ඡ්‍යොතිෂයෙන් ලොවක් අවදි කළ සොඳුරු ගුරුතුමා පියසේන රතුවිතාන

අප්‍රේල් 22, 2022

සුවහසක් දූ දරුවන්ගේ නැණැස පාදන්නට උර දුන් ගුරු පියකු ලෙසත් ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රටට දායාද කළ දක්ෂ ලේඛකයකු, කවියකු සහ ගීත රචකයකු ලෙසත් ඡ්‍යොතිෂයෙන් ලොවක් අවදි කළ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදියකු පමණක් නොව ජනමාධ්‍යයට මහඟු සේවයක් කළ ජනමාධ්‍යවේදියකු ලෙසත් පියසේන රතුවිතානයන් හැඳීන්විය හැකි ය. 1931 ඔක්තෝම්බර් මස 15 වැනි දා කළුතර කොහොලාන ගම්පියසේ දී මෙලොව එළිය දුටු පියසේන රතුවිතානයෝ පසුගිය 14 වැනි දින අනූඑක් වසරක් ආයු වළඳා දිවි රඟමඬලෙන් බැස ගියෝ ය.

ගොවි පවුලක උපත ලද පියසේන රතුවිතානයෝ දරුවන් අට දෙනකුගෙන් යුතු වූ පවුලේ වාසනාවන්ත මද්දුමයා වූහ. කිසිදා පාසල් නොගිය අකුරු නොදත් ඔහුගේ මව‍ගේ ඒකායන අරමුණ වුයේ කෙසේ හෝ තම පුතු ද අධ්‍යාපනයෙන් ඉහළට යනවා දැකීමය. මවගේ හා පියාගේ මඟපෙන්වීම මත රතුවිතානයෝ අධ්‍යාපනයෙන් ඉහළට යන්නට සමත් වූහ. කුඩා කළ සිටම පුවත්පත් කියවීමටත් ලිවීමටත් ඔහු දක්ෂතා දැක්වූයේ ය. තම අතට අසුවන කුමන හෝ පොතක් කියවීමටත් සිළුමිණ, දිනමිණ, සිංහල ජාතිය පත්තර කියවීම ඔහුගේ දිවියේම කොටසක් විය.

මවු පියන්ගේ මඟ පෙන්වීම ඔස්සේ රතුවිතාන මහතා තම ගම් පියසේ පිහිටි කොහොලාන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. උසස් අධ්‍යාපනයෙන් පසුව ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා ඔහු විලියම් මහතා නමැති දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ගියේය. ඔහු ගිය ඒ ගමන ඔහුගේ දිවියම වෙනස් කරන මාවතකට ඔහු යොමු කරවන්නට සමත් විය. එහි දී වෝල්ටර් පෙරේරා නම් වූ ඡායාරූප මාධ්‍යවේදියා ඔහුට මුණ ගැසිණි. ඒ අනුව ඔහුට මාධ්‍යවේදීන් මෙන්ම පන්සල් ගණනාවක උගත් ස්වාමීන්වහන්සේලා ද ඇසුරු කරන්නට හැකි විය. ඒ ඔස්සේ සිංහල සාහිත්‍යය, අගම දහම පිළිබඳ බොහෝ දේ උගැනීමට ඔහුට අවස්ථාව හිමි විය. එලෙසම පුවත්පත් ලිපි ලේඛනයට ද හුරු විය. පසු කලෙක නිට්ටඹුව ජාතික අධ්‍යාපන පිඨයට ඇතුළු වූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස කටයුතු කළේය. තම වෘත්තීය දිවියේ දී මෙන්ම පෞද්ගලික දිවියේ දී ද ඉතා වාසනාවන්ත වූ ඔහු විවාහ වූයේ ගුරුවරියක වූ පල්ලේ කංකානම්ගේ දෝන දොස්ලින් විජේගුණවර්ධන සමඟිනි. ඒ 1965 ජනවාරි 08 වැනි දාය. පුතුන් දෙදෙනකුගේ හා දූවරුන් දෙදෙනකුගේ මවුපියන් වූ රතුවිතාන යුවළට මුනුපුරු මිනිපිරියන් පස්දෙනකි. තම වැඩිමහල් පුතු උපන් වේලාවේ පුතුගේ කේන්දරය බැලූ දෛවඥයන් පවසා තිබුණේ රතුවිතානයන්ගේ වැඩිමල් පුතු වයස අවුරුදු 12 දී මිය යන බවකි. මෙයින් බලවත් කම්පාවට පත් වූ ඔහු මේ සඳහා විසඳුමක් සෙවීමට ඡ්‍යොතිෂශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට විය. ඒ කෑගල්ලේ සාර ගුරුන්නාන්සේ වෙතිනි. එහි දී ඔහු ඡ්‍යොතිෂය පිළිබඳ බොහෝ කරුණු කාරණා උගත්තේ ය. එලෙසම එහි ආචාර ධර්ම අකුරටම සුරැක්කේ ය.

තම වෘත්තීය ජීවිතය තුළ පාසල් 27ක සේවය කරමින් දරුවන් දහස් ගණනකගේ නැණස පෑදූ රතුවිතාන මහතා කවි, නවකතා සහ කෙටිකතා ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.

මිහිර පුවත්පත ආරම්භයේ සිටම ‘මිහිර‘ යන නම යෝජනා කරමින් මුල් ම පුවත්පතේ දළ සැකැස්ම පවා නිර්මාණය කළ පියසේන රතුවිතානයන් එදා මෙදාතුර විවිධ මාතෘකා ඔස්සේ දශක හතරකටත් අධික කාලයක සිට පරම්පරා ගණනාවක් වෙනුවෙන් සුවිශාල දායකත්වයක් සපයනු ලැබූ විද්වතෙකි. 2009 වසරේ වසරේ ඔහු ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබුවේය.

සුබසෙත පුවත්පතේ ද හිටපු උපදේශක කර්තෘවරයකු වූ ඒ මහතා සංකීර්ණ ජ්‍යොතිෂ සිද්ධාන්ත සරල සුමඟ භාෂාවෙන් සාමාන්‍ය ජනතාවට පැහැදිලි කිරිමේ අතිදක්ෂයකු විය. ජ්‍යෝතිෂයේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සාමාන්‍ය ජනතාවට වඩා ප්‍රයෝජනවත් වන ලෙස ඡ්‍යොතිෂ ආචාර්යවරයකු භාෂා විශාරදයකු ලෙස ඔහු ඉටුකළේ සද්චේතනාවෙනි.

කෙටි කලක් රෝගාතුරව සිට කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු බොරැල්ල ආදාහනාගාරයේ දී සිදු විය. පියසේන රතුවිතාන මහතාණෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවායි! අපි පතමු.

 

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.