සඳු සිකුරු යෝගය ඔබටත් තිබේද?

දෙසැම්බර් 17, 2021

සඳු සිතට හා සිකුරු සෞන්දර්යට බලපෑම් කරන ස්ත්‍රී කාරක තාරුණ්‍යයේ ග්‍රහයින් දෙදෙනෙකි. පාපීන් නොවෙති. ශුභ ඵල කාරකත්වයේ ගෙන දෙන ග්‍රහයින් යුගලකි. කිරි පැණිසේ ය. සංයෝගය මේ යුවළගේ මසකට වරක් යෙදෙයි. සඳු සිකුරු යෝගය බලවත්ව කේන්ද්‍රයක පිහිටීම නිසා ලෞකිකමය සැප සම්පත් ජන්මියාට හිමිකර දෙනු ඇත. සත් වැන්න, ත්‍රිකෝණ ශුභයින්ගෙන් දුෂ්ටිගතවීම හා ස්වක්ෂේත්‍රවීම උච්චවීමද සඳු ශුක්‍ර යෙදීම අතිශයින්ම ශේෂ්ඨතම සුබ ඵල ගෙන දෙනු ඇත. එහෙත් පාපීන්ගේ දුෂ්ටිය එක්වීම හරහා අසුබ ඵල විපාකයන්ට නිතැතින්ම ගොදුරු වන්නේ ය.

යුග දිවියේ ලිංගික පැවැත්ම පිළිබඳ දායකත්වය දරනුයේ සඳු හා ශුක්‍රය. මේ ග්‍රහ යෝගය කේන්ද්‍රයේ කිනම් භාවයක වුවත් යෙදී ඇත්නම් දෙපක්ෂයේම මානසික මට්ටම කාමුක හැඟීම්වලට කාන්දුවනු ඇත. සෞන්දර්ය රස පහස සොයනු ඇත. මෙම සඳු සිකුරු යෝගය අසුබ ස්ථානයක පිහිටීම යෝග්‍ය නොවේ. සඳු ශුක්‍ර නීචවී හෝ සතුරුව රැසක සිටීම නිසා අධික කාමුක යෝගයක් නිර්මාණය වනු ඇත. මෙම යෝගයෙන් ශාරීරික බාහිර පෙනුම කාම ශක්තිය වඩනු ඇත. ලග්නය හෝ සතර වැන්නේ ද සත් වැන්නේ නම් ස්ත්‍රියක් නම් කාම ශක්ත අඟ පසඟ මෙන්ම කාම ඉරියව් සිරුර තුළින් කැපී පෙනේ. අන්‍යයන් වශී කරන මුළාවන පිහිටීමක් ඇතිවේ. සමහර විට මේ පෙනුම නිසාම ඇයට ආකර්ශනය වන ප්‍රතිවිරුද්ධ අය පිරිමි පක්ෂය මුළා බවට පත්වේ. උත්පලවණ්නා උයනේ දී සැරියුත් හිමියන්ට අඹ ගෙඩියකින් ගසා තමාවෙත ආකර්ෂණය කර ගැනීමට තැත් කළාය. “කවියාගේ සිතුවිල්ල කොතරම් රසවත්ද චමත්කාරද යන්න පසක්වේ.

නෙත් දෙක තවම රස නොම හඳුනන පාට යි

නිදිමත ගතිය එහි නිළඳුන් නැති පාට යි

මා සතු අඳුන් ‘ඉඳුලද නවවක’ දාට යි

හිමියනි සිකුරු සඳු යෝගය අද රෑට යි

දර්ශනං චිත්ත තෙවතල්‍ය ස්පර්ශනං ධන නාසනම් මෙවැනි යෞවන කාම ශක්ති සිරුර දැකීමෙන් පුරුෂයාගේ චිත්තය විකල් බවට පත්වේ යැයි ප්‍රත්‍යශතකයේ සඳහන්ව තිබේ. ඒ සඳු, සිකුරු යෝගයේ ප්‍රතිඵලයක් විය හැකි ය. මේ බලවත් යෝගය ඉතාම අයහපත් අන්දමට යෙදී ඇත්නම් එහි ක්‍රියාකාරීත්වය කඩිනම් වේ. සමහර විට යුගදිවිය අවුල්සහගත තත්ත්වයට පත්වනු ඇත. ස්ත්‍රිය හෝ පුරුෂයා අනාචාරයට පෙලඹීමේ අවකාශයද නිතැතින්ම ඇති වන්නේ ය.

විවාහ ජීවිතයේදී දෙදෙනා අතර බැඳීම ආදරය සෙනෙහස, විශ්වාසය, අත්‍යවශ්‍ය වේ. එක් අයකු වෙනත් පැත්තකට යොමු වීමෙන් සිදුවන්නේ විවාහය දෙදරා යෑමකි.

සඳු, ශුක්‍ර යෝගය ගැන ඇතුළතින් හාරා අවුස්සා බලන විටදී පෙනී යන්නේ දෙදෙනාගෙන් එක් අයකු යුගදිවියේ තෘප්තියට පත් නොවීමයි. බොහෝ විට සිදු වන්නේ ශාරීරික ක්‍රියාවලිය අනුව සැමියා ඉක්මනින්ම තෘප්තියට පත් වීමත් බිරිඳ අතෘප්තිකර තත්වයෙන් පසුවීමත්ය. මේ අන්දමට දිගු කලක් පවතින්නේ නම් බිරිඳ වෙනත් පැතිකඩක් සොයනු ඇත. එය වැළැක්විය නොහැකි ය. යුග දිවිය පැත්තෙන් බලනවිටදී ඇයට බලවත්ම අසාධාරණයක් වින්දනයේ දී සිදුවී තිබේ. කාලය ප්‍රශ්නයට විසඳුමක් දෙනු ඇත. ඉඳුරන් පිනවීමට සිත මුල් කරගන්නා නිසා ප්‍රශ්න වැඩිවේ. දෙදෙනාටම මෙම යෝගය පිහිටා තිබීම එක අතකින් අයහපත් නොවේ. දෙදෙනාම රසවින්දනයේ උපරිම අවස්ථා කළමනාකරණය කර ගැනීමට උපක්‍රමශීලිවන නිසා යුග දිවියේ පිට බාහිර පෙනුමට වඩා ඇතුළත ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම වෙනස්ය. ස්ත්‍රී පුරුෂ ලිංගිකාවලිය තරමක උණුසුම් සහගත වන්නේ නම් දෙදෙනාම එකම මානසික හා කායික හැසිරීමක පිහිටිය යුතු යි. ඇල් මැරුණ ජීවිත අහිතකර වේ.

යුග දිවියේ දී ඇත්ත කතාව නම් බිරිඳ තෘප්තිමත් භාවයට පත් කිරීමට කාලය අවශ්‍ය වේ. එහෙත් සැමියා කඩිනම් තෘප්තියට පත් වන්නේ නම් දෙදෙනා අතර කිසිදු පෑහීමක් සිදු නොවේ. බිරිඳ සෑම විටම සැමියා සමඟ වෛරයෙන් සිටින බව නොරහසකි. කායච්ඡේද ශාරීරික විද්‍යාව අනුව නිරීක්ෂණය කරන විට දී බොහෝ විවාහ ජීවිත කඩාවැටීමට මූලිකම හේතුව සැමියා ඉක්මන් වීමයි. ඒකයි. ඇත්තම ඇත්ත කතාව. පොරොන්දම් තබා කුමන අයුරකින් හෝ විමසා බැලුවත් යුග දිවිය සාර්ථකත්වයට පත් වන්නේ බිරිඳ සතුටු වුවහොත් පමණි. වසර 70 ක අත්දැකීම් හරහා විවිධ ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර විමසුමට ලක්කොට සොයාගත් කරුණු හරහා ප්‍රකාශ කර සිටිමු. යුග දිවියේ දී බිරිඳ පූර්ණ ලිංගිකමය තෘප්තියකට පත් වන්නේ නම් ඇය සැමියාගෙන් එක් රැයක්වත් වෙන් කළ නොහැකිය. සඳු ශුක්‍ර අශුභ තත්ත්වයෙන් ක්‍රියා කරන ලද ජන්ම පත්‍ර අතිවිශාල සංඛ්‍යාවක් අපට හමු වී තිබේ. ඒ අතරම සඳු සිකුරු ඉතාම සුබවාදීව හැසිරෙන ජන්ම පත්‍ර හිමියන් තෘප්තිමත් ජීවිත ගත කරන අයුරු අප දැක ඇත්තෙමු. ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් හා යස ඉසුරු සැප සම්පත් කොතෙක් තිබුණත් අඹුසැමි දෙදෙනාම සාධාරණ සතුටට පත් නොවන්නේ නම් එතැන ඇත්තේ අපා දුකකි.

විවාහ වීමේ දී පොරොන්දම් ගැළපීම්වලට පමණක් සීමා නොවී ග්‍රහ ගැළපීම් නිරීක්ෂණය කර යුග දිවියට පා තැබුවහොත් සාර්ථකව විවාහයක් ඉදිරියට ගෙන යෑමට හැකිවේ. අශුභ යෝග යෙදී තිබුණ නිසාම විවාහ දිවිය ප්‍රතික්ෂේප කිරීම බුද්ධිගෝචර නොවේ. අශුභ යෝග බල පාලනය කර ගැනීමට හැකි හැකියාවන් ඡ්‍යොතිෂ විද්‍යාව තුළ ගැබ්වී තිබෙන නිසා ක්‍රමවත් ඉඩ හසර සලසා ගැනීම වැඩදායක වන්නේ ය. ඔබට යමක් සිතීමට ඉඩ හරිමු.

ඡ්‍යොතිෂවේදී, දේශබන්ධු

ටී. හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.