ග්‍රහයන් ඔබට සල්ලි මවන හැටි

මැයි 20, 2022

ලොව පුරා පැතිර පවත්නා තරගකාරී ජීවන රටාව හරහා මුදල් වලට හිමි වී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. මුදල් ඇත්නම් කරන්නට බැරි දෙයක් මෙලොව නැති තරම් යැයි අද කවුරුත් පවසති. එනිසාම හොඳින් හෝ නරකින් මුදල් සෙවීමට මිනිසා ක්‍රියාකරනු ඇත. ලොතරැයිපත් සූරන්නේ ද විවිධ ක්‍රීඩාවල නියැලෙන්නේ ද එකවර විශාල ධනස්කන්දයක් ලබාගැනීමේ ආසාවෙනි. මුදල් පසුපස හඹා යෑම නිසා මිනිස් ජීවිත ඉතාම අවාසනාවන්ත තත්ත්වයට පත්ව ඇති අයුරු දක්නට තිබේ. කොතරම් සල්ලි සෙවීමට උත්සාහ කළත් එයින් තෘප්තියට පත් නොවන බවද පසක් වී ඇති අතර, එක් අතකින් දෛවයේ සරදමක් හැටියට ද එය සැලකිය හැක.

මේ පිළිබඳව ඡ්‍යොතිෂ ඇසින් නිරීක්ෂණය කරන විටදී ග්‍රහ හැසිරීම් රටාව වැදගත් වේ. ධනයෝග මෙන්ම නිර්ධනයෝග ද ගැබ් වී තිබේ. ධනය ගැන 2 හා 11 වැන්නට පමණ සීමා නොකර විවිධ ඉසව් නිරීක්ෂණය කිරීම මැනවි. කේන්ද්‍රයක අසුබ යැයි සලකන 8 වැන්නේ වුව ද මහා ධන කුවේරයෙක් වීමේ බලයක් තිබෙන බැව් පෙනේ. තවත් භාවස්ථාන 5ක්ම බැලිය යුතුවේ. ලග්නයත් පෙර භවය ගැන තොරතුරු අනාවරණය වන තැන 5 වැන්නත් වාසනාව පුණ්‍ය ස්ථානය වන 9 වැන්නත් ලෞකිකමය සම්පත් ගැන කියැවෙන 2 වැන්නත් අයස්ථානය වන 11 වැන්නත් ගැන සොයා බැලීම අනිවාර්ය වේ.

2 වැන්න හා 11 වැන්න අධිපතීන් ලග්නයේ තැන්පත් වීම ප්‍රබලතම ධන කාරකීය තත්ත්වයකි. දෙවැන්නාධිපති තැන්පත්ව සිටි භාවයෙන් දෙවැන්න අධිපති හා ලග්නාධිපති සංයෝගව කේන්ද්‍රගතවීම දෙවැන්නාධිපති හා 10 වැන්නාධිපති යෝගව 5 වැන්නේ හෝ 9 වැන්නේ වීමද 2 වැන්නාධිපතියා බලවත්ව 9, 10, 11 යන තැන්වලින් එකක වීම ද ධනයෝග කාරක වේ. ලග්නාධිපති 2 වැන්නේ ද 11 වැන්නාධිපති දසවැන්නේ ද සිටියදී ඉන් එක් අධිපතියකුට හෝ ගුරුගේ දෘෂ්ටිය ලැබූ විට ද 2, 9, 11 අධිපතීන් බලවත්ව කේන්ද්‍රගත වූ විට ලග්නාධිපති දෙවැන්නාධිපති හා එකොළොස් වැන්නාධිපති පිළිවෙළින් සිය රාශිවල සිටීමෙන් ද හිටි හැටියේ ධන සම්පත් ලැබේ. 2 වැන්නාධිපති දෙවැන්නේ තැන්පත්ව 5 වැන්නාධිපති 5 වැන්නේ වීමද ධනය ලැබීමට වාසනාව පෑදේ. 5 වැන්නේ ශනි ස්වක්ෂේත්‍රව සිට කුජ බුධ දෙදෙනා 11 වැන්නේ වීම ද බුධ ශුක්‍ර 2 වැන්නේ වීම ද ධනය ලැබීමට හේතුකාරක වේ.

5 වැන්නේ ගුරු ස්වක්ෂේත්‍රව සිට 11 වැන්නේ සඳු හා කුජ සංයෝගයෙන් ධනය ලැබේ. 11 වැන්නාධිපති සුබයින් සමඟ ත්‍රිකෝණ ස්ථානගතවීමෙන් ද ධනය අත්වේ. ග්‍රහයින් 4 දෙනෙක් ස්වක්ෂේත්‍රවීම ද 1, 4, 7, 10 යන හතරේම සුබයින් සිටීම ද ධනය ලැබෙන්නකි. දෙවැන්නාධිපති 8 වැන්නේ සිටීම හෝ 8 වැන්නේ සෞම්‍ය ග්‍රහයින් සිටීම හරහා ධනය ලැබේ. මේ අයුරින් බලනවිට තවත් ධනය ලැබෙන යෝග ඇත්තේ ය.

ලග්නාධිපති නීචවීම හෝ 9 වැන්නාධිපති නීචවීම නිසා ධනය රැඳීමට බාධා පැමිණේ. විශාල ධනවතකු වුව ද හදිසි කරදර විපත් නිසාම ලග්නාධිපති හෝ 9 වැන්නාධිපති නීචය බලපාන අයුරු දැක ගත හැක.

6 වැන්නාධිපතිගේ 8 වැන්නාධිපතිගේ හෝ 12 වැන්නාධිපතිගේ අහිතකර බලපෑම් නිසාම රාහු සංයෝගයෙන් ද ධන යෝග දුර්වල කිරීමට හේතුකාරක වේ. ධන යෝග ගැන විමසීමේ දී යුරේනස්, නැප්චූන් ගැන ද සලකා බැලීම වැදගත් ය. වත්මන්හි විදේශගතවී රැකියා හරහා හෝ විදේශගත ව්‍යාපාරයන්හි යෙදීම නිවේදනය කරන භාවයක් හා ග්‍රහ හැසිරීම් රටාව ගැන සැලකිලිමත්වීම කාලීන වශයෙන් බලන විට දී ඉතාම වැදගත් වන බැව් සනිටුහන් කරමු.

සමහර විට පාරම්පරික ධනය හෝ උපයාගන්නා ධනය ද කල්ගතවීමේ දී නැත්තටම නැතිවන තැනට පත්වන්නේ ය. ඒ ගැන මුලින්ම විමසා බැලිය යුත්තේ කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව හරහාය. උපතේ සිටම අත්හැර යන තෙක්ම මහා ධන කුවේරයින් වීමට නම් පෙර කරන ලද මහා පුණ්‍ය කර්මයක් තිබීම අනිවාර්ය වේ.

දැනටමත් ඔබ වෙළෙඳ ව්‍යපාරයක් අරඹා ඇත්නම් ලැබෙන ධනය ගැන වඩාත් කළමනාකාරීත්වය සාර්ථක මඟකට යොමුකළ යුතු වේ. මා දන්නා පරිදි රත්නපුරයේ සහ කුරුණෑගල සිටි මහා ධන කුවේරයින් දෙදෙනකුගේ මුළු මහත් ධනස්කන්දයම නැතිවී ගියේ වර්ණාවලෝකයෙන් බැබලෙන රාත්‍රි කීපයකදීය.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.