අතමිට සරුකරන ව්‍යාපාරයක් කරන්න පුළුවන් ද කේන්දරයෙන් බලාගන්න

ජුනි 10, 2022

 

පෙරට වඩා අද කාලයේ තම හැකියාව තුළින් තමාගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යවසායකයන් බවට පත්වීමට සිහින දකින හා ඒවා අරඹා දියුණුවට පත්වීමට හැකියාව ලැබූ අය බොහෝ ය. ව්‍යාපාරිකයකු වීමට උපතින්ම ලැබූ වාසනා ගුණයක් ද තිබිය යුතුය.

 

ව්‍යාපාරික කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සියුම් ව්‍යාපාරික ඥානයක් තිබීම අවශ්‍යය. එහිදී බුධ බලවත් වීම ඊට මනා පිටිවහලක් වේ. බුධ බුද්ධිමත් බවට අධිපති වන අතර පි‍්‍රය උපදවන කථන විලාසයකට හිමිකම් පායි. ව්‍යාපාරිකයකුට ගැනුම්කරුවන්ගේ සිත දිනා ගැනීමට යහපත් වාග් විලාශයක් තිබිය යුතුය. ව්‍යාපාරයක ගනුදෙනුකරු ප්‍රමුඛ ලෙස සැලකීම අද කාලයේ ව්‍යාපාරවල දියුණුවට බෙහෙවින් ඉවහල් වී ඇත.

කේන්දර සටහනක බුධ ග්‍රහයා 1,2,4,5,9,10,11 යන භාවයක සිටී නම් එය ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛයකු වීමට හේතුවකි. බුධ ග්‍රහයා මිථුන, කන්‍යා රාශිවල බලවත් වීම ද ව්‍යාපාරිකයන් බිහිකරයි. තවද ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා ජන්ම කේන්දරයක දසවැන්න ද ක්‍රියාකාරී වේ. කුජ ග්‍රහයා දහවැන්නේ පිහිටීම ව්‍යාපාර සාර්ථකත්වයට මනා පිටිවහලකි. යම් කේන්දරයක 11 වැන්න බලවත්ව පිහිටා නොමැතිනම් තම ව්‍යාපාර කටයුතුවල පැවැත්මට බාධාවක් විය හැක. මූල්‍ය ස්ථාවරත්වයට එය අවශ්‍යම කරුණකි. රාහු ද ව්‍යාපාරවල පැවැත්මට හිතකර රුකුල්දෙන ග්‍රහයෙකි. රාහු ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රචාරය, ප්‍රසිද්ධිය, හොඳ නම, ආකර්ෂණීයත්වය ලබා දෙමින් ව්‍යාපාර ලෝකයේ ජයකෙහෙළි නැංවීමට මඟ පාදයි. ඊට දොර විවර කරයි. සිකුරු දසවැන්නට, ව්‍යාපාරවලට සුබයි. මෙසේ පටන් ගන්නා ව්‍යාපාර සමහරක් ඉතා කෙටි කලකින් විශාල දියුණුවකට පත්වීමටත් තවෙකෙක් ආරම්භ කළ තැනම බිඳ වැටීමටත් හේතුව ජන්ම පත්‍ර තුළින් අනාවරණය කරගත හැකිය. තවද අරඹන ව්‍යාපාර නැකතකට ආරම්භ කිරීම ව්‍යාපාර සාර්ථකත්වයට බලපාන තවත් එක් සාධකයකි. එය එකම සාධකය නොවේ.

දෙවැන්න, දහවැන්න, පස්වැන්න, නවවැන්න එකොළොස්වැන්න බලවත් වන ශුභ ධන යෝග සහිත බුධ, සිකුරු, ගුරු, සඳු යහපත්ව යෙදෙන සුබ වේලාවක් කල්ඇතිව සාදාගැනීම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සවිමත් වූ අත්වැලක් වේ.

 

ඡ්‍යොතිෂවේදී

ටෝනි ආර්. කුරණගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.