නිවැරැදි පලාපල කථනය සඳහා මහෝපකාරී වන චන්ද්‍ර ලග්නය

ඔක්තෝබර් 14, 2022

මීට දශක 6, 7කට පෙර අප පැරැණි ඡ්‍යොතිෂඥයින් තම සේවාදායකයන්ට ඉදිරිපත් කරන ලද්දේ අලංකාර රූ සටහන් සහිත රෝලක් මෙන් ඔතන ලද පුස්කොළ කේන්දරයකි. එම කේන්දර සටහන එකල ගැමියන් වේලාපත්කඩය යන නමින් හැඳින්වූහ. එලෙස අලංකාරව ගොඩනගනු ලැබූ වේලාපත්කඩයට ලග්න නවාංශක සටහන් දෙකට අමතරව ඉන්ද්‍ර, සූර්ය කේන්දරයක්ද, දෙර්කාණ සහ ත්‍රිංශාංශක කේන්දර සටහනක්ද ඇතුළත් කිරීම අප පැරණි දෛවඥයින්ගේ සිරිත විය. එලෙස ගොඩනඟන වේලාපත් කඩයෙහි ලග්නය සහ නවාංශක කේන්දර සටහනට පසුව චන්ද්‍ර කේන්දරය සටහන් කරන ලද්දේ එකී ලග්නය සහ නවාංශකය තරමටම චන්ද්‍ර කේන්දරයද නිවැරදි පලාඵල කථනයක් සඳහා අත්‍යවශ්‍ය වන හෙයින්. එහි සත්‍යතාවය මතාසාගරි ග්‍රන්ථයෙහි ශ්ලෝකයකින් පැහැදිලි කෙරේ. ඒ අනුව චන්ද්‍රයා බීජය ලෙසද ලග්නය පුෂ්පය නවාංශකය ඵලය හෙවත් ගෙඩිය ලෙස සඳහන් කර ඇත.

 

බීජයෙන් ගෙඩි සහ මල් හට ගන්නා නිසා, බීජය දුර්වල වුවහොත් හටගන්නා මල් සහ ගෙඩි ද දුර්වල වේ. ඒ පිළිබඳව තවදුරටත් උදාහරණයක් මඟින් කරුණු පැහැදිලි කළහොත්, ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති නවීන උපාංග සහිත සුඛෝපභෝගි මෝටර් රථයක බැටරියෙහි දෝෂයක් ඇත්නම් මෝටර් රථය නිසියාකාරව ධාවනය කළ නොහැකි නිසා එම මෝටර් රථය අලංකාර නවීන උපාංග සහිත මෝටර් රථයක් වුවත් කිසිදු ප්‍රයෝජනයක් නැත. මෙකී උපමාවෙහි විග්‍රහ කළ කරුණු ලග්නය සහ නවාංශකයට සම්බන්ධ කළ විට ලග්නයෙහි සහ නවාංශකයෙහි ග්‍රහයන් කෙතරම් බලවත් වුවත් සඳු දුර්වල නම්, ලග්නය සහ නවාංශක කේන්දරයෙහි ග්‍රහයන් ගේ බලය බෙදා හරින සඳු දුර්වල හෙයින් එකී කේන්දර සටහන්වල බලවත් ග්‍රහයන්ගේ ග්‍රහ කිරණ කේන්දර හිමියාට හරියාකාරව නොලැබීම නිසා ලග්නය සහ නවාංශක කේන්දර සටහන්වල බලවත් ග්‍රහයන්ගෙන් අපේක්ෂිත ශුභ ඵල නොලැබී යයි. මෙකී කරුණු හරියාකාර අවබෝධ කරගත හැක්කේ, උදාහරණ කේන්දරයක් අධ්‍යයනය කිරීමෙනි. ඒ අනුව පහත දැක්වෙන්නේ දැනට ජීවතුන් අතර නැති මෙරට හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් වූ ගාමිණි අතුකෝරාල මහතාගේ කේන්දර සටහනයි.

උපත 1951 අප්‍රේල් 3 වෙනිදා එළිවෙන පාන්දර 02.06ට කොළඹ දී

එම කේන්දර සටහන දෙස බැලූ බැල්මට බලවත් කේන්දරයක් බව බොහෝ දෙනාට හැඟී යයි. මන්දයත් එම කේන්දරයේ සිව්වැන්නේ ධර්ම කර්මාධිපති රාජ යෝගය සමඟ රුවක නම් පංච මහ පුරුෂයෝගයක් යෙදී තිබීමත් ලග්නාධිපතියා භාග්‍ය ස්ථාන ගත වීමත් භාග්‍ය ස්ථානාධිපති බුධ සිව්වැන්නේ ධර්ම කර්මාධිපති යෝගයක් උදා කිරීමට දායක වීමත් නවාංශක කේන්දරයෙහි, කුජ, සිකුරු, ශනි මූල ත්‍රිකෝණ බලයෙන් ද, ගුරු උච්ච බලයෙන්ද, බුධ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටින හෙයිනි. එකී ග්‍රහ පිහිටීම් ඒ මහතා ගේදොර ඉඩකඩම් වතු පිටි හිමි ධනවත් අයෙක් කිරීමටත්, දේශපාලන ජීවිතයේ දී ඉඩම් සහ ඉඩම් සංවර්ධන මහවැලි සංවර්ධන අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කිරීමට හේතු වූ නමුත්, ඒ මහතා තම දේශපාලන ජීවිතයේ උච්ච ස්ථානය වෙත ළඟා වෙමින් සිටියදී, හිටි හැටියේ වැලඳුණු තදබල හෘදයාබාධයක් හේතු කොටගෙන ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව ඉහත දැක්වෙන ලග්න හ නවාංශක කේන්දර සටහන්වලට අනුව ඒ මහතාගේ මරණය සිදු වීමට හේතු භූත වූ කරුණු පැහැදිලි කර ගත නොහැකි නමුත්, ඉහත දක්වා ඇති චන්ද්‍ර ලග්නය අධ්‍යයනය කිරීමෙන් ඒ මහතාගේ මරණය තද බල හෘදයාබාධයකින් සිදුවීමට හේතු වූ කරුණු අනාවරණය කර ගත හැක. ඒ අනුව ඉහත චන්ද්‍ර ලග්නයට අනුව සඳු රෝග ස්ථානාධිපති (6 අධිපති) මෙන්ම 64වෙනි නවාංශකාධිපති වෙමින් ලග්නයෙහි රාහු සහ කේතුගෙන් පීඩා වී ඇත. චන්ද්‍ර ලග්නාධිපති සෙනසුරු ද චන්ද්‍ර ලග්නයෙන් 8 වැන්නේ චන්ද්‍ර ලග්නයෙන් 64 වැනි නවාංශකාධිපති වෙමින් රාහු, කේතු, සඳු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීහ යෝගයකට මැදිව මාරක ස්ථානාධිපති රවිගේ සප්තම දෘෂ්ටියෙන් පිඩා වී ඇත. එම ග්‍රහ බලය ඒ මහතාට හදිසි මරණයක් ඇති වන බව පෙන්වා දෙන ග්‍රහ පිහිටීමකි.

ඉහත චන්ද්‍ර ලග්නයෙහි හෘද වස්තුව නිවේදනය කරන භාවයන් දෙකක් වන 4 වැන්න වූ වෘෂභ රාශියෙහි අධිපති සිකුරුත් 5 වැන්න වූ මිථුන රාශියෙහි අධිපති බුධත් 3 වැන්න වූ මේෂ රාශියෙහි පතිතව එහි අධිපති කුජගෙන් සහ චන්ද්‍ර ලග්නයෙහි සිටින රාහු, කේතුගෙන් පීඩා වූ සඳුගේ පූර්ණ දෘෂ්ටියෙන් ද 7 වැන්නේ සිටින කේතුගේ පූර්ණ දෘෂ්ටියෙන්ද පීඩා වී ඇත. සිව්වැන්න රාහු, කේතු ගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් පීඩා වී ඇත. සිව්වැන්නට පාප කර්තරීහ යෝගයකට මැදිවූ හෘද වස්තුවට කාරක වූ මාරක ස්ථානාධිපති රවිගේ පූර්ණ දෘෂ්ටියට භාජන වී ඇත. 5 වැන්න වූ මිථුන රැස 6 අධිපති සඳුගෙන් පීඩා වූ රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් සහ 8 වැන්නෙහි පතිත පාප කර්තරීහ යෝගයකට මැදි වූ, චන්ද්‍ර කේන්දරයෙහි 64 වැනි නවාංශකාධිපති සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ඇත. ඒ අනුව 4, 5 අධිපතියනුත් එකී භාවත්, හෘදයාබාධ ඇති කිරීමට හේතු භූත වන ග්‍රහයන් වන කුජ, රාහු, කේතු යන ග්‍රහයන් පීඩා වීම තදබල හෘදයාබාධයකට ගොදුරු වන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය.

ඒ අනුව ඉහත විග්‍රහ කළ ග්‍රහ බලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මහතා වයස අවුරුදු 51දී චන්ද්‍ර ලග්නයෙන් 8 වැන්නේ පතිත චන්ද්‍ර ලග්නයෙන් 64 වැනි නවාංශකාධිපති සෙනසුරු මහ දශාවේ දී එකී සෙනසුරු සමඟ ෂෂ්ටාෂ්ටක දෝෂයක් ඇති කරගත් (ග්‍රහයන් දෙදෙනෙක් ඔවුනොවුන්ට 6 - 8 සිටම ෂෂ්ටාෂටක දෝෂයයි) ලග්නයේ පතිත රෝග ස්ථානාධිපති සඳුගෙන් පීඩා වූ රාහුගේ අතුරු දශාවේදී, හිටි හැටියේ වැළඳුණු තද බල හෘදයාබාධයක් හේතු කොටගෙන ඒ මහතා ජීවිතක්ෂයට පත් විය. ඒ අනුව ඉහත විග්‍රහයෙන් පැහැදිලි වන්නේ පලාපල කථනයේ දී ලග්න සහ නවාංශක කේන්දර පමණක් පරීක්ෂා කොට පලාපල කථනය නොකළ යුතු බවත් අප පැරණි ඡ්‍යොතිෂ්‍යවේදීන් මෙන් ලග්නය සහ නවාංශක කේන්දරය සමඟ චන්ද්‍ර කේන්දරයට ප්‍රමුඛත්වයක් දෙමින් සූර්ය, දෙර්කාණ, ත්‍රිංශාංශක කේන්දරයද පරීක්ෂා කර පලාපල කථනය කළ යුතු බවත් ය.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.