කේන්දරයක පළමු කොටුව හෙවත් ලග්නය

ජුනි 17, 2022

ලග්නාධිපති බුධ සමඟ යෝගව ලග්නයේම සිටී නම් ඉගෙනීමට වඩාත් හොඳ වේ.

ලග්නය වූ කලී සමස්ත ජීවිතයම විග්‍රහ කෙරෙන ස්ථානයයි. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ලග්න දොළහකි. ඒ හැම ලග්නයකටම ලග්නාධිපතියෙක් සිටී. එම ලග්නාධිපතිට රාශි 12 න් ඕනෑම රාශියක සිටිය හැක.

 

ජන්ම කේන්ද්‍රයේ ඇත්තේ කොටු 12කි. එයින් පළමු කොටුව ලග්නය, කල්ප හෙවත් ශක්තිය යන නම්වලින් හැඳින්වෙයි. පළමු කොටුව හෙවත් ලග්නයෙන් ජන්මියා නියෝජනය කරයි. ඔහුගේ ශරීරය ගැන පෙනුම, චරිතය, ගතිගුණ තමාටම ආවේණික වූ පොදු ස්වභාවය සම්පූර්ණ ජීවිත කාලය කෙසේ ද කියාත් ලග්නයෙන් බැලිය හැක. මුහුණෙහි ඉහළ කොටස හා හිස ලග්නයෙන් පාලනය වේ.

 

ලග්නය වූ කලී සමස්ත ජීවිතයම විග්‍රහ කෙරෙන ස්ථානයයි. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ලග්න දොළහකි. ඒ හැම ලග්නයකටම ලග්නාධිපතියෙක් සිටී. එම ලග්නාධිපතිට රාශි 12 න් ඕනෑම රාශියක සිටිය හැක.

ලග්නාධිපති ලග්නයේ සිටී නම් ස්වෝත්සාහයෙන් කටයුතු කර දියුණු වීමට උත්සහ කරන ධෛර්යවන්ත කෙනෙක් බවට පත් වේ. ලග්නාධිපති දෙවැන්නේ හෝ එකොළොස් වැන්නේ නම් ජන්මියා පවුලට හිතවත් ධර්මයට කැමති කරන දෙයින් ලාභ ලැබෙන ධනය රැක ගන්නා කෙනෙක් බවට පත්වේ. එමෙන්ම ලග්නාධිපති තුනේ හෝ හයේ නම් එඩිතර ගති ඇති සතුරන් මැඩ පැවැත්වීමේ ශක්තිය ඇති කෙනෙක් බවට පත්වේ. තවද ලග්නාධිපති හතර වැන්නේ හෝ දහ වැන්නේ නම් ස්ථිර වාසස්ථානයක් ඇති ස්ථිර රැකියාවක් ඇති කෙනෙක් බවට ජන්මියා පත්වේ. ලග්නාධිපති පස්වැන්නේ සිටින අය කී‍්‍රඩා ආදියෙන් දිනන ඉගෙනීමට දක්ෂ කෙනෙක් වන අතර ලග්නාධිපති හතේ නම් ඕනෑම දෙයක අන්තයටම පැමිණෙන්නෙකි. ලග්නාධිපතිට අට දොළහ එතරම් යහපත් නැත. ලග්නාධිපති නවයේ නම් පිනට කැමති වැඩිහිටියන්ට හිතවත් ගුරු දෙගුරුන්ට හිතවත් ගුණ ගරුක ප්‍රසිද්ධ කෙනෙකු බවට ජන්මියා පත්වේ.

දෙවැන්නාධිපති ලග්නයේ සිටින ජන්මියා පවුලේ දියුණුවට කටයුතු කරන ධනවත් යහපත් කෙනෙක් වෙයි. තුන්වැන්නාධිපති ලග්නයේ සිටින ජන්මියා තම ධෛර්යයෙන් උත්සාහයෙන් කටයුතු කර දියුණු වන අතර මහජනයාට සේවය කරන මහජන සේවකයෙක් බවට පත් කරයි. හතරවැන්නාධිපති ලග්නයේ සිටින ජන්මියා ධනයට උරුම කම් කියන නොයෙක් ශාස්ත්‍ර දන්නා කෙනෙක් වේ. ජන්මියාගේ පස්වැන්නාධිපති ලග්නයේ සිටි විට කේළාම් කියන ලෝභකම් ඇති පව් නොකරන අයෙක් බවට පත්වේ. එමෙන්ම හය වැන්නාධිපතියා ලග්නයේ සිටින ජන්මියා අනුන් තළා පෙළා මුදල් රැස් කරන ධනයෙන් බලයෙන් යුත් දරුවන් අඩු කෙනෙක් වේ. හත්වැන්නාධිපතියා ලග්නයේ සිටි විට ජන්මියා දුෂ්ටකම් ඇති කෙනෙක් බවට පත්වන අතර ලග්නයේ අටවැන්නාධිපති සිටි විට ජන්මියාගේ ශරීරය දුර්වල වී ශක්තිය අඩු කෙනෙක් බවට පත්වන අතර නව වැන්නාධිපති දහවැන්නාධිපති, එකොළොස් වැන්නාධිපති ලග්නයේ සිටි විට ඉතා යහපත් හොඳ ගතිගුණ ඇති ධනවත් නීරෝගි ජීවිතයක් ගත කරන ශක්තිමත් කෙනෙක් බවට පත් වේ. දොළොස්වැන්නාධිපති ලග්නයේ සිටි විට එතරම් වස්තුව නැති කෙනෙක් වෙයි.

ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ලග්නය දකී නම් ජන්මියා බලවත් වෙයි. ලග්නාධිපති අපරිමිත ශක්තියකින් යුක්ත නම් ශුභ ග්‍රහයෙකුට අයත් රාශියක සිටී නම් ශුභ දෘෂ්ටි ලබයි නම් ජන්මියා කීර්තිමත් කෙනෙක් බවට පත්වෙයි. එමෙන්ම ලග්නාධිපති 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක සිටී නම් පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලින් පීඩා විඳී නම් ජන්මියාගේ ජීවිතය අඳුරට බර වේ.

ලග්නාධිපති බුධ සමඟ යෝගව ලග්නයේම සිටී නම් ඉගෙනීමට වඩාත් හොඳ වේ. ලග්නාධිපති 5 හෝ 09 අධිපති ග්‍රහයකු සමඟ යෝග වූයේ නම් ජන්මියා සහ ජන්මියාගේ පියා කීර්තිමත් කෙනෙක් බවට පත් වේ.

ලග්නය බුධ, ගුරු, සිකුරු විසින් දකී නම් එම ග්‍රහයාගේ කාරකත්වයට අයත් රැකියාවක නිරත වේ. ලග්නාධිපතිට රවි පෙනුනේ නම් රජයේ රැකියාවක නිරතවීමේ හැකියාව ලැබේ. ලග්නය සඳු විසින් දකී නම් ජලයට සම්බන්ධයක් ඇති රැකියාවක යෙදේ.

ලග්නය ශුභ ග්‍රහයන් වැඩි දෙනෙකුට පෙනේ නම් ජන්මියාට පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබේ. ලග්නාධිපති හය, අට, දොළහ ස්ථානවලට යහපත් නැත. කරදර බාධකවලට මුහුණ පෑමට සිදුවේ.

 

චතුරිකා දිල්හානි ගමආරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.