වෙසක් පෝය දා රවි වෘෂභ රාශියට

මැයි 6, 2022

 

2022 මැයි මස 15 වෙනි ඉරිදා පෙරවරු 5.29ට ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම සිකුරු හිමි වාෂභ රාශියට පැමිණ ජුනි මස 15 දින උදේ කාලය වනතුරු එහි ගමන් ගනී. මෙම කාලය තුළ රවි හිමි කැති නැකතේ 2,3,4 පාදත් සඳු හිමි රෙහෙන නැකත සම්පූර්ණව හා කුජ හිමි මුවසිරස නැකතේ 1 -2 පාදත් යන නැකැත්පාද 9 පසු කරනු ඇත. රවි සංක්‍රමණය සිදුවන අවස්ථාවේ කුජ හිමි මේෂ ලග්නයත් බුධ හිමි කන්‍යා නවාංශකයත් ලබා තිබුණ අතර ලග්නයේ රාහු, යුරේනස් ද, රවි බුධ දෙවැන්නේ ද සඳු කේතු 7 වැන්නේ ද, 11 වැන්නේ කුජ, ශනි, නෙප්චූන් ද 12 වැන්නේ ගුරු සිකුරු ද පතිතව ඇත.

ලග්න ගත යුරේනස් සෙනසුරු මෙන් පාප ග්‍රහයෙකි. ශුභ පලයක් අපේක්ෂා කිරීම අපහසු වේ. විප්ලවකාරි, තර්ජන, වර්ජන, ගර්ජන අඩුවක් නැතිව සමාජගත කරයි. ප්‍රකෝපකාරි අදහස් තරුණ ජවයට එක්කරයි. ආණ්ඩු විරෝධී ක්‍රියා එළි දක්වයි. කැරැළි කෝලාහළ, නීති විරෝධි ක්‍රියා මං පැහැරීම්, හදිසි අනතුරුවලින් අඩුවක් නොපෙනේ. මන්ත්‍රී සභාවේ වෙනස්වීම්වලට අවකාශයි. රටේ ආර්ථික තත්ත්වය වර්ධනය වේ. විදේශාධාර වැඩිපුර ලැබෙන කාලයකි. සෞඛ්‍ය අධ්‍යාපන, අංශ කෙරෙහි අවධානය වැඩිවේ. නව ව්‍යවස්ථා එළි දකී.

රවි, වෘෂභ රැසට පැමිණි පසු කුජ මැයි 17 දින මීන රැසටත් මැයි 23 වැනි දින සිකුරු මේෂයටත්, ජුනි 04 දින සෙනසුරු වක්‍රයක් සිදුවේ. දැන් අපි ඒ ඒ ලග්නවලට කෙසේදැයි බලමු.

මේෂ

ලග්නාධිපති කුජ, සෙනසුරු හා එක්ව 11 වෙනි රැසෙහි කුම්භයේ සිටී. මෙහි සෙනසුරු බාධක ග්‍රහයා වුවත් කුම්භ රැසෙහි මුල ත්‍රිකෝණ බලය ඇතිව සිටීම නව ආර්ථික සැලැස්ම යටතේ මූල්‍ය පහසුකම් ලබා දෙයි. 5 හිමි රවි, බුධ හා එක්ව දෙවැන්න වූ ධනස්ථාන ගතවීම මුදල් තත්ත්වය වැඩිදියුණු වේ. බලාපොරොත්තු දේ පමාවී හෝ ලබාදේ. මංගල කටයුතු සාර්ථක වේ. විදේශ ගමන්වලට ද ශුභ වේ.

වෘෂභ

ධර්ම, කර්මාධිපති ශනි 10 වැන්නේ බලවත් බැවින් තමා අපේක්ෂා කරන රැකී රක්ෂාදියට මං පෙත් විවර කරදෙයි. 11 වැන්නේ ගුරු, කිවි බලවත්වීම ධනය ලබා දෙයි. අධ්‍යාපන කටයුතු ඉහළ තලවලට පත්කර දෙයි. විදේශ ධනයට ද විදේශ ගමන්වලට ද හිතකර වේ. මංගල සීනු නාදවේ.

මිථුන

ලග්නාධිපති බුධ රවි සමඟ සංයෝගව 12 වැන්නේ ගමන ශුභදායක වේ. 11 වැන්නේ රාහුගේ බලය ද දෝෂ සිඳලයි. 9 වැන්නේ ශනි බලවත් වීමත් 10 වැන්නේ මිත්‍ර සිකුරු හා බාධක ගුරු බලය පැතිරවීම තම අනාගත අපේක්ෂාවන්ට හොඳ තත්ත්වයක් ගෙනේ. රැකියා දියුණුව උසස්වීම් ලැබීම තරග විභාග ජය ගෙන දේ.

කටක

ලග්නාධිපති සඳු 4 වැන්නේ තුලා රාශියෙන් දිග්බලයෙන් යුතුව සිටී. 9 වැන්නේ එහි අධිපති ගුරු 11 -4 අධිපති සිකුරු සමඟ සිටීම ප්‍රබල ග්‍රහ පිහිටීමක් වන අතර ලග්නය දැකීමත් තම සිතුම් පැතුම් සපුරාගත හැකි වාතාවරණයක් පෙන්නුම් කරයි. වාසනාව ගෙනේ. තරඟ, විභාග ජය අත්වේ. ප්‍රමාද වී හෝ යානවාහන ලාභ ඇතිවේ. මංගල කටයුතුවලට බාධා ඇත.

සිංහ

ලග්නාපති රවි 10 වැන්නේ දිග්බලයෙන් සිටීම ඉතා වටිනා එකකි. රාජ්‍ය අංශයේ උසස්වීම් ලැබේ. වගකීම් භාර ගැනීමට සිදුවේ. ඉහළ තනතුරුවලට පත් කෙරේ. විවාහ කටයුතුවලට එතරම් ශුභ නැත. පාපයන් දෙපළක් 7වැන්න ආශ්‍රය කරන නිසා ඒවා කල් දැමීම ප්‍රඥාගෝචර වේ.

කන්‍යා

ලග්නපති බුධ රවි හා එක්ව 9 වැන්නේ සිටීම තම අපේක්ෂාවන් මුදුන්පත් කර ගනී. තරග විභාග ජය ලැබේ. ලාභ ලැබේ. ප්‍රභූන්ගේ ආධාර උපකාර ලැබෙන අතරම වාසනාවන්ත විවාහ මංගල කටයුතුවලට ද ශුභවේ. විදේශ ගමන් ආදියට ද ශුභයි.

තුලා

10 වැන්නාධිපති සඳු කේතු සමඟ ලග්නගතව යාම ශුභවේ. ඥානයෝග ගෙනේ. අධ්‍යයන කටයුතු වලට ද හිතකරය. තම ඥාතීන් අතර කැපී පෙනේ. ඒ අයගේ ආධාර උපකාර ලැබේ. ලග්නපති උච්චව සිටීම වාසනාව ගෙන දේ. මංගල කටයුතුවලට බාධා ඇත.

වෘශ්චික

10 වැන්නාධිපති රවි 7 වැන්නේ භාග්‍යස්ථානයට පූර්ණ දාෂ්ටි හෙළීම වාසනාවන්ත වේ. 4 වැන්නාධීපති ශනි කුම්භ රැසෙහි “ශශ” යෝග බලය ලබමින් සිටීම මේ කාලය තුළ වෘශ්චිකයෙන් ජනිතවන දරුවන් ගේ කේන්ද්‍රවල එකී රාජයෝගය පිහිටනවා ඇත. 5වැන්නේ ගුරු සිකුරු රාජයෝග දෙකම ප්‍රබල වේ. මේ ග්‍රහ තත්ත්වයන් නිසා තම ජීවිතයේ නව ගමන් මඟකට යා හැක. අපේක්ෂාවෙන් සමෘද්ධ වේ.

ධනු

ලග්නපති ගුරු 4 වැන්නේ රාජයෝග ලබමින් ගමන් කිරීම තම චිත්ත සන්තාපයන් වැඩි දියුණුව කරා ගෙන යයි. සහෝදර පක්ෂයට තරමක් අශුභ වේ. ඉඩකඩම් ගේ දොර වාසනාව ලැබේ. මවුපස ඥාතීන්ට ශුභයි. තම ඥාතීන්ගේ ගෞරවාදරයට පත්වේ. අලුතෙන් ව්‍යාපාර ආරම්භයට ඉතා හොඳයි.

මකර

ලග්නපති ශනි 2 වැන්නේ ධනස්ථාන ගතව යාම ඒරාෂ්ඨක වුවත් තම අභිප්‍රායයන් සපල කර ගැනීමට බාධාවක් නැත. 11 වැන්නාධීපති කුජ හදිසි වාසනා ගෙන දෙයි. ආර්ථිකය යහපත් වේ. මෙතෙක් තිබූ ඉඩකඩම් ප්‍රශ්න අවසන් වේ. සහෝදර පක්ෂයේ ද ආධාර උපකාර ගෙන දේ. අභියෝග ජයගෙන සංවර්ධනය සඳහා යා හැක. හවුල් ව්‍යාපාරවලට හොඳයි. භූමිලාභ ද ලැබේ.

කුම්භ

ලග්නාධිපති ශනි කර්මස්ථානාධිපති කුජ හා එක්වී ලග්නයේ හැසිරේ. එයා ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට මාර්ග පාදා දෙයි. මුදල් යොදවා කරනු ලබන ව්‍යාපාරවලට ඉතා හොඳයි. තමුන් කරන දේ කල්පනාකාරිව කරන්න. ඉක්මණ්වීම තම වැඩ අවුල් කිරීමට මාන බලයි.

මීන

ලග්නපති ගුරු රාජයෝග බල ලබා දෙමින් ලග්නයේ දිග්බලව යාම වාසනාවන්ත ලෙස තම ඉදිරි වැඩ කටයුතු සාර්ථක කිරීමට මං සලසයි. ආගමික අංශයට නැඹුරුව වැඩ කළොත් ඉතා යහපත් වේ. තමුන් සිතා ගෙන සිටින වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට සිතන්න. අභියෝගවලට මුහුණ දෙන්න. දෝෂාරෝපණ ආදිය ඉවසා සිටින්න. අන් අයට මෛත්‍රී කර තමාට ද මෛත්‍රී සිත් ඇතිකර ගන්න. ජය ලැබේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ. එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.