දරුපල පිළිබඳ ප්‍රශ්න තත්කාල ශාස්ත්‍රයෙන් විසඳිය හැකිද?

ජුනි 24, 2022

වෛද්‍යවරයෙක් ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී /පුරුෂ භාවය පවසන ආකාරයට තත්කාල ශාස්ත්‍රඥයාට තත්කාල කේන්දර සටහනක් උපයෝගි කරගෙන කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය පැවසිය හැකිය.

 

අද මෙන් නවීන තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව නොදියුණු අතීත සමාජයේ දරුඵල පිළිබඳ ප්‍රශ්න බොහෝමයක් විසඳුවේ තත්කාල ශාස්ත්‍රය පිළිබඳව මනා දැනුමක් ඇති ගමේ සිටින ඡ්‍යොතිෂඥයා විසිනි. ඒ අනුව එකල ජන සමාජයේ කාන්තාවක් පුරුෂයෙක් සමඟ සංවාසයේ යෙදීමෙන් පසු දරු ගැබක් වේද? නොවේද? යන්න පිළිබඳව ගමේ සිටින දෛවඥයාගෙන් ප්‍රශ්න කළවිට, වර්තමානයේ වෛද්‍යවරයෙක් ස්කෑන් යන්ත්‍රයක් උපයෝගි කරගෙන කාන්තාවකට දරු ගැබක් වේද? නොවේද? යන්න පිළිබඳව ප්‍රකාශ කරන කරුණු එකල ඡ්‍යොතිෂඥයා තත්කාල කේන්දර සටහනක් උපයෝගි කොටගෙන ප්‍රකාශ කළේය.

 

ඒ අනුව පහත දැක්වෙන්නේ ප්‍රශ්න කරන වේලාවට ගොඩනඟාගත් තත්කාල කේන්දර සටහනක් උපයෝගි කරගෙන දරුපල පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි තත්කාල සිද්ධාන්ත කිහිපයකි. එම සිද්ධාන්ත ඡ්‍යොතිෂ්‍ය හදාරණ ආධුනිකයින්ට මෙන්ම ඡ්‍යොතිෂ්‍ය කටයුතුවල යෙදෙන ඡ්‍යොතිෂවේදීන්ට ප්‍රයෝජනවත් යැයි මම සිතමි. ඒ අනුව කාන්තාවක් තමාට දරු ගැබක් වේද? නොවේද? යන්න පිළිබඳව තත්කාලයෙන් විමසූවිට උදාවූ තත්කාල ලග්නයේ ලග්නාධිපති 5 වැන්නට ගොස් සිටියදී 5 අධිපති කේන්ද්‍ර, ත්‍රිකෝණ හෝ 2, 11 භාවගතව ගුරුගේ දෘෂ්ටියට ලක්ව ඇත්නම් ප්‍රශ්න කළ කාන්තාවගේ කුසේ දරුගැබක් ඇත.

එමෙන්ම 5 වැන්නේ ශුභ ග්‍රහයෙක් පතිතව ඇති විටදී 5 වැන්නාධිපති කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ 2, 11 යන භාවයක යෙදී ලග්නයේ ගුරු ග්‍රහයා පිහිටා ඇත්නම් එවන් තත්කාල ග්‍රහ බලයක් ඇති කාන්තාවට ස්ථිර වශයෙන්ම දරු ගැබක් ඇත.

එමෙන්ම ප්‍රශ්න වේලාවට උදා ලග්නය සහ නවාංශකය චර රැසක් වී 5 වැන්න සහ 05 අධිපති පාප ග්‍රහයන්ගෙන් පීඩා වූ විට ප්‍රශ්න කළ කාන්තාවට දරු ගැබක් නැත.

එමෙන්ම උදා තත්කාල ලග්නය ගුරු හිමි ධනු, මීන රැසක් එකී ප්‍රශ්න ලග්නයේ පුත්‍රකාරක ගුරු ග්‍රහයා 6, 8, 12 සහ දුෂ්ට භාව ගතව පාප පීඩිත වී ඇති විටකදී, 5 වැන්න සහ 5 අධිපති නීච, සතුරු බවට පත් සහජ පාපීන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනකුගෙන් හෝ 6,8, 12 යන දුෂ්ට ස්ථානාධිපතියන්ගෙන් පීඩා වී ඇත්නම් එවන් තත්කාල ග්‍රහ චාරයක් ඇති විට ප්‍රශ්න කරන කාන්තාවට දරුඵල නැත.

වෛද්‍යවරයෙක් ස්කෑන් යන්ත්‍රයක් ආධාරයෙන් කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී /පුරුෂ භාවය පවසන ආකාරයට තත්කාල ශාස්ත්‍රඥයාට තත්කාල කේන්දර සටහනක් උපයෝගි කරගෙන කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය පැවසිය හැකිය. ඒ මෙසේය. ප්‍රශ්න ලග්නයේ 5 වැන්නේ රවි, කුජ, ගුරු යන පුරුෂ ග්‍රහයෙක් වේ නම් කුසේ සිටින්නේ පිරිමි දරුවෙකි. 5 වැන්නේ සඳු, සිකුරු යන ස්ත්‍රී ග්‍රහයෙක් වේ නම් කුසේ සිටින්නේ ගැහැනු දරුවෙකි. පස්වැන්නේ බුධ/ ශනි යන නපුංසක ග්‍රහයෙක් වෙතොත් කුසේ සිටින දරුවා නපුංසකයෙකි. 5 වැන්නේ කිසිදු ග්‍රහයෙක් නොසිටී නම් 5 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටිය අනුව කුසේ සිටින දරුවාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය තීරණය කළ යුතු ය. ඒ අනුව 5 වැන්නට රවි, කුජ, ගුරු යන ග්‍රහයන් වැඩි දෙනෙක්ගේ බලවත් දෘෂ්ටියක්වේද කුසේ සිටින්නේ පිරිමි දරුවෙකි. 5 වැන්න සඳු, සිකුරු යන ග්‍රහයන් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටියක් වෙතොත් කුසේ සිටින්නේ ගැහැනු දරුවෙකි. 5 වැන්නට බුධ/ ශනි යන නපුංසක ග්‍රහයන්ගේ

දෘෂ්ටියක් වෙතොත් කුසේ සිටින දරුවා නපුංසකයෙකි.

එමෙන්ම තත්කාලයේ 1, 3, 5, 7, 9, 11 යන ඔත්තේ රැසක සෙනසුරු ග්‍රහයාවේද? කුසේ සිටින්නේ පිරිමි දරුවෙකි. එමෙන්ම කන්‍යා ලග්නයේ 2, 4, 6, 8, 12 යන ඉරට්ටේ රැසක සෙනසුරු ග්‍රහයා වේ නම් කුසේ සිටින්නේ ගැහැනු දරුවෙකි.

ඇතැම් කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබේ. ඒ පිළිබඳව තත්කාලයෙන් කරුණු හෙළිදරවු කර ගන්නේ මෙසේ ය. උදා ලග්නය සහ නවාංශකය උභය වී 5 වැන්නේ සඳු, ශුක්‍ර, ගුරු යන ග්‍රහයන් වේ නම් කුසේ දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සිටිති.

ඒ අතර තත්කාල ලග්නය සහ නවාංශකය ස්ථිර රාශියක් වී 5 වැන්නේ 2, 11, 1, 4, 7, 10 යන කේන්ද්‍ර හෝ 9 වැන්නාධිපති යන භාවාධිපතියන්ගෙන් යම් භාවාධිපතියෙක් තැන්පත්ව සිටියදී 5 වැන්නාධිපතිද යටකී භාවයක තැන්පත්ව ඇත්නම් ප්‍රශ්න කරන කාන්තාවට ඇත්තේ එක දරුඵලයකි.

කුසේ සිටින දරුවා නීරෝගිද යන්න පිළිබඳව තත්කාලයෙන් විමසූවිට තත්කාල ලග්නාධිපති සහ පුත්‍රකාරක ගුරු යන ග්‍රහයන් 2, 11 හෝ කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක බලවත්ව සිටියදී යටකී භාවයක පතිත 5 අධිපතිට සහ 5 වැන්නට ලග්නයට යෝග කාරක වන ග්‍රහයන්ගේ හෝ ලග්නාධිපතිට මිත්‍ර ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම් කුසේ සිටින දරුවා නීරෝගි සුවයෙන් පසුවෙයි.

මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් තත්කාල ලග්නාධිපති, පුත්‍රකාරක ගුරු යන ග්‍රහයන් බලවත්ව ශුභ භාවගතව සිටියදී 5 වැන්නට හෝ කේන්ද්‍ර ත්‍රිකෝණ ස්ථානයක හෝ 2, 11 යන භාවයක පතිත 5 අධිපතිට 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන්ගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් හෝ නීච, සතුරු ප්‍රශ්න සහජ පාපීන් (රවි, කුජ, ශනි, රාහු, කේතු) යන ග්‍රහයන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම්, කුසේ සිට දරුවා නීරෝගි නැත. විවිධ රෝගාබාධවලින් හෝ අංගවිකලභාවයෙන් යුත් දරුවෙක් වෙයි. මෙහි තත්කාල ලග්නය හෝ නවාංශකය චර වී නම්, කුසේ සිටින දරු උපත් විගස හෝ ඉපදී ටික කල් ගිය පසු මිය යයි.

ස්ථිර රැසක් වී නම් කලක් ජීවත් වෙයි. උභය රැසක් වී නම් මධ්‍යම ආයුෂ සහිතයි. එනම් අවුරුදු 32 - 72 අතර කාලයක් ජීවත් වෙයි.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.