඉතා අනුවේදනිය දසුනක් වන අලුත උපන් දරුවා වෙනුවෙන් ළය කිරි නොවීම එනම් රවි හත්වැන්නේ පිහිටා උච්චව හෝ නීචව තැම්පත් වීම කිරි අහිමි කරන යෝගයකි.

බොහෝ ජන්ම පත්‍රවල දැකිය හැකි මවට මරණය ගෙනදෙන යෝගයක් වන ලග්නයේ පාපයින් පිහිටා ලග්නය පාපයින්ට මැදිවීම හත්වැන්න පාප පීඩිතවිම මවට ඉතා ඉක්මනින් මරණය ගෙන දේ.

ඉතා හොඳින් ජන්ම පත්‍ර පරීක්ෂාකර බලා අප වෙත පැමිණෙන සේවාදායකයින් අසන දරුවාගෙන් මවට අපලද යන්න නිවැරදිව තෝරා බේරාගෙන පැවසීමත්, බොහෝ විට මරණීය අපල තිබුණත් ජන්ම කේන්ද්‍රර බලවත් වීම හා සංසාරික කුසල් හා අකුසල් මත ලෙඩදුක් කරදරවලට මුහුණ දීමට සීදුවීමක් යන කරුණු පිළිබඳ මනා අවබෝධයක් ඡ්‍යොතිෂවේදියා සතුවිය යුතු ය. එලෙසම පීතෘ ස්ථානය සලකා බැලීමේ දී ජන්ම පත්‍රයේ දසවැන්න පියා අයත් වේ. නව වැන්න ද පියාට සම්බන්ධකම් දක්වයි. දවල් උපන් අයට රවි ග්‍රහයා ද රාත්‍රී උපන් අයට ශනි හෙවත් සෙනසුරු පීතෘකාරක වේ. නිවැරදිව ජන්ම පත්‍ර පරීක්ෂාකිරීමෙන් ජන්මියාගේ පියා සම්බන්ධව නිවැරදි පලාපලයක් කිවහැකි සේම පහත සඳහන් අයුරින් ග්‍රහබල පිහිටීම තුළ පිය පාර්ශවයට අපල ඇති වන අයුරු සඳහන් කළ හැක.

උප්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා පාප පීඩිත වී රවිගෙන් හත්වැන්න පාපයකුට මැදිවීම තුළ පියාට නොයෙකුත් දුක් පීඩා ගෙනදීම එනම් රැකියා අහිමි වීම බලයෙන් නිලයෙන් පහත වැටීම දැකිය හැක.

එලෙසම ප්‍රබල පාප ග්‍රහයෙකු වන අඟහරු හෙවත් කුජ දසවැන්නෙ සතුරු රාශි ගතවීම තුළ පියා අකල් මරණයකට ගොදුරු වන බව පෙන්වයි.

කේන්ද්‍රයේ ශනි හත්වැන්න හා සඳු හයවැන්න ඉතා තදබල පීඩාවකට ලක්වී ඇති අවස්ථාවල පියා වැඩිකල් ජීවත් නොවනු ඇත.

බොහෝවිට දරුවා ඉපදුණ විට පියා වෙනත් ස්ථානයක ජීවත්වන හෝ යම්කිසි හිර බන්ධනයකට ලක්වීම ගැන බැලීමේ දී රවි ග්‍රහයා චර රාශිගතවී රවිට හය වැන්න හත්වැන්න හා නවයේ පාපයින් සිටීම එයට හේතු වේ.

තවද ශනි හෙවත් සෙනසුරු රවි සමඟ එකට ඉෂ්ට ගතවීම තුළ පියාට ඉක්මන් මරණයක් ගෙනදීමට හේතු වේ.

බොහෝ දරුවන් පියවරුන් මහ මග හෝ අනෙක් මඩම්වල තනිකර අසරණ කර යන අවස්ථා ජන්ම කේන්දරය තුළ කුජ, හා රාහු භාවයේ සිටීම තුළ එම දසාකාලයක උපන් දරුවන් පියාට දෝහි වීම දැකිය හැක.

රවි ග්‍රහයා පාපකර්තරී වීම ජන්මියාගේ පියාට තද බල කරදර විපත් දුක් පීඩා ගෙනදීම සිදුවිය හැක.

රවි ග්‍රහයා හත්වැන්නේද කුජ දහ වැන්නේ ද, රාහු දොළොස්වැන්නේ ද පිහිටා ඇති විට පියා ජීවත් වුවත් ඉතා දුක් සහිත අසරණව කල් ගෙවනු ඇත.

බොහෝ අවස්ථාවලදී දරුවා උපදින්නට පෙර පියවරු මියයෑම එ තුළින් විශාල පීඩාවක් ලැබීම රවි කුජගේ නවංශකයක පිහිට සෙනසුරුට පෙනීම තුළින් සිදු වේ.

මේ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ජන්ම පත්‍රය පිළිබඳ කරුණු ප්‍රකාශ කිරීම සිදුකළ යුතු වේ. කේන්ද්‍රය අතට ගත් පමණින් පුහුණු කරන ලද ගිරවකුසේ පොතේ කියන දේ කියාගෙන යෑම නොව නිවැරදිව ජන්ම පත්‍රය පරීක්ෂාකර බලා පලාපලකීමෙන් මෙම ශාස්ත්‍රය නිසි ගෞරවයට ලක්වීම හේතු වේ.

 

රත්න ශ්‍රී සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.