ධනු ලග්නයට හිමි රැකියා

නොවැම්බර් 11, 2022

ධනු ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ගුරුත් දහවැන්නාධිපති බුධ ගැනත් බැලිය යුතු වේ. ධනු රාශිය තේජෝ ගුණයෙන් යුත් උභය රාශියකි. යුක්තිය දිවි මෙන් සලකන ධනු ලග්න හිමියෝ යුක්තිගරුක, අවංක අපක්ෂපාතී විනෝදකාමී අය වෙති. ධනු ලග්න හිමියෝ එක තැන රැකියාවක් කිරීමට නොහැකි අනුන් යටතේ රැකියා කිරීමට අකමැති අය වෙති. ලග්නාධිපති ගුරුගේ බලපෑම නිසා ගුරු වෘත්තිය, බැංකු ආශි‍්‍රත රැකියා, ව්‍යාපාර, දේශපාලන ආදී වෘත්තීන් ධනු ලග්න හිමියාට උරුම වේ. කඩිසරකමත්, ක්‍රියාශූර බවත් නිසා ව්‍යාපාරයන්හි මහත් දියුණුවක් ලබයි.

ධනු ලග්න හිමියා පටන් ගත් වැඩය ඉක්මනට අවසාන කරයි. පටන් ගත් වැඩය අවසන් නොකර වෙන වැඩකට අත නොගසයි. සත්‍යවාදී යුක්තිගරුක භාවය නිසා නීත්‍යනුකූල නොවූ දේ නොකරයි.

ලග්නය වූ ධනුවත් දහවැන්න වූ කන්‍යා රාශියත් උභය රාශීන් වේ. එම නිසා මොවුන්ට එක තැන රැකියා කිරීමට අපහසු වේ. ලග්නාධිපති ගුරුත් දහවැන්නාධිපති බුධත් පතට පොතට කාරක අයිතියක් ඇති බැවින් පොත් කර්තෘවරුන්, පුවත්පත් කතුවරුන්, පොත් සාප්පු හිමියන් මොවුන් අතරින් බිහි වේ.

රැකියාව ගැන බැලීමේ දී සෑම ජන්මියෙකුගේ ම ඉගෙනීම ගැනත් බැලිය යුතු වේ. ඉගෙනීම උසස් නම් හොඳ උසස් රැකියා කිරීමට අවස්ථා උදාවේ. ධනු ලග්න හිමියන්ගේ ඉගෙනීම ගැන බැලීමේ දී අධ්‍යාපන කාරක බුධත් පස්වැන්නාධිපති කුªජ ගැනත් බැලිය යුතු වේ. මේ දෙදෙනාගේ බලය තිබූ තැන හොඳ උසස් රැකියාවක් කිරීමට භාග්‍ය උදාවේ.

කර්මය හෙවත් රැකියාව පාලනය කරන ග්‍රහයන් වන රාහු, කේතුගේ පිහිටීමත් ජන්මියාගේ රැකියාව තීරණය වීමට බලපායි. රාහු හා කේතු ග්‍රහයන් සිටින තැන අනුවත් නියෝජනය කරන නැකත අනුවත් රැකියා තත්ත්වයන් වෙනස් වේ. රාහු සිටි රාශිය අනුව එම රාශියේ අධිපති අනුවත් එම අධිපතිගේ කාරකත්වය අනුවත් ජන්මියාගේ රැකියා තත්ත්වයන් වෙනස් වේ.

ධනු ලග්න හිමියාගේ ලග්නාධිපති වන ගුරුගේ පිහිටීමත් දහවැන්නාධිපති වන බුධගේ පිහිටීමත් ගුරු බුධ නියෝජනය කරන නැකතක් රාහු හා කේතු ග්‍රහයන් සිටින ස්ථානයත් නියෝජනය කරන නැකතත්, රාජ්‍ය කාරක රවිගේ පිහිටීමත්, වෘත්තීය කාරක ශනිගේ පිහිටීමත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බලා මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාවන් ධනු ලග්න හිමියාට උරුම වේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.