දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්

දෙසැම්බර් 17, 2021

ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි වෙයි. කුඩා වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත් ආලෝකය නැති කහ වර්ණයෙන් අපට දර්ශනය වන බැවිනුත් එය අඳුරු තාරකාවක් ලෙස සැලකේ.

මෙහි විශ්කම්භය සැතපුම් 71,000ක් වන අතර ශනි ග්‍රහයාගේ සිට සූර්යයාට දුර සැ. 8865ක් පමණ වේ. මොහුට හිරු වටේ යෑමට අවුරුදු 29 1/2 පමණ කාලයක් ගතවේ. එහි ආකර්ශනය නිසා සමස්ත ලෝක ප්‍රජාවටම විපත් ද සිදුවීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. දැන් අපි බලමු. ශනි ග්‍රහයා කිසියම් අයකුගේ කේන්ද්‍රයේ ඒ ඒ භාවයන්හි පිහිටීමෙන් ජන්මියාට එය කුමන අයුරින් බලපානවද කියා. ශනි ලග්නයෙහි හෙවත් පළවෙනි භාවයෙහි සිටියදී උපන් අයට බොහෝ සිත් කරදර ඇති කරවයි. ශනි දුකට අධිපති බැවින් ලග්නයට පැමිණි විට නිතර දුක් සහිතව දිවි ගෙවීමට සලස්වයි. තනිව වාසය කිරීමට පි‍්‍රය කරයි. මුදල් කරදර වසවිෂ කැවීම්, ගින්නෙන් හා රජයෙන් හා උසස් නිලධාරීන්ගෙන් පීඩා ඇති කරවයි. ඈත පළාත්වල ඇවිදීමට සිදුවන බැවින් විදේශ රැකියාවලට යෑමට ද ශනි ලග්නයේ සිටින කාලය යහපත් වේ. නඩු හබවලට හා ධන හානිවලට ද හේතුවෙයි. මකර, කුම්භ, තුලා, ධනු යන ලග්නය ලග්නය වී ශනි පළමු වැන්නේ සිටියදී උපන් අය මනා දේහ සම්පත්තියෙන් යුත් රූපකායක් ඇති ධනවත් වීර්යවන්ත කෙනෙක් වෙනු ඇත.

ශනි දෙවැන්නේ සිටියදී උපන් අයට ඇස්වල පීඩා ඇතිවේ. මුහුණ දුර්වර්ණ වෙයි. පහත් ගති ඇති අය සමඟ ඇසුරට පත්වෙයි. ගොවිතැනින් හා භූමි ආශ්‍රයේ වැඩවලින්, ප්‍රසිද්ධ ව්‍යාපාරවලින් ආදායම් ලැබූවත් කෙසේ හෝ එම ආදායම් ඉතිරි කිරීමට ඉඩ නොදේ. සියලු වස්තුව ශනි දශාවේ දී විනාශ වේ. ස්ත්‍රීන්ට විපත් ඇති කරවයි. සියලු දෙනා සතුරු වෙන අතර ගෘහ ජීවිතය ද එපාවෙන තරමට කරුණු යෙදෙයි. ශනි බලවත්ව සිටියොත් විපත් අවම වේ. තුන් වැන්නේ ශනි සිටියොත් සහෝදරයන්ට හෝ මෙහෙකරුවන්ට ආදරයක් නැතිවේ. ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබයි. පිට පළාත්වල සංචාරයට පමුණුවයි. විදේශ රැකියාවලට ද යොමු කරවයි. රජයෙන්, නීතියෙන්, හෝ උසස් නිලධාරීන්ගෙන් දඬුවම් විඳීමට ද සිදුවෙයි. එකොළහේ ද පාපයකු සිටී නම් තම භාර්යාවට ද අපල ගෙන දෙයි. ශනි දුර්වලව සිටියොත් සහෝදරයන්ට පවා විපත් ඇතිවේ. අනුන්ට මෙහෙකාරකම් කරන්නට ද සිදුවෙයි. සහෝදරයින්ගෙන් පිහිටක් නොලබන අතර නිතර දුක් සහිත ජීවිතයක් ගත කිරීමට සිදුවේ.

ශනි හතරවැන්නේ සිටියදී උපන් අය බොහෝවිට අසරණ අනාථ අයට පිහිටවෙයි. තම ධනයෙන් වෙහෙර, විහාර, පන්සල් ආදිය ද කරවයි. තම දේපළ ද සඟසතු කිරීමට තරම් පරිත්‍යාගශීලී වෙයි. ශනි හතරේ චර රාශියක්ව සිටියොත් ස්ථිර වාසස්ථාන නැති කරයි. තැනින් තැන කලින් කල දිවි ගෙවීමට සිදුවිය හැක. නෑදෑයින් නිසා වස්තුව වියදම් කිරීමෙන් දිළිඳු බවට පත් වේ. හතර වැන්නේ ශනි බලවත්ව සිටියොත් දෙපක්ෂයේම නෑදෑයින්ට වඩා බලවත් අයෙක් වේ. පසු කාලයේ දී ගේ දොර ඉඩ කඩම් ඇති අයකු ද වෙයි.

ශනි පස්වැන්නට එතරම් අශුභ නොවේ. කොන්ත්‍රාත් ආදී ව්‍යාපාරවලින් ලාභ ලබයි. දරුවන් අඩුවෙයි. නැතිනම් ඔවුන් රෝගී කරවයි. ශනි උච්චව ස්වක්ෂේත්‍රව සිටියොත් අගුණ පක්ෂය අඩු වී ගුණ පක්ෂය වැඩිවෙයි. ආගමික සිතිවිලි අධිකව පිහිටන බැවින් තම දූ දරුවන් ද පැැවිදි බිමට ඇතුළත් කරවයි. පස්වැන්නේ ශනි දුර්වලව සිටියොත් පළමු දරුවාට මරණය හිමිවෙයි. දූ පුතුන්ගෙන් ශෝකවීම් ඇතිවෙයි. ශනි හය වැන්නේ සිටියදී උපන් අය රන්රුවන්, ලෝහ වර්ග මෙන්ම ධනය ද ලබයි. භූමි ලාභ ඇති අයවේ. උසස් අයගෙන් උදව් ලැබෙයි. මත්පැන්, සූදුව, මස් මැරීම ආදිය මෙන්ම දරුණු ක්‍රියාවලින් ද ධනය උපයයි. ශනි දුර්වලව සිටියොත් වාතරෝග ද, හිරිවාත, කැඩුම්බිදුම් ආදිය ද සිදුවේ. යකඩ පොලු, මුගුරු ආදියෙන් ද හානි පැමිණේ. තිස්වෙනි වියේ දී දීර්ඝ කාලයක් දුක් විඳින රෝගයකට හේතු වේ.

සත් වැන්න ශනිට දික්බල ස්ථානය වෙයි. පොත්වල සඳහන් කර ඇති පරිදි විවාහය ප්‍රමාදවේ. රෝගී වූ ශරීර ඉන්ද්‍රියන්, විවාහක පුරුෂයාට හෝ භාර්යාවට හානි, ඔවුන් අතර ආරවුල් ආදිය ඇති කරයි. හතේ ශනි බලවත් වූ විට අන් හැම ස්ථානයකටම වඩා සුබඵල දෙයි. නියම වයසේ දී විවාහය ද සිදුවෙන අතර වස්තු සම්පත්, නිරෝගී බව හා පී‍්‍රතිමත් යුග ජීවිතයකට හේතුවෙයි.

ශනි අටවැන්නේ සිටියේ නම් දීරිඝායුෂ ඇති කරයි. මෙහෙකරුවන් තලා පෙලා ධනය රැස් කරයි. ශනිට අට ඉතාම අශුභ ස්ථනයක් වෙයි. දරුණු රෝග පීඩා ඇති කරයි. නොයෙක් විපත්තිවලට මුහුණපෑමට සිදුවෙයි. නින්දා අපහාස ලැබීමට හේතුවෙයි. අටවැන්න මාරක ස්ථානය බැවින් එම ස්ථානයට ශනි පැමිණ සිටියදී ඔහුගේ මහදශා, අතුරුදශා ලබා තිබුණොත් ඒරාෂ්ඨක අපලය ඇතිවේ. උපතේ දී සඳු ලග්නය හත, අට, නමය ස්ථානයක සිටියොත් ජන්ම ඒරාෂ්ඨකයද යෙදෙයි. එසේ වූ විට තදබල අශුභඵල ගෙනදෙයි. වැටීම්, සීරීම්, තුවාල අතපය කොරවීම්, වාහන අනතුරු මෙන්ම අංගවිකල වීම ද ඇති කරයි. නවවැන්නේ ශනි පිහිටි විට ශනිට පමණක් නොව කිසිම ග්‍රහයකුට නමවැන්න අශුභ නොවේ. නමය ශනිට යහපත්ය. ඔවුන් අන් අයගෙන් වැදුම් පිඳුම් ලබන්නෝ ද වෙති. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මෙම පිහිටීම ඉතා සුබයි. පස්කම් සැපතට වඩා තපස් ජීවිතයට පි‍්‍රය කරයි. ආගම ධර්මය කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා පවට බියවෙයි. ශනි දුර්වලව සිටියොත් කකුල්වල ආබාධ නිසැකවම ඇතිවේ. පූජක වෙස් ගෙන මිනිසුන් රවටා තම ජීවිකාව කරගනී. හොර සම්මාදම් කාරයෝ සහ පහත්පෙළේ රැකියා කරන අය ද වේ. විශේෂයෙන් තම වාසිය උදෙසා ඕනෑම දෙයක් කිරීමට මැළි නොවේ.

ශනි දස වැන්නේ සිටියදී උපන් අයට තමා කරන කිසිම ක්‍රියාවකින් ප්‍රතිඵල නොලැබෙයි. ගේ දොර ඉඩම් පිළිබඳව අවුල් ඇතිවෙයි. රැකියා ස්ථානයේ ද ප්‍රශ්න ඇතිවේ. පහත් වූ හෝ දරුණු ක්‍රියාවන්ට පොළඹවයි. ශනි එකොළොස් වැන්නේ නම් ශුභ දෘෂ්ටි ලැබ සිටියේ නම් බොහෝ ශුභඵල හිමිවෙයි. ජන්මියාට නොයෙකුත් මාර්ගවලින් ධනය ලැබ ලෞකික ජීවිතයේ දියුණුව ඇති කරවයි. රජයෙන් ද, මිතුරන්ගෙන් ද උසස් ලෙස උපකාර ලබයි. තමාට සතුරුකම් කළ අය ද මිතුරු වේ. උදව් කිරීමට ද ඉදිරිපත් වේ. විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබීමට ද යහපත් වේ. ශනි එකොළහේ සිටීම මිත්‍රයන් හමුවීමට හේතු වෙයි. එමෙන්ම ඔවුන්ගෙන් පාඩු විඳින්නට ද සිදුවේ. වැඩිමහල් සහෝදරයන්ට අපල ගෙන දෙයි.

ශනි දොළොස්වැන්නට සුබ නොවේ. නිතර රෝග ඇති කරයි. අමාරුවෙන් දුකසේ දිවි ගෙවීමට සිදුවෙයි. නෑදෑයින් වෛරවීමට හේතුවෙන අතර ඔවුන්ගෙන් වෙන්ව සිටීමට සිදුවෙනු ඇත. දූ දරුවන්ට සහ භාර්යාවට ද රෝග පීඩා ඇතිවීමෙන් ධන හානිය ඇති කරවයි. ශනි බලවත්ව සිටියොත් රෝගීන්ට අසරණ අයට පිහිටවීමට සිත් යොමු කරවයි. ශනි දොළහේ සිටියදී එම අයගේ මහාදශා, අතුරුදශා ලැබ තිබුණොත් ඒරාෂ්ඨක අපල යෙදීමෙන් තමාගේ ජීවිතය ද සැක සහිත වේ. ශනි දශාවේ දී නඩුහබ ආදියද පටලවයි.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.