රාශි සංකේතයන්ගෙන් හෙළි කරන සැබෑ තතු

දෙසැම්බර් 10, 2021

විශ්වය වනාහී ස්වභාවධර්මයේ අපූරු වූ නිර්මාණයකි. ඒ තුළ විවිධාකාර වූ ග්‍රහ තාරකා ආදී බොහෝ පුදුමාකාර වූ වස්තූන් දක්නට ලැබේ. අප ජීවත් වන පෘථීවිය ද මේ සුවිසල් වූ විශ්වයේ එක් කොටසකි.

මීට අමතරව මෙම විශ්වය තුළ ජීවීන් ජීවත් වන්නා වූ ග්‍රහ වස්තූන් සොයා මේ වන විට බොහෝ පර්යේෂණ සිදු කරයි. ඒ නූතන විද්‍යාවේ සිදු වී ඇති සුවිසල් වූ දියුණුව උපයෝගී කරගනිමිනි. ඒ කෙසේ වුවත් අප ජීවත් වන පෘථිවි තලය තුළ ගිණිය නොහැකි තරම් වූ සුවිශාල ජීවීන් සංඛ්‍යාවක් ද ජීවත් වෙති. එම සත්වයින් විවිධාකාර වූ ස්වභාවයන්ගෙන් යුක්ත වේ. දේශගුණික වශයෙන්, අංගලක්ෂණයන් අනුව ජීවත් වන මාධ්‍යය අනුව ආදී මේ සාවූ විශාල වෙනස්කම් රාශියක් මෙම සත්වයින් තුළ අපට දැකගත හැකිය. එමෙන්ම පියවි ඇසට නොපෙනෙන ජීවීන් ද ඉතා විශාල ප්‍රමාණයක් පෘථිවි තලය තුළ ජීවත් වෙති. මේ සියලුම සත්වයින් අතුරින් මනසින් උසස්ම සත්වයා මිනිසා බව අප කවුරුත් දන්නා කරුණකි. මිනිසා දිනෙන් දින දියුණු වෙමින් විවිධාකාර වූ වෙනස්කම් හා සංවර්ධනමය ක්‍රියාවලින් පෘථිවි තලය තුළ නිරන්තරයෙන් සිදු කරනු ලබයි. මනුෂ්‍යයාගේ ජීවිතයට බෙහෙවින්ම ඉවහල් වන ජ්‍යෝතීර් විද්‍යාව නමැති මහාර්ඝ වූ විෂයය බිහිවන්නේ ද අප ජීවත් වන මේ විශ්වය තුළින්මය. එසේ බිහිවුණු මෙම විෂය තුළ පවතින ප්‍රධානම මූලිකාංගය වන්නේ රාශීන්ය. මේෂ වෘෂභ ආදී ලෙස රාශීන් 12 ක් ජ්‍යෝතිෂ විෂය තුළ සාකච්ඡා වේ. මෙම රාශීන් සඳහා විවිධාකාර වූ සංකේතයන් මීට අවුරුදු දසදහසකට පෙරින් ජීවත් වූ මහා සෘෂීවරුන් විසින් නිර්මාණය කර ඇත. බැලූ බැල්මට මේවා විශේෂයෙන්ම අප ජීවත් වන වන පරිසරයේම දක්නට ලැබෙන සත්වයින්ගේ රූප කොටස්ය. මෙම රූපයන් විශ්වයේ දක්නට ලැබෙන තරු පන්තීන් උපයෝගී කොටගෙන නිර්මාණය වූ ඒවා බව බොහෝදෙනාගේ අදහසයි. කෙසේ වුවත් ඉන් ඔබ්බට ගිය ගැඹුරු අදහසක් මේ තුළ පවතින බව මේ පිළිබඳව වඩාත් සියුම්ව හා පුළුල්ව විමර්ශනය කිරීමේදී පැහැදිලි වේ. අප ජීවත්වන පෘථිවියෙහි නැගෙනහිර ක්ෂිතිජයෙහි මේෂ රාශිය උදාව පවතින්නේ යම් කාලයක ද එම කාලය තුළ එළු බැටළු ආදී සිව්පා සතුන් ද, වෘෂභ රාශිය උදාව පවතින විට ගව මහීෂාදීන් ද, කටක රාශියෙන් ඉබ්බන් කකුළුවන් වැනි ජලජ ජීවීන් ද, සිංහ රාශියෙන් සිංහයන් දිවියන් නරීන් වැනි මාංශ භක්ෂක සතුන් ද, වෘශ්චික රාශියෙන් නාග පොළොං ආදී විෂ සහිත උරගයින් ද, ධනු අපරාර්ධයෙන් අශ්වයින් මෘගයින් වැනි සතුන්ද, මකර අපරාර්ධයෙන් මැඩියන් ගෙම්බන් ආදී සතුන් ද, මීන රාශියෙන් මත්ස්‍යයින් ආදී ජලජ ජීවීන් ද බිහිවීම සිදුවන බැවින් එක් එක් රාශීන් සඳහා අදාළ රූපික සංකේත ලබා දී ඇත. කෙසේ වුවත් මින් අදහස් වන්නේ මෙම රාශීන් තුළ උපදින්නේ මෙම සත්වයින්ම පමණක්ම යන්න නොවේ. උපදින්නේ කුමන සත්වයෙක් ද යන්න මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය, උපදින සත්වයින් සංඛ්‍යාව පවා සියුම් කාල පරාසයන් අනුව ඉතා නිවැරදිව පැවසිය හැකි සියුම් ක්‍රමවේදයන් මෙම මාහැඟි වූ විෂය තුළ පැවතීම සැබවින්ම ආශ්චර්යජනකය. ඒ ඒ කාල පරාසයන් තුළ වැඩි වශයෙන් උපදින සත්වයන් අනුව එක් එක් රාශින් සඳහා රූපික සංකේතයන් භාවිතා කරන්නට තරම් පුරාණයේ මෙම ශාස්ත්‍රය කොයිතරම් නම් දියුණුව පවතින්නට ඇත්’දැයි මෙම ලිපිය තුළින් ඔබට මනාසේ වැටහෙනු ඇත.

ශාස්ත්‍රවේදී ජ්‍යෝතිෂවේදී වාස්තුවේදී සෙත්කවිශූරී

හිරන්ත සුබසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.