අධ්‍යාපනය හා ග්‍රහ බලපෑම්

දෙසැම්බර් 23, 2022

 

දරුවන්ගේ ඉගෙනීමේ සාර්ථකත්වය බැලීම සඳහා කේන්ද්‍රයේ 2, 4, 3, 5, 9 යන භාවයන් මෙන්ම, එම භාවයන්ට අධිපති ග්‍රහයන්ගේ බලදුබලතා මෙන්ම අධ්‍යාපනයට හා ප්‍රඥාවට කාරක ග්‍රහයන් වූ බුධ, ගුරු හා සඳු යන ග්‍රහයන්ගේ තත්ත්වයද විමසා බැලිය යුතුයි.

 

බාලකාලයේ අධ්‍යාපනය

බොහෝ දරුවන් උපතින්ම ඥාන ශක්තියක් ඇතිව මෙලොවට බිහිවන අතර සමහර අය ජීවිතයේ බාල කාලයෙන් පසුව හොඳ බුද්ධියක් ඇතිව කටයුතු කිරීමට පෙලඹෙයි. බාලකල දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවලට යොමු වූ ඇතැම් දරුවන් වයසට යන්න, යන්න අධ්‍යාපන කටයුතුවලින් දුර්වලතා පෙන්නුම් කරයි. තවද අධ්‍යාපන කටයුතු කරන කාලයේ පවතින කායික, මානසික ප්‍රබෝධතාවය මෙන්ම නිරෝගීතාවයද අධ්‍යාපනය සාර්ථක ලෙස කරගෙන යාමට මේ සඳහා බලපානු ලබයි.

කේන්දරයේ තුන්වැන්න බාල කාලයේ අධ්‍යාපනය ගැනද, 5 වැන්නෙන් ප්‍රමාණාත්මක අධ්‍යාපනය (මැද) නව වැන්නෙන් උසස් අධ්‍යාපනය ගැනද කියවෙයි. මේ අනුව ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමේ දී ජන්මියා කුමන මට්ටමක අධ්‍යාපනයක් ලබයිද යන්න දැනගත හැකි ය. මෙහිදී ඥාන කාරකයා වන බුධ ගැන විශේෂයෙන් බැලිය යුතුය. හතර වැන්නෙන් කෙනෙකුගේ බුද්ධිමට්ටම පෙන්නුම් කරයි. හතරවැනි භාවය, එහි අධිපති ගුරු ග්‍රහයා කේන්දරයේ කෙසේ පිහිටා ඇත්ද යන්න විමසා බැලිය යුතුයි.

බුද්ධිමත් බව

පස්වැන්න සුබදායක රාශියක් වී සුබ ග්‍රහයන් එහි තැන්පත්ව සිටීමෙන් හෝ පස්වැන්නට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලැබීම ජන්මියා බුද්ධිමත් අයකු බව පෙන්වන ග්‍රහ පිහිටීමකි. පස්වැන්න අධිපති උච්චවීම හා සුබ ග්‍රහයන් දෙදෙනකුට මැදිව සිටීම ද උසස් අධ්‍යාපන බුද්ධිය පෙන්නා දෙන ග්‍රහ පිහිටීමකි. ගුරු කේන්දර ස්ථානයක හෝ 5 වැන්න අධිපති සුබ රාශියක තැන්පත්වීම හා ගුරු 5 වැන්නේ තැන්පත් වීමද, බුද්ධිමත් බව පෙන්වන ග්‍රහ පිහිටීමකි. බුධ 5 වැන්නේ වූ විට 5 වැන්න අධිපති ප්‍රබල කේන්දරස්ථාන ගත වී නම් ජන්මියාට යමක් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය ඇති කරයි.

බුධ ගුරු සංයෝගය ලග්නය 5 හා 09 වැනි ස්ථානයක පිහිටා තිබීම පොත්පත් කියවීමෙන් ඥානය දියුණු කරයි. බුද්ධිමතකු ද වේ. බුධ ග්‍රහයා 1, 4, 7, 10 වැනි කේන්ද්‍රස්ථානයක හෝ 5 - 9 වැනි ත්‍රිකෝණස්ථානයක පිහිටීමද, බුධ වර්ගෝත්තම වීම ද, ජන්මියා ඉතා බුද්ධිමත් අයකු බවට පත් කරයි.

සිතීමේ ශක්තිය

සඳු බලවත්ව 2, 4 හෝ 11 යන රාශියක තැන්පත්ව සිටීම නිසා තර්කානුකූලව සිතීමේ ශක්තිය ඇති කරයි. බුධ හා සඳු යෝගව යෙදුණු විට විනිවිද දකින නුවණක් ඇති කරයි. සඳු ග්‍රහයා දෙවැන්නේ සිටීමද උසස් අධ්‍යාපනයට යොමුවිය හැකි පිහිටීමක් වන අතර, යම් යම් අවහිරතාවලටද මුහුණ දෙමින් ඉගනීමේ කටයුතුවල නිරතවනු ලබයි. එමෙන්ම ගුරු දෙවැන්නේ තැන්පත්වීමෙන්ද වියත් කතිකත්වයක් මෙන්ම උසස් ඉගෙනීමක්ද ලබාදෙනු ඇත. සිකුරු දෙවැන්නේ සිටීමෙන් කලා විෂයන්වලට ළැදිවන අතර, බුධ සිකුරු සංයෝගය කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අයකු බවට පත්කරයි.

උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයක් ලැබීමට නම් නවවැන්න බලවත් විය යුතු අතර, නවවැන්නේ සුබ ග්‍රහයකු බලවත්ව සිටීමෙන් ද සුබ ග්‍රහයන්ට උසස් අධ්‍යාපනය ලබාගත හැකිය. දෙවැන්නාධිපති 9, 10, 11 යන භාවයක පිහිටීම උසස් ඥාන ශක්තියකට හේතුවකි. අවබෝධය පුළුල් වේ. ගැඹුරු ලෙස සිතයි.

දෙවැන්න අධ්‍යාපනයට බොහෝ සෙයින් උදව් දෙන ස්ථානයකි. දෙවැන්නෙන් වාග් ශක්තිය පෙන්නුම් කරන බැවින් වචන හැසිරවීමේ ශක්තිය නැතිනම් ගොළු යෝගයක් ඇත්නම් පස්වැන්න බලවත් වුවත් අධ්‍යාපනය අඩාළ විය හැකි ය. මෙම කේන්දර සටහනේ බුධ වක්‍ර වී මිශ්‍ර රාශියක රවි සමඟ තැන්පත් වී සිටියි. රාහු 2 වැන්න වූ කටකයේ පුනාවස නැකතේ ය.

 

විදෙස් අධ්‍යාපනය

රාහුගේ නැකත අධිපති ගුරු බලවත්ව දහවැන්නේ ඇත. ගුරුගේ දෘෂ්ටිය රාහුට එල්ලවන අතර, සිකුරු ග්‍රහයා 5 වැන්න දකියි. කුඩාකල සිටම රාහු මහ දශාව පැවැති ඇතත් ඉහත බලපෑම් හේතුකොටගෙන උසස් අධ්‍යාපනයක් මෙන්ම විදෙස් අධ්‍යාපනයක් ලැබීමටද හැකිවිය.

ගුරු පීඩාවීමෙන් තොරව 6, 5 හෝ 1 වැනි භාවයන්වල තැන්පත්වීම යහපත් ය. සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ තැන්පත් වූ විට දෙවැන්න, 5 වැන්න දැකීම නිසා අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර ශනි 5 වැන්නේ තැන්පත් වීමෙන් දෙවැන්න දැකීමද ශනි 3 වැන්නේ තැන්පත් වී 5 වැන්න දැකීමත් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති නොකරයි.

11 වැන්නේ හා 8 වැන්නේ තැන්පත් ග්‍රහයන්ගේ දශාකාලවලදී අධ්‍යාපනයට අවහිරතා හෝ අතරමඟ කඩාකප්පල්වීම සාමාන්‍යයෙන් සිදු නොවනු ඇත. 8 වැන්න දුෂ්ට ස්ථානයක් වුවද එහි සිටින ග්‍රහයා දෙවැන්න දකින බැවින් දහමට කරගෙන එන අධ්‍යාපනය බාධා ඇති නොකරයි.

11 වැන්නේ සිටින ග්‍රහයාගේ දශාවද අධ්‍යාපනයට හේතු කාරක පිහිටීමක් වන්නේ 11 වැන්නට 5 වැන්න පෙනෙන බැවිනි. එමෙන්ම දෙවැන්නෙන් දරුවා යොමුවිය යුතු අධ්‍යාපන අංශය ගැන දැනගත හැකි ය.

දෙවැනි භාවය මේෂ නම් එකිනෙකට වෙනස් අංශ කීපයක් පිළිබඳ දැනීමක් ඇති කරයි. වෘෂභ නම් කෘෂිකර්මය, පශු වෛද්‍ය වැනි අංශද, මිථුන නම් රසායන විද්‍යාව, සුවඳ විලවුන් නිපදවීම් මෙන්ම කලා ක්ෂේත්‍රයට යහපත් වේ.

කටක නම් වෙළඳ කටයුතු, අපනයන කටයුතු වැනි දෙයට යහපත් වේ. සිංහ නම් දර්ශනවාදය අතින් දැනීමක් ලබයි. කන්‍යා, පාලන තත්ත්වයට පත්වන අතර තුලා නම් වාණිජ, තාක්ෂණ කාර්මික අංශ කෙරෙහි දක්ෂතා ඇති අයකු වනු ඇත.

වෘශ්චික නම් දක්ෂ කථිකත්වයක් ඇති අයකු වන අතර, ධනුවේ නම් යුද කටයුතුවලට, පාලන කටයුතුවලට යහපත් වේ. මකර නම් නාවුක ශිල්පය, අහස්යානා පැදවීම, විදෙස් රටවල් හා කරන ගනුදෙනු හා රාජ්‍ය කටයුතුවලට යහපත් වේ. කුම්භ නම් ඉංජිනේරු කටයුතු ද, මීන නම් සාහිත්‍ය ලේඛන කලාවන්ට ද යොමු කරයි.

 

ඒරාෂ්ටක අපල

අධ්‍යාපනය ලබන කාලයේ දී ඒරාෂ්ඨක අපල, 22 වැනි දෙර්කාණාධිපතිගේ දශා කාලය ආදී අයහපත් මහ දශා, අතුරු දශාවන්හිදි අධ්‍යාපනයට කොතරම් දක්ෂ වුවත් බාධා පැමිණිය හැකිය. එම කාලය තුළ දී දරුවාට බාධා අවහිරතා මැඬගෙන ඉදිරියට යාමට ශක්තිය ලබාදිය යුතු ය. නිතර දරුවාගේ මනස නිරවුල්ව තබා ගත හැකි පරිසරයක් ඇතිකරලීම මෙන්ම දරුවාට වැඩිහිටි ආදරය කරුණාව දැක්වීමද ඉතා යහපත් කරයි. මීට අමතරව දරුවාගේ ග්‍රහ අපල සඳහා බෝධි පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමට යහපත් කරයි.

 

ජ්‍යෝතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.