සුබ වැඩ වලට විශාල මෙහෙවරක් ඉටුකරන කරණය

දෙසැම්බර් 31, 2021

අපේ පැරණි අය ගොවිතැන් කටයුතු සහ වෙදකමේදී ඉගෙනීම් කටයුතුවලදී ඡ්‍යොතිෂ විද්‍යානුකූලව නැකත් යෝග සහ කරණ උපරිම අයුරින් යොදා ගත්හ.

සාමාන්‍ය අය පවා යෝග හා කරණ භාවිතා කරන ලදී. විශේෂයෙන්ම ගොඩ මඩ ගොවිතැන්වලදී වී වැපිරීම ඇට තවන් දැමීම් ආදිය යොදා ගන්නේ සුබ කරණ ඇසුරිනි.

පංචාංගයේ කරණයට විශේෂ තැනක් දී තිබිණ. යෝගය මුල් කොටගෙන නැකැත් සෑදීමෙන් මල්වර පලාපල කීමටත් කරණය අගනා මෙහෙවරක් කරනු ඇත. චර– තිර ප්‍රභේද දෙකකි. තිථිය දෙකට බෙදීමෙන් කරණය සෑදී තිබේ. නැකැත් තිථි යෝග මුළු දවස පුරාම පැවතියත් කරණය දවස පුරා නොපවතී.

බව බාලව, කෞලව, තෛතිල, ගරජ, වණිජ, විෂ්ටි යනුවෙන් චර කරණ හතකි.

තිර කරණ හතර වනුයේ ක්‍රිංස්තුංග , සකුණ, චතුෂ්පාද , නාග නමින්ය.

බව කරණය පුර පෑලවිය පුර අටවක පුර පසළොස්වක අවසතවක යන තිථිවල අපරාර්ධයේද පුර විසේනිය පුර දොළොස්වක අව ජලවක අව එකොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේද බව කරණය යෙදේ. විහාර දේවාල වැනි ආගමික ගොඩනැගිලි ඉදිකිරීමට ඉතාම සුබයි. ගව කම්හල් තැනීමට ද ඉරිදා දිනක යෙදීමෙන් ගවයින්ගේ වැඩවලට ඉතාම සුබයි. බාලවකරණය / පුර දියවක පුර නවවක අව අටවක ,අව පෑලවිය යන තිථිවල පූර්වාර්ධයේද පුර විසේනිය පුර දොළොස්වක සහ අව ජලවක අව එකොළොස්වක යන තිථිවලද අපරාර්ධයේද බාලවකරණ යෙදෙන අතර, පැවිදි කිරීම සීමාමාලක තුළ උපසම්පදාකරණයට (ආධ්‍යාත්මික පැතිකඩට යහපත්ය.

කෞලව කරණය /පුර සටවක තෙළෙස්වක අව විසේනිය අව දොළොස්වක යන තිථිවල පූර්වාර්ධයේද පුර දියවක පුර නවවක අව පෑලවිය අව අටවක යන තිථී තුළ කෞලව කරණය යෙදේ. සුබ වැඩකටයුතු වලට ඉතාම සුබයි. දියුණුව හා සම්පත් ලැබේ.

තෛතිලකරණය / පුර දියවක පුර දසවක අව සටවක යන තිථිවල පෙර කොටසේද පුර සටවක පුර තෙලෙස්වක අව විසේනිය අව දොළොස්වක යන තිථිවල අපර කොටසේද තෛතිල කරණය යෙදේ. විවාහ යෝජනා මංගල කටයුතු වලට ඉතාම සුබයි.

ගරජ කරණය /පුර සතවක /පුර තුදුස්වක, අවසැටවක, අවතෙලෙස්වක යන කොටසේද පුර තියවක පුර දසවක අව දියවක අව නවවක යන තිථිවල අපර කොටසේද ගරජ කරණය යෙදේ. වී ගොවිතැන, ගොඩ ගොවිතැන ආදී කෘෂිකර්මාන්ත වැඩවලට ඉතාම සුබදායක වේ.

වණිජකරණය /පුර ජලවක පුර එකොළොස්වක අව තියවක අවදියවක යන තිථි වලද පුර සතවක පුර තුදුස්වක අව සටවක අව තෙලෙස්වක යන තිථිවල අපරාර්ධයේ වණීජ කරණය යෙදේ. නිවාස ඉදිකිරීම් ගෙවදීම් ව්‍යාපාර ඇරඹීම මෙන්ම සියලුම මූල්‍ය කටයුතුවලට ඉතාම සුබයි.

සකුණ කරණය /අවතුදුස්වක අපරාර්ධයේ මේ කරණය යෙදේ. ග්‍රහ ශාන්තිකර්ම පුද පූජා තැබීම බලි යාග ඖෂධ එකලස් කිරීම /තෙල් කල්ක ගුලි චූර්ණ රසායන වර්ග ආලේපන සැකසීම ධාන්‍ය වර්ග අටුවලට පිරවීමට, ගම්මඩු ශාන්තිකර්ම කිරීමට ඉතාම යහපත්ය.

චතුෂ්පාදකරණය /මේ කරණය යෙදෙන්නේ අමාවක පූර්වාර්ධයේදීය /ගවයින්ගේ කුර ගැසීම හංවඩු ගැසීම , ලාඩම් ගැසීම , පට්ටි දැමීම, කරත්තයට මුල්ම කරතැබීම, තිරික්කල් රේස්වලට , ගවගාල් ඉදිකිරීමට ඉතාම සුබයි.

නාගකරණය /අමාවක අපර භාගයේ උදාවේ. අශ්වාරෝහක කඩු දුනු හී ශිල්ප ඇරඹීමට පුහුණුවට අශ්ව කරත්ත යේ අශ්වයා මුලින්ම කර බැඳීමට ඉස්තාලය ගොඩනැගීමට ඉතාම සුබයි.

සෑම පංචාංග ලිතකම මෙම කරණය ලබන ගෙවෙන වේලාවන් සඳහන් වී තිබේ. එබැවින් සිය දෛනික වැඩකටයුතු වලට ඉතාම සුබ වශයෙන් කරණය යොදාගත හැකිවේ.

ඡ්‍යොතිෂයේ දැක්වෙන අයුරින් එක් කරුණකින් එකම අංශයකින්ද උපරිම ප්‍රයෝජන ගත නොහැකි ය. විවිධ කරුණු ඒකරාශි කර ගත යුතුයි. ඒ ගැන ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී දිනය නැකත යෝගය මෙන්ම කරණයද අතිශයින්ම වැදගත් බැව් දැක්විය හැකිය. ට ඡ්‍යොතිෂවිද්‍යාවේ අවසන් තිතක් නැත.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී, දේශබන්ධු ටී. හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.