රසකාමී සිකුරුලියා කටකයේ සතුරු වීම යහපත් ද?

අගෝස්තු 12, 2022
  • කාලගුණික හා දේශගුණික හදිසි අනතුරු විපත් බහුල වීමට වැඩි ඉඩක්
  • බාලවයස්කාර දරුවන් රැකගත යුතු කාලයක්
  • සතුට සැනසුම දුරස්ථවන බවක්

මේෂ,කටක,තුලා,මකර -රුචක යෝගයද මිථුන,කන්‍යා,ධනු,මීන- හංස යෝගය ද කටක,තුලා,මකර,මේෂ - සස යෝගය ද ශනි සිකුරු සප්තම දෘෂ්ටිය කුජ,ශනි සහ චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ටිය කුජ රාහු සහ රවි ශුක්‍ර සුසංයෝගය මූලාශ්‍ර වී රසකාමී සිකුරු ලියා කටකයේ සතුරු විය. දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 21 භාග නිකිණි මහේ පුර දියවක තිථිය ලත් පුනාවස හතර පාදය පුෂ 1 2 3 4 අස්ලිය 1 2 3 4 පාද ස්පර්ෂයෙන් සිකුරුගේ ග්‍රහ සංක්‍රමණය කටක රාශිය කටක නවාංශකයෙන් පෙරවරු පහයි විස්සට විශ්ව තාරකා මන්දාකිණියෙහි විද්‍යමාන විය.

නැගෙනහිර ක්ෂිතිජයේ චන්ද්‍රයා හිමි කටක රාශිය උදාවෙන මොහොතෙහිදී සිකුරු සතුරුව රවී මිත්‍රශීලීව ඥානකාරක බුධ ග්‍රහයා දෙවැන්න වූ ධනස්ථානගතවද කේතු සතුරුව 4 වැන්නේ ද චන්ද්‍රයා නීචව පස්වැන්නේ ද වක්‍ර ප්ලූටෝ සතුරු ව හා වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව හත්වැන්නේද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව වක්‍ර නැප්චූන් ස්වකේෂ්ත්‍ර මූල ත්‍රිකෝණව නව වැන්න වූ භාග්‍යස්ථාන ගතව ද රාහු සතුරු ව යුරේනස් සමව කුජ ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 10 වැන්න වූ කර්මස්ථානගතව ද සෙනසුරු විසිදෙවැනි මාරක දෙර්කාණාධිපතියා ලෙසද සිකුරු බාධක ග්‍රහයා ලෙසට ද අඟහරු මාන්දි ග්‍රහයා ලෙසටද සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය විය.

රසලෝලී සිකුරු ග්‍රහයා අපෝ ධාතුව නියෝජනය කරන කටක රාශි ප්‍රවේශය යම් ආකාරයක දුෂ්කර කාලවකවානුවක් රටට, ජනතාවට ඇති කරනු ලබන බව පෙනේ. එනිසාම අගෝස්තු මාසයේ ද සමජයේ තරමක අසහනකාරී බවක් පැන නගින්නට ඇති ඉඩකඩ වැඩිය. සතුට, සැනසුම ජනතාව කෙරෙන් යම් ආකාරයකට දුරස්ථවන බවක් දක්නට ලැබේ. ඒ නිසාම යම් ආකාරයක මානසික සංවේදීතාවයෙන් අඩු බවක් ජනතාව කෙරෙන් විද්‍යමාන වේ. මේ අතර කාලගුණික හා දේශගුණික විපර්යාසයන් වලට ද මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන් දුවා දරුවන් වැඩිහිටි අවවාද නොසලකා හැරීම් දක්නට ලැබේ. මෙනිසාම ඔවුන් යම් ආකාරයක විපත් වලට මුහුණ පෑමට ලක්වන බව නොකියා බැරිය. රථවාහන අනතුරු ස්වභාවික විපත් ඇති වීමට ඉඩ ඇත. මේ කාලසීමාවේ දී ඉවසිලි වන්තව, ධෛර්යවත්ව කටයුතු කිරීමට ජනතාව හා පාලකයින් වගබලා ගත යුතුය. ශ්‍රී ලංකා ජනරජ රාශි සටහනට අනුව රවි සිකුරු දොළොස් වැන්නේ තැන්පත් වීම ජනතාවට එතරම් සුබ නොවේ. විශ්ව මේෂ කේන්දර ග්‍රහ සටහනට අනුව ද මානව වර්ගයාගේ පැවැත්මට තරමක් අභියෝගාත්මක කාලවකවානුවක් ලෙස මේ ග්‍රහ පිහිටීම දක්නට ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.